Showing posts with label මගේ කවි. Show all posts
Showing posts with label මගේ කවි. Show all posts

Friday, March 20, 2020

ඉතින්, මම අහන්නෙ නුඹෙන්....

ලුමිනස් රතු පාට විතරක්මද
ආදරයෙ පාට කියන්නෙ
දිලිසෙන අළු පාටටත් පුළුවනි
ආදරයෙ පාට වෙන්න...
.
තදම තද රතු රෝස විතරමද
ආදරයට තෑගි කරන්නෙ
සුදුම සුදු දෑසමන් මලටත්
පුළුවනි ආදරේ තිළිණය වෙන්න...
.

නටුවක පිපී නැළවෙද්දි  විතරමද
පින්න මලකට ආදරේ වෙන්⁣නෙ
පුංචි පින්න කැකුළටත් පුළුවනි
නිමාවක් නැතිවම ආදරේ දෙන්න...
.
ඉතින්, මම අහන්නෙ නුඹෙන්...
.
බලෙන්ම තවරන වත්සුනු විතරමද
ආදරයෙ සුසුම් බැඳතියන්නෙ
ඈතින්ම එන සේපාලිකා සුවඳටත්
පුළුවනි නේද ආදරයෙ සුසුම් බැඳතියන්න?
.

Wednesday, March 4, 2020

අළුපාට සඳවතිය






අළුපාට නැති ස්වේත හුරු
සෙනෙහසේ හැඩ දැනෙන

නිම්හිම් නොදුටු මායිමක
කෝල දඟකම් විදින

අයිතියක් කාටවත්
නොපෙනෙන්න රහසේම
ගිගුම් දී විදුලි සැර 
නොදි නිහඬවම වැසි
සීතලක සැඟවයන

අළුපාට අහසකට 
සැනසිල්ලෙ පෙම් බඳින
සැබෑ අයිතිය හිමි (අහිමි)
අළුපාට සඳවතිය මම....






Tuesday, February 18, 2020

ඉකිබිඳිමි කවුළුව වසා....




දෙනෙත් නිදි සුව නොවිදිනා
යාමයේ මා තනිවෙලා....
සීරුවෙන් ඒ මතකය පුරා
සැරිසරමි මා තනිවෙලා....

ලියූ නොලියූ දහස් පෙම් කවි
ඇතේ හදවත සිරවෙලා...
නුඹ ලියූ ඒ විරහ කවියට
තවම මට තනුවක් නැතා...

වෙන්ව යන බව දැන දැනන්
හද කවුළු විවරව තබා...
නුඹ ගියානම් වසන්තය වෙත
ඉකිබිඳිමි කවුළුව වසා....



Wednesday, October 23, 2019

සඳ නුඹ

නොදන්නා මං මාවත්
සියක් පසු කරමින්ම
ඈත සඳ ⁣දිහා බලමින්
ඒ සඳ දෑතින්ම ගෙන
තුරුලු කර සැනසෙන්න
සිහින දකිනා ළඳරුවෙකු මෙන්
ඉමක් නොපෙනෙන
අහස් ගැබ උස
වෙන්ව හිදිනා නුඹ දිහා
බලමින්ම මම සුසුම්ලමි
හය හතර නොදත්
ළදරුවෙකු සේම.....

Thursday, January 10, 2019

නෑවිත්ම ඉන්න....


නින්ද එන්නෙම නැති
දිගු රාත්‍රියකදි
තනිකමට හාදව
ඇස් කෙවෙනි අග
කඳුළු විතරක්ම
පරිස්සම් කරගෙන
ලවන් තෙත් කරන
කෝපි බඳුනට  වඩා
උණුසුම් වු හදවත
අද රැයෙන් පසුවවත්
මගහැර යන්න
පුළුවන් ද නුඹට....

Tuesday, December 11, 2018

බලාපොරොත්තුව




හිමි නොවන හුරුපුරුදු බැඳීමක
හිමිකමක් නොසොයාම
අයිතියක් නොකියාම
නුඹේ සුරතෙ එල්ලෙමින්
අපේ ඇස් කිවු කතාවක
හිස්තැනක් ගළපාන
ආදරය හැමදාම
මගබලනව සොඳුර
හෙටත් මේ බංකුව මතම....


12/12/2018
~ගිම්මි~

Wednesday, November 28, 2018

ප්‍රේමය හමුවීම




ගෙවුණු විසිතුන් වසක් පුරා
මම ප්‍රේමය සොයා ගියෙමි
දුටු තැනක ප්‍රේමය ඇත්දැයි
අකුරු කියවා බැලූයෙමි
හමුවුණු ඇතැමුන් ළග
ප්‍රේමය ඇතිදැයි විමසුවෙමි
නමුදු ඒ කොතැනවත් නැති 
ප්‍රේමය දැනුනි වින්දෙමි
අයිතියක් නැති නුඹට පෙම්කර.... 


2108/11/27
~ගිම්මි~


Saturday, September 22, 2018

ඒ තරුවක්...



"හරි රස්නෙයි...."
මේ ඉරෙන් හරි කරදරයි....
අයින් කරන්න එහෙනන්
මුළු අහසින්ම.....


"බැරි දේවල් කියන්නෙපා"
කොහොමත් ඉන්නම වෙනව...
දරාගන්න එහෙනන්
අකමැත්තෙන්ම හරි....


"තරුවක් වෙනවද..."
ඉරක් තරමට කරදර නැති...
ඊටත් වඩා එළියක් දෙන...


"පුළුවන්..."
තරුවට පුළුවන්ද හෙට
නවතින්න මහ දවල්ටත්....


"නතර කරගන්නම්...."
 ඒත් ඉරක් මැ'යි පිළිගනිවිද....
මොන දේ කළත්....
ඒ තරුවක්....

Thursday, June 21, 2018

නිමිත්ත


කවියක් ලියවෙන්නෙම
වේදනාවක් තදින්ම 
හිත අස්සට රිංගන දවසට...


පණ ගැහෙන සියුම් නහරකම
ලේපාටටත් වේදනාවන්
උඩුදුවන ගොම්මනක.....


කඳුළු පොකුරු දෑසින්ම
පොරෝනාව තෙත් කරන
කළුවරම රෑකට....

ඉතින්.....

කවියක් ලියවෙන්නෙම 
කවියක් කියන්නෙම
වේදානාවක අංශුවට....


Tuesday, June 5, 2018

තනිකම





පණ ගැහෙන දහස්
හදවත් අතරෙහිද
මගේ හදවත විතරක්ම
පණ ගැහෙන හුදකලාවකද....


නුඹ,
අවසරයක් නැතුවම 
මට ඕනම වෙලාවටත්
මට එපාම වෙලාවටත්...


මම,
සොයන්නෙත් නුඹ 
වරෙක වේදනාවක්...
ආයෙමත් වරෙක 
හැඟීම් පිරි රසකැවිල්ලක්....


ඒත්,
බොහෝ නිහඬයි
තනිකම නුඹ....





Sunday, May 20, 2018

වැස්ස



වැස්ස කියන්නෙම
කල්පනා කරන්නම
හිත හීන දකින දවසක්....


පුංචි වැහි බිංදු අතරම
මට ඔහේ දඟලන්නම 
අවසර හොයන දවසක්.....


කෝපි උගුරක රස්නෙම
දෙතොලේ ගල්වන්නම
ඉඩ හදන දවසක්....


Friday, October 6, 2017

~ගුරු අම්මා~


මිදී මව් තුරුල්ලෙන් නුඹ වෙත              ආ දා
හිස සිඹ තුරුලු කර මා සැනසුවේ         සදා
පැන්සල පෑන හුරු කර මගෙ අතට      එදා
දුන් සවි අගෙයි රන් මුතු මිණි                පරදා

කරනට යුතු නොකළ යුතු දේ       මග පෙන්නා
පසු පස පියමනින සෙවණැලි        අතර වෙලා
නිසිමග යවන්නට කල තරවටුව                එදා
ආදරයෙන් සිහි කරමි මා දිනුව                 මෙදා

වැයෙන බෙර පදට පා පොඩි                තබාලා
අත් පා ලෙලවන්න නළු රූ                   කියාලා
වේදිකාව මත මා අද ඇත                     දිනාලා
නුඹ සෙනෙහසින් ලොවක් අැතේ        තැනීලා

අ යනු ආ යනු කියා නිසි ලෙස               උගන්වා
වසරින් වසර ඉදිරියෙන්ම නුඹ මා          තැබූදා
හර බැර අතර සැගවෙන ම‍ා නෙත්       බලාලා
අදත් හිස අතගාන නුඹ මගෙ දෙටු        අම්මා

නොවැදුවත් කුසින් දස මස                      දරාලා
නුඹ ඇතෙයි දරුවන් දහසක්                   හදාලා
නුඹෙන් නොදුන්නත් ඇග ලේ කිරි          කරලා
පෙව් සිප් කිරි බලෙන් බුදුන් දකින්   ගුරු අම්මා

~ගිම්මි~
06/10/2017

Tuesday, February 14, 2017

වැලන්ටයින්...

ලුමිනස් රතු පාට
දිලිසෙන්න තරු කුඩු ඉහපු
සියදහස් හදවත්
.
තදම තද රතුපාට
කොළම කොළ නටු දිගැටි
පොකුරු මල් රෝස
.
ඉල්ලා ගත් දිනක් අපි
අනුන්ගෙන් අයිතිය කියන්
රතුම රතු හදවත් මතට
වෙන්දේසි දමනා වෙළෙන්දන්
.
අයිතිය කියන්නට හැකි
පණ ගැහෙන රතු හදවතක්
ඇති අය හෙමින්
සමරන සුපැතුමකින්වත්
.
තවම හමු නොවුනවුන්
අයිති රතු හදවතක්
දෙස් තියන දවසම
බොරු වැඩක් පිස්සුවක්
.
කොණකටවී මදහසක්
මේ දෙසට නංවන්
රතුම රතු මල් පෙත්තක
බලාහිදි නිහඬව
.
.
වැලන්ටයින්.

Thursday, February 9, 2017

හිසේ ඇම්ම


පෙම්වත් පිරිමි උරතලය මත
හිස ඇලව තියාගෙන
සිහින් දිගු ඇඟිලි තුඩු
ඇවිද යන සද ලතාවට
මුදාහැරි වරලස මතින්....

සීතලම සීතලට ගැහෙන
මල් පෙති ලවන් යුග
උණුසුම්වු අඬසඳ මතට
නිමේෂයකදි වඩින
ගමන මේ හෙමි හෙමින්....

තාලයට හීනියට හෙමිහිට
ඇසෙන නෑසෙන තරම්
සවන් පත ළඟ ළඟම
ඇහිදිනා ඇලපිලි අකුරු
මුමුණනා බරවූ ආදර වදන්...

හරියටම මොහොතකට පෙර
හීනියට ඇස් බරවු
අඬන නාඬන හඬින් කිවු
ආසාද්‍යම තත්වයෙන් වුන්
ඇගේ හොර හිසේ ඇම්ම
නිට්ටාවටම සුවයි දැන්....

#ගිම්මි#

Sunday, November 6, 2016

මං ආදරෙයි

මන් නුඹට ආදරය කරමි
නුඹෙන් ලද සිනහවට
දඟකාර කතාවට
හිතුවක්කාර ගති වලට
ඇදී ගිය මගේ සිත
ඒවාට පමණක්ම
ආදරය කරමි.....

නුඹ ලස්සනයි ඇත්තටම
ඒ ලස්සන නැති වුනත්
ගත සවිය නැති වුනත්
මන් ආදරෙයි හැමදාම
නුඹ හිතනවාටත් වඩා වැඩියෙන්....

මොණරු පසුම්බිය පිරෙන්නට
මන් දන්නවා ඒත්
පසුම්බිය සිල්ලර විතරක්ම
පාලු මකන දාටත් මන්
ආදරෙයි අද තරමටම....

මට දේවි සැප සම්පත්
යහමින් නුඹට ඇති දාට
ඒත් ආවොතින් අඳුරු වළාවක්
සහය වන්නම් නුඹට
එළියක් සොයන්නට
අදටත් වඩා ලෙන්ගතුව
ළග හිදන් ආදරෙන්....

හ්ම්ම්...සැකයි ද නුඹට
එ් මගේ ආදරය
නුඹට පමණක්ම පේවුනු
අහිංසක ආදරය
අම්මා තරමටම ස්නේහය
නුඹට සදන්නට වෙර දරන
මේ මගේ හිත
අවිස්වාසයිද....

එන යන අය අතර
නවතින්නට ඉඩ සෙවු
මේ මගේ ආදරය
නුඹ මහමග වැටී සිටියද
පොල්අතු අතර අහස සෙව්වද
නුඹේ ළග නුඹේ තනියට
හැමදාම හිදිනු ඇත
මේ මගේ ආදරය....

Friday, August 19, 2016

හිත (නා‍ෙ)කියන ආදරය

නෑ මන් ආදරේ නෑ
ඔව් ඇත්තමයි...
මන් ආදරේ කලෙත් නෑ
ආදරේ කරන්නෙත් නෑ...

බැඳීමක්?????
ඕනම ද????
හිතින් විතරක්ම
දරාගෙන ඉන්න බැඳීමක්....

ඉතින්....
නවත්තගන්න බැරි
නවත්තගන්න ඕනම
එකම එක ඇස් දෙකක්....

නෑ...කොහොමටත් නෑ...
තටු ගහන්න ඕනම ද..
යන්න....එහෙනන්...
ඈතටම ආයෙත් නොඑන්නම...

හ්ම්ම්...තාමත්...
පියාඹන්නම හිතෙනවද....
මන්...එකම තැන...
හැරිලා බලන්න ආයෙත්
මතක තියෙයිද....
 
කාලය.....
වෙනස් කරයිද...
දන්නෑ....ඒත් බලන්න...
ඒ ඇස්....
මොනම විදියට හරි දකිවි....

Saturday, July 30, 2016

කොක්ක

මම
උඹේ
බත් කොක්ක
නෝට් කොක්ක
විතරක් වෙද්දි
උඹ
මගේ
සිරා කොක්ක
වුනේ කොහොමද
බන්..
මන් තාම
හන්තාන ළඟ
උඹ එනකන්....

Thursday, March 31, 2016

සිහිනයක සේයා







පින්න මුතු ඉහිරී වියන
තරු මල් රටා ඇදී
අහස් සේලය යටින්
නෙතු කදුලැල් උණන
සීතලම මහ රෑක
හෙමි හෙමින්
ලගට විත්
නුඹේ උර මතට
මගේ හිස තියාගෙන
නෙතින් ඇදවැටෙන
නුඹේ නම රැදී
මගේ බිදු කදුළු
සිපගන්නේ ආදරෙන්
නුඹේ පුළුල් උර තලය...

ආදරය පිරුණු නුඹේ
දෑස් හරවන් මවෙත
සීතලට ගුලි වෙමින්
නුඹේ ලගම දැවටෙමින්
උණුසුමක් සොයා යන 
පුංචි මුව පැටික්කිට
නොරිදෙන්න බිදක් වත්
සැලෙන සීතල මතින්
නතරවුණු නුඹේ
ලවන් යුග තව
ඇගේ  අඩ සද මතින්...

ඒ තරම් ආදරෙන්
හිරිවැටුණු පුංචි සිත
දෙඇස් වසලා
සීරුවෙන් තව
සිපගන්න ඒ
සොඳුරු උවනත
සැරසුණා පේවී
නමින් නුඹ වෙත...

ආදරය නම්
නුඹ මැයි සිතා
හීන් සීරුවට
ලං උණු ලවන් යුග
සිපගන්න පෙර
ආදරෙන් ආයෙමත්
සිහිනයෙන් පිබිදුණා
පුදුමයකි තව
වියලී නොයන
බිදු කදුළු වැල් 
අලුත් වෙනවා
දෑසින් හෙමින්...

Friday, March 18, 2016

වදනින් නොපැවසූ නුඹට...




සෙවණැල්ලක්ව අතීතයෙන්
පියඹා එන නුඹට
විටින් විට මම ම
සිතට තරවටු කරන්
හංගන්නට හදන
හංගන්නටම බැරි
කවදා කොතැනක
වැරදුන වගක්
නොදන්නා මුත්
දමා යා නොහැකි
කලු සුදු සිතුවමක්ව
අදත් හිඳිනවා නුඹ
මගේ ළඟ
මගේම නොවී...




ප.ලි.
කටුස්සෙක් විසින් ගෙම්බියකට මැර ප්‍රහාර දියත් කිරීම හේතුවෙන් එම ප්‍රහාර වලින් වැළකීම සදහා ඒ ගෙම්බි විසින් මෙය ලියන ලද බව කරුණාවෙන් සලකන්න.හැක හැක 

Monday, February 29, 2016

මගේ ආදරේ තරම්...





පුංචි වැහි බිඳු වැටෙන - සීතලට ඇකිලෙමින්
පුරුදු ගුරු පාරෙ මං -  ඇවිදිමින් හෙමි හෙමින්...
සිතනවා නුඹ ගැනම - දන්නෙ නෑ නුඹ තාම
මගෙ ආදරේ තරම්...

හිනාවට වල ගැහැන - නුඹේ ඔය සොදුරු වත
යනෙන ඔය ඇත් ගමන - විදගන්න නෙත් පුරා
මගේ හිත කැමති වග - දැන දැනම නුඹ ඉතින්
හිදී නොදුටුව ලෙසින්...

දඟකාර නුඹේ ඇස් - අමුතු ඉඟි බිඟි ඉතින්
කෝම තේරුම් ගන්නෙ මං - නුඹේ හිත මට කියන
හිත මගේ කලබලයි - නුඹේ ඔය ඇස් ගාව
නුඹ දකින හැමදාම...

හුරතලෙන් දැවටිලා - කියවන්න නුඹේ ලග
මගෙ කතා වලට නුඹ - හිනැහෙන්න ලග ඉදන්
මගේ හිස අතගාන - තුරුල් කර ආදරෙන්
රැදෙන්නට දිවි මගේ...

නුඹෙ අතේ එල්ලිලා - උණුසුමට ආදරෙන්
නුඹේ ළඟ දැවටෙමින් - ඉන්න මග බලනවා
හුස්ම අපේ වැටෙනකන් - නුඹේ කුමරිය වෙලා
හැමදාම ආදරෙන්...

තවත් කල් අරන් කුමටද ඉතින්  - කියනවද ඉක්මනින්
නුඹේ මනමාලිය වන්න - හීන මගේ සරසන්න
නුඹේ සිත මගේ බව - පියමනින සසර මග
හැමදාම ආදරෙන්...