Monday, November 14, 2016

ඇය හා අපි

තැඹිලි පාට වෙච්ච අහසින් ඈතින් මළ හිරු බැසයනව...ඒත් ඒ ඉරෙත් මට නෝක්කාඩු කියන කලු ගැහුනු සේයාවක් තැවරිලා තිබුනා.ඇත්ත මේ ඉර හඳ ගහ කොළ වුනත් මට නෝක්කාඩු කියයි.මන් වචනයකින් වුනත් ඒ කලේ මහම මහ නැහැදිච්ච වැඩක්...ඇරත් මන් නොදැනුවත්ව හරි මට හුස්ම ගන්න ඉඩ හදපු කෙනා ඒ...ඒ නැතත් වෙද නළාව අතේ තියන් ඉන්න මට මනුස්සකම ගැන හිතන්න තිබුනා.පුහු උඬගුකම,මාන්නය වෙද නළාව එක්කම මගේ ඇගට ඇවිත් ඒ වෙලාවෙ මන් කරපු දේ..මගේ හදවතම මට ලැජ්ජ කරනවා,නින්දා කරනව...

රත් පැහැ ගිනිදැල් අහස දිහාවට ඇදිලා යද්දි නිසලව ඇය ඒ මැද සැතපිලා ඉන්නවා...මට වඩා දස වසරක් බාල වුනත්, ඇගේ රැකියාව මගේ වෙද නළාවට වඩා දස ගුණයක් පහළින් තිබුනත් ඇය මනුස්සකම අතින් මට වඩා දහස් ගුණයක් ඉහළින්...අැගේ නමට මගේ නෙත කඳුළු ආයෙත් අලුත් වෙනකොට මගේ හිත ආයෙත් මටම බනින්න ගත්තා...ඔව් මන් ඒ වෙලාවෙ වචනෙන් හරි මේ කෙල්ලට කලේ මොකද්ද...
**************************

"පහන් ඔයා මොකද්ද මේ කරන්න හදන්නෙ...."

"ඇයි නිසලි මොකද්ද??? "

"මොකද්ද අහන්නෙ මගෙන්ද?ඇයි මේ ගෑණිගෙ භාරකරත්වය ඔය‍ා ගත්තෙ..."

"හ්ම්ම්...ඒකද?ඉතින් බබා කාත් කවුරුවත් නැති මේ ලෙඩාව අපි භාරගමු..."

"මොකක්...ඔයා දන්නවද පහන් මෙයා සල්ලි වලට තමන්ගෙ....."

"ඔව්....මන් දන්නවා...නිසලි දැන් ඇති..අපි මේ ලෙඩාව භාරගන්නව එච්චරයි..."

"පහන්...ඒ කියන්නෙ දැන් ඔයාට මට වඩා මේ නන්නත්තාරෙ ගිය එකී ලොකු වුනා..."

"මොනාද නිසලි මේ කියන්නෙ...ලැජ්ජාවක් නැද්ද...ඔයත් ඩොක්ට කෙනෙක් නේද?ඇරත් ඔයත් ගෑණියෙක් නෙ..."

"ලැජ්ජාව මට තමයි...හොස්පිට්ල් එකේ ඔක්කොම අහනව ඩොක්ට පහන් මොකද අර ගෑණිට ඔච්චර අනුකම්පා කරන්නෙ කියල...මන්නෙ ඕවට උත්තර දෙන්න....."

"නවත්තනවා නිසලි....මෙතන පිස්සුවෙන් වගේ දගලන්නෙ නැතුව...දැනගන්නවා පිස්සෙක් වගේ මන් පාරක් පාරක් ගානෙ ඇවිදල මගෙ ජීවිතෙ හොයද්දි මට ජීවිතේ දුන්නෙ මේ කෙල්ල..."

"මො...මොකද්ද ඔ... ඔයා...කියන්නෙ පහන්...."

"හ්ම්ම්....ඔව්...ඔයාගෙ තාත්තගෙ සල්ලි වලට...අපේ මේ රස්සාවට බැරි වුනා එදා ඔයා හුස්ම අදිද්දි ඔයාගෙ ජීවිතේ බේරගන්න...මන් අසරණ වුන තරම කොයිතරම්ද කියල දන්නවද නිසලි ඔයා..."

"ඒත්....පහන්...මේ..."

"එදා අහම්බෙන් වගේ මට මේ කෙල්ලව හම්බුනෙ...එයා කැමති වුනා ඔයාට වකුගඩුවක් දෙන්න...අපි ක‍ොච්චර හෙව්වත් ඔයාට ගැලපෙන වකුගඩුවක් හම්බුනෙ නෑ...ඒත් මේ කෙල්ලගෙ වකුගඩුව ඔයාට ගැලපුනා...මන් දන්නෙ නෑ මේ තත්වෙට දැන් මේ කෙල්ල කොහොම වැටුනද කියන්න...ඒත් මට ඕන ඔයාගෙ ජීවිතේ බේරපු මේ මනුස්සයට අන්තිම මොහොතෙ හරි උදව් කරන්න..."

"එතකොට...මේ...මම....ජීවත් වෙන්නෙ..."

"ඔව් ඒ කෙල්ල නිසා...එතකොට අද මේ කෙල්ල හුස්ම අදින්නෙ ඉතුරු වෙලා තිබුන වකුගඩුවත් නරක් වෙලා නිසා...මන් කොච්චර හෙව්වත් මේ කෙල්ලව මට හොයාගන්න බැරි වුනා..."

"ඔයාගෙ තාත්තලගෙ සල්ලි මේ කෙල්ලගෙ නම ගම රස්සාව හංගල ඒ පිනට මොණර කොළ හිලව් කලාට, එක රුපියලක දෙයක් වත් මේ මනුස්සය ගත්තෙ නෑ....දන්නවද එදා මේ මනුස්සය කියපු දේ..."

"මහත්තය මන් ඇග විකුණල තමයි ජීවත් වෙන්නෙ...ඒත් මේ මන් කලේ පණ අදින කෙනෙක්ට ජීවිතේ දීපු එක...ඒකටත් ගණන් හිලව් තියල මේ කරුමක්කාර ජීවිතේට තව පව් පුරවගන්න බෑ මහත්තය...මන් මේක කලේ මනුස්සකමට....ඔය සල්ලි වලිනුත් මේ නෝනට ඕන දේවල් ගන්න..."

එදා ඒ වෙලාවෙ මන් ඉන්න තැන කරන දේ අමතක වුනා.පිස්සියෙක් වගේ මන් නැවතුනේ හුස්ම අදින ඇගේ ඇඳ ළග...නිමාවක් නැති කඳුළු මගේ ඇස් වලින් කඩන් වැටෙද්දි ඒ දුකක්ද,පසුතැවීමක්ද නැත්තන් මන් ගැනම ඇති වෙච්ච ලැජ්ජාවක් ද කියන්න මට අදටත් තේරුමක් නෑ...ඒත් එකම වතුර පොදක් පොවනව ඇරෙන්න මට ඇගේ හුස්ම රැකගන්න අංශු මාත්‍රෙක දෙයක් කරගන්න බැරි වුනා.ඇගේ අන්තිම හුස්ම පොද මගේ දෑත උඩම ගිලිහිල යද්දි මන් මොකන්දෝ මන්ද නාම විරහිත හැඟීමක ඔත්පල වුනා....
*************************

"නිසලි අපි යමු....දැන් හුඟක් හවස් වෙලා..."

කතාවක් නැතුවම පහන්ගෙ උරහිසට බරවුණු මට ඇගේ දැල්වෙන සෙහොන අතරින් ඇය අන්තිමට කිව් වචන ආයෙ ආයෙත් දෝංකාර දුන්නා...හිසේ සිට යටිපතුල තෙක් ඇදි යන හිරියක් වේදනාවක් එක්ක මන් ආයෙත් ඒ වචන මතක් කලා....

"මන් නිසා මගේ මේ පව්කාර රස්සාව නිසා හුගක් පවුල් ජීවිත හැඩි වුනා නෝනා....ඒත් මන් නිසා අද සතුටින් ජීවත් වෙන එකම පවුල නෝනයි මහත්තයයි...මට ඒ දේ ඇති න‍ෝනා ...සතුටින් ඉන්න හැමදාම..."

ඇය කිසිම කෙනෙක්ට ඇගේ අන්තිම හුස්ම පොද ගිලිහෙද්දි වත් දොසක් නැගුවෙ නෑ...ඇයද අපිද මේ ජීවිතේ පහත් කියල හිතද්දි පහන්ගෙ හඬ හීනෙන් වගේ ඇහුනා...

"හුඟක් සුදු පිරුවට පෙරවගෙන තමන් උපාසිකා කියල කියාගෙන ගඳ ගහන ජීවිත තියෙන හුඟක් ගෑණුන්ට වඩා අයාලේ ඇවිද්දත් මේ මනුස්සය ළඟ මනුස්සකම ඕනවට වඩා තියෙනව නිසලි...."

ඔව් ඇත්ත...

Sunday, November 6, 2016

මං ආදරෙයි

මන් නුඹට ආදරය කරමි
නුඹෙන් ලද සිනහවට
දඟකාර කතාවට
හිතුවක්කාර ගති වලට
ඇදී ගිය මගේ සිත
ඒවාට පමණක්ම
ආදරය කරමි.....

නුඹ ලස්සනයි ඇත්තටම
ඒ ලස්සන නැති වුනත්
ගත සවිය නැති වුනත්
මන් ආදරෙයි හැමදාම
නුඹ හිතනවාටත් වඩා වැඩියෙන්....

මොණරු පසුම්බිය පිරෙන්නට
මන් දන්නවා ඒත්
පසුම්බිය සිල්ලර විතරක්ම
පාලු මකන දාටත් මන්
ආදරෙයි අද තරමටම....

මට දේවි සැප සම්පත්
යහමින් නුඹට ඇති දාට
ඒත් ආවොතින් අඳුරු වළාවක්
සහය වන්නම් නුඹට
එළියක් සොයන්නට
අදටත් වඩා ලෙන්ගතුව
ළග හිදන් ආදරෙන්....

හ්ම්ම්...සැකයි ද නුඹට
එ් මගේ ආදරය
නුඹට පමණක්ම පේවුනු
අහිංසක ආදරය
අම්මා තරමටම ස්නේහය
නුඹට සදන්නට වෙර දරන
මේ මගේ හිත
අවිස්වාසයිද....

එන යන අය අතර
නවතින්නට ඉඩ සෙවු
මේ මගේ ආදරය
නුඹ මහමග වැටී සිටියද
පොල්අතු අතර අහස සෙව්වද
නුඹේ ළග නුඹේ තනියට
හැමදාම හිදිනු ඇත
මේ මගේ ආදරය....

Friday, August 19, 2016

හිත (නා‍ෙ)කියන ආදරය

නෑ මන් ආදරේ නෑ
ඔව් ඇත්තමයි...
මන් ආදරේ කලෙත් නෑ
ආදරේ කරන්නෙත් නෑ...

බැඳීමක්?????
ඕනම ද????
හිතින් විතරක්ම
දරාගෙන ඉන්න බැඳීමක්....

ඉතින්....
නවත්තගන්න බැරි
නවත්තගන්න ඕනම
එකම එක ඇස් දෙකක්....

නෑ...කොහොමටත් නෑ...
තටු ගහන්න ඕනම ද..
යන්න....එහෙනන්...
ඈතටම ආයෙත් නොඑන්නම...

හ්ම්ම්...තාමත්...
පියාඹන්නම හිතෙනවද....
මන්...එකම තැන...
හැරිලා බලන්න ආයෙත්
මතක තියෙයිද....
 
කාලය.....
වෙනස් කරයිද...
දන්නෑ....ඒත් බලන්න...
ඒ ඇස්....
මොනම විදියට හරි දකිවි....

Saturday, August 13, 2016

ලිහිණි ඇස් ළඟ අතරමන් වීමි...


සීතල හුළං ඇගේ දැවටිලා යන රෑක කවුලුවක් ළඟ ඉදන් ඈත පායන හඳ දිහා බලාගෙන ඉන්න නින්ද නොයන පුංචි කිරිල්ලියක්...ඈ ඉල්ලන්නෙ ඈ හිතන්නෙ මොනවද...ඉල්ලන්න ඕනෙ මොනාද...ඈවත් ඒ රැළි ගහන හැඟීම් පාට කරන්න දන්නෙ නෑ.....ඈට පියාඹන්න රත්තරන් පාට තටු ඕන නෑ...පාට පාට වුනු තටු සරසන්න සරුවපිත්තල කැරළි ඕන නෑ...ඈට ඕන එකම එක උණුසුම් හදවතක්..ඇගේ නමින් හුස්ම ගන්න...ඇගේ විතරක්ම වුනු ඔව්...ඇගේම වුනු හැමදාම ළඟ ඉන්න හිමි හිමින් උණුසුම් රැළි නගන ආදරණීය හදවතක්....දෙතොලට කලින් නළලත මතින් දොතොල් වල උණුසුම දැනෙන ආදරණීය චුම්භනයක්....

ඒත් ඇය....සිතිවිලි රෑනක් අතර අතරමන් වෙලා...මේ වෙනකන්ම එකම එක කුරුලු හිතක් ළඟ හිර වෙලා...නෑ හිර කරගෙන ඉදපු ඇගේ පුංචි හිත...කඳුළු පුරවගෙන හිටපු ඇගේ පුංචි ඇස්...ඒ නපුරු කුරුලු හිතින් ටිකෙන් ටික ඈතට තටු ගහන්න පටන් අරන්...ඇත්තටම තමන්ව අතැරලා දාලා ගියපු කුරුලු හිත ළඟ ඇයයි බලෙන් නැවතිලා හිටියෙ...ඇය ඈත් වෙනවා ඒත් තව පුංචි කුරුලු ඇස් දෙකක්....මොහොතකට ඒ ඇස් ඇයට ඇය අමතක කරවනවා..ලේසියෙන් නොසෙල්වෙන ඇගේ ආඩම්බර කුරුලු හිත සන්සුන් කරවපු අමුතු දිස්නයක් දෙන හිතුවක්කාර ලිහිණි ඇස් දෙකක්....

කලින් දැනගෙන නොහිටියත් එකම කැලෑවක හුස්ම ගන්න ඈටත් ලිහිණි ඇස් වලටත් මොකද්දෝ මන්දා කියාගන්න බැරි බැදීමක නටබුන් තියෙන වග අැග‍ේ ගැහැණු ඉව රහසින් මුමුණද්දි ඇය ලිහිණි  ඇස් ඉස්සරහා දඟකාර පුංචි කිරිල්ලියක්...ඇය අහින්සකයි...ඒත් දඟකාර යන්තමින් ආඩම්බර කම ගෑවුනු හිතුවක්කාර පුංචි කිරිල්ලයක්...

ඒ ළිහිණි ඇස්....හිතුවක්කාරයි...ඔව් තරමටත් වඩා හිතුවක්කාර ළිහිණි ඇස් වල ගෑවුනු අහිංසකකමක් ඇගේ පුංචි කුරුලු හිත හරි ආදරෙන් හදුනගන්නවා...එකමත් එක නපුරු හිතකින් හිත රිදවගත්ත ඇගේ පුංචි හිත ඒ ලිහිණි ඇස් ළඟ මොනවදෝ හොයනවා...ලිහිණි ඇස් තරමටම ලිහිණි හිත ඇය ළග දොඩමලුයි...ඇත්ත ඇගේ කිචි කිචියට ගොලු හදවතක් වුනත් හරි ඉක්මනට දොඩමලු වෙනවා....

හෙමි හෙමින් කාලය ඇයටත් හොරෙන් ඒ ලිහිණි ඇස් වල මායම්කාරි දිස්නය ඇගේ හිතේ එක කොනක හරිම සියුම්ව...ඔව් ඒ් එයාටත් නොදැනෙන්නම තැම්පත් කරලා...ඒ ලිහිණි ඇස් ඇයට හරිම සුහද ආරාධනාවක් කරනවා...ඒ ආරාධනාවට නමක්....අනේ මන්දා ඇය ඒ කලු සුදු ආරාධනාවට නමක් දිලා පින්තාරු කරන්න එකම පුංචි උත්සහයක් වත් ගන්නෙ නෑ....ඇගේ පුංචි කුරුලු හිත ඒ ලිහිණි ඇස් වලට හරි ලෝභයි...ඒ ලෝභකම නිසාම ඒ ආරාධනාවට ඇගේ හිතින් නම් ගම් වාසගම් උප්පැන්න හැදුවත් ඇගේ ඇස් ඒ ලිහිණි ඇස් ඉස්සරහා හරිම සන්වරයි...හැබැයි හිත හරිම කලබලයි....ඇගේ ඇස් වලත් අමුතු ආරාධනාවක් නැතුවාම නෙමෙයි....ඒ ආරාධනා පින්තාරු කරන්න ලිහිණි ඇස් උත්සාහ නොගන්නෙත් කුරුලු ඇස් වලට නොකියන ලෝභ කමක් ලිහිණි හිතේ  තියානග‍ෙනමද මන්දා...

ඇය තනිවම විඳිනවා ඒ ඇස් වල මායම්කාරි දිස්නය...ලිහිණි ඇස් වරදක් කියල හිතන දෙදෙනාම පින්තාරු නොකරපු ඒ ආරාධනා ගැන තනියෙන්ම හිතනවා....හීන මවනවා...ලිහිණි ඇස් ‍නා‍ෙදකින තත්පරයක් ඇයට දැනෙන්නෙ කල්පයක්...ලිහිණි කිචි බිචිය නෑසෙන මොහොතක් ඇගේ හිත සිය දහස් වාරයක් රැළි නගනවා...ඇය පුංචි පුංචි සිහිවටන,මල් රටා ,ලියකම් තුඩින් තුඩ ඇහිදගෙන ලිහිණි ඇස් සරසනවා...නෑ ලිහිණි ඇස් දන්නෙ නෑ ඇගේ හිත...සමහරවිට...සමහරවිට නෙමෙයි ඇත්තටම ලිහිණි ඇස් ඇගේ ඇස් නොදැක්ක ගානට ඉන්නවා...ඒ තමයි ඇගේ පුංචි ඇස් ඔහුට නැති වෙයි කියන ලෝභකම....ඇගේ හිත වගෙම ඒ ලිහිණි ඇසුත් සිතින් එකම හැඟීමකට හිර වෙලා...නමක් ගමක් වාසගමක් නැති තව කෙනෙක්ට අයිතිය දෙන්නත් අකමැති අමුතු මායම්කාරි බැඳීමක්....

ආදරය ද....?

ඇය වගෙම ලිහිණි ඇසුත් අතරමන් වෙලා....

ඒත් ඇගේ පුංචි හිත වගෙම ලිහිණි ඇසුත් ආදරයට වඩා එහා ගිය සන්සාරගත බැඳීමක් ඔවුනොවුන් ගෙන් හොයනවා....ඒත්...දෙන්නම තවම අතරමන් මේ අහස යට....

Saturday, July 30, 2016

කොක්ක

මම
උඹේ
බත් කොක්ක
නෝට් කොක්ක
විතරක් වෙද්දි
උඹ
මගේ
සිරා කොක්ක
වුනේ කොහොමද
බන්..
මන් තාම
හන්තාන ළඟ
උඹ එනකන්....

Saturday, May 7, 2016

කදුළු මැද දුටු හසරැල්ල







ජිවිතේ සුන්දර දවස් කීපයක් අවසාන වෙලා...ඒත් ඒ ගෙවුණු දවස් කීපය ඇතුලේ ජීවිතේට ලැබුණු,ඉගෙන ගත්ත දේවල් බොහොමයි.ඒ දවස් කීපය ඇතුලේ අපි ඉගෙන ගත්තේ ජීවිතේට ඕන දේවල්..ජිවිතේ පොත පතෙන් වගේම මනුස්සකමින් පුරවන්නේ කොහොමද කියල..නවක වදය...මේ දවස් වල කතා බහ වෙන ලොකු තේමාවක්.හුගක් අය හිතන්නේ නවක වදය කියන්නේ දරුණු අපරාදයක් කියල.ඉතිහාසයේ සමහර තැන් වල දරුණු තැන් නොතිබුනාමත් නෙමෙයි,ඒත් නවක වදය ඇතුලේ හැංගිලා තියෙන්නේ අපි අපේ ජිවිත වල අමතක උනු,නැත්තන් බලෙන් අමතක කරලා දාපු හොද දේවල් ආයෙමත් අපේ අතට දෙන එක...මීට දවසකට කලින් බකට් වෙලා එලියට ආපු යන්තන් සරසවි ජීවිතය දිහා ඔලුව උස්සල බලපු පුංචිම පුංචි එකියක් විදියට අද මට අඩන්න,හිනා වෙන්න,කෑගහන්න  මගේම කියන සහෝදර සහෝදරියෝ රෑනක් ඉන්නවා..මේ කියන නවක වදය නොතිබෙන්න අපි තාමත් මේ තරම් එකතු නොවෙන්න තිබුන.ගෙදර ගිහින් එන කොට ගෙන කැවිලි ජාති, කෑම ජාති ඔක්කොම එකට අත දාගෙන කනකොට මේ විදින සතුට අපිට නැති වෙන්න තිබුනා.

හැමෝම කෑගහන,එපා කියන නවක වදය ඇතුලේ අපිව වෙනස් කරන්නේ මුලින්ම ඇදුමෙන්,..දිග සාය,අත් තියන බ්ලවුස් එක,කළු පාට එක වගේ බාටා,කොන්ඩේ ගොතල එන්න කියනකොට පන්සලකට විතරක් දිග සයක් ඇදපු,ඉස්කෝලේ යන කාලේවත් කොන්ඩේ ගොතල අගිස්ස නවපු නැති මට මුලින්ම මේක කරදරයක් උනත් දවස දෙක ගෙවෙනකොට අපිට අපේ ඇදුම ගැන ගානක්වත් නැතුව ගියා.අගනුවර ප්‍රසිද්ද කියන පාසල් වලට ගිය අපිත්,ඈත ගම වලින් ආපු අපේම සහෝදරියොත් එකම විදියට ඇදල,එකම දේශන ශාලාවක වාඩි වෙලා හිටිය...කොල්ලොද කෙල්ලොද කියල බේදයක් නැතුව දාපු එකම වගේ බාටා මොනම හරි දෙකට ගැලෙවුවත් ආයෙත් දානකොට කකුලට ගැලපෙන දෙකක් දාගත්ත මිසක් එක මගේද වෙන කාගේවත් ද බැලුවේ නෑ...
එකම බත් එකක් වට වෙලා කනකොට,කවගන්නකොට එකෙක්ට හිර උනොත් වතුර බෝතල් දෙක තුනක් අරන් වටේට ඉන්න,කාගන්න බැරි අය ලගට ගිහින් එකෙන් තව කටක් හරි කන්න සහෝදරකම අපි ඉගෙන ගත්ත.අසනීපයක් වෙලා වැටෙද්දී ඒ වටේ පොකුරක් වගේ එකතු වෙන්න වගේම ඒක හැමෝගෙම හිත් වලට දුකක් ගෙනාව..ආයෙත් අසනීප උනු කෙනා හොද වෙලා එනකන් මග බලන් හිටිය...මීට කලින් දැකල නැති අදුරන්නේ නැති පිරිසකගේ නම්,ගම විස්තර පාඩම් කරන්න,කොළ ගණන් ලියන්න අපිට වෙන කොට,ඒ දවස් වල නං අපි හිතින් බැනපු වාර අනන්තයි.ඒත් අද අපිට සතුටුයි අපේ කෙනෙක්ගේ කරදරයක්,ප්‍රශ්නයක් වෙලාවට අපිට එයාට උදවු කරන්න,සම්බන්ද කරගන්න දගලන්න ඕනේ නෑ,අපි ඒ විස්තර දැන් හොදටම දන්නවා.අපේ පාටමාල ඉතිහාසය,වෙනස්වීම් කට පාඩම් කරගෙන,ආයෙත් අහනකොට බයට කියාගන්න බැරි වෙන කොට හිතින් අඩපු,බැනපු වාර බොහොමයි,ඒත් අද අපිට ඕන කෙනෙක් ඕන තැනක ඇහුවොත් අපිට බය නැතුව ඒ දේවල් කියන්න පුළුවන්කම ලැබුනේ ඒ නිසා.ලස්සනට ඇදල,හොද හොද තැන් වල ගත්ත සෙල්ෆියට වඩා,අපි බකට් එකෙන් පස්සේ ගත්ත සෙල්ෆියේ කියන්න,මතක් කරන්න,හිනා වෙන්න,අඩන්න ලොකු කතාවක් අපිට ඉතුරු කරන්න පිට සමාජයක් එපා කියන නවක වදයට පුළුවන් උන.

නවක වදය දෙන්නේ ජෙෂ්ට සහෝදර සහෝදරියෝ කියන ඒක ඕනෑම කෙනෙක් දන්නා,ඕනෑම තැනක වෙන දෙයක්.ඒත් කවදාවත් ඒ හිත් වල අපි ගැන පුංචි තරහක්වත් නෑ කියන එක අද අපි දන්නවා.සමහර තැන් වල ඉන්න පුළුවන් ඉරිසියාවට කුහකකමට ළමයින්ගෙන් පලි ගන්න අය,ඒත් අපේ වාසනාවකට ද මන්ද අපි ඒ දවස් වල කොච්චර බැන්නත්,බනින්න බැරි වෙලාවට අහක බලාගෙන එරෙව්වත් අපේ ජෙෂ්ට සහෝදර සහෝදරියෝ අපේ එක පිරිමි ළමයෙකුට වත් අත උස්සල නෑ..එක ගැන අපේ හිතේ ලොකු ගෞරවයක් ඒ අය වෙනුවෙන් ඉතුරු වෙලා තියනවා...ඒ දවස් වල හිනා නොවී,හිආව තද කරගෙන බලාගෙන හිටපු අපි බකට් එකෙන් පස්සේ එක පොදියට නටද්දී,කෑගහද්දී ,සින්දු කියද්දී ඒ දිහා බලන් හිටපු ජෙෂ්ට සහෝදර සහෝදරියන්ගේ මුනෙන් අපිට තිබුන ආදරේ වගේම,ඒ හිත් වල සතුට අපි දැක්ක.ගෙවුණු දවස් වල හිතේ තරහට බයට අපේ ඇස් වලින් කදුළු එද්දී අපි එදා සතුටට ඇඩුවා...ඒ විදියට අපේ ඇස් වලට කදුළු පුරවන්න,ලගට ඇවිත් අතට අත දීල කතා කරන්න අපේ ජෙෂ්ට සහෝදරයන් ලග මනුස්සකම ඕනෑවටත් වඩා තිබුන.ඇත්තටම ජෙෂ්ටයන්ගෙන් වෙන්න ඕනේ එක..නවක වදය ඉවර උනාට පස්සෙත් අපි වෛර කරන ජෙෂ්ටයෝ ඉදල වැඩක් නෑ...එහෙම අය ඉන්නවනං ඒක ඒ කෙනාගේ හැසිරීම මත වෙච්ච දෙයක් මිසක් නවක වදය කියන දේ නිසා වෙච්ච දෙයක් නං නෙමෙයි.මන් ආයෙත් කියනවා ඒ අතින් අපි හුගක් වාසනාවන්තයි..මොකද අපේ ජෙෂ්ට සහෝදර සහෝදරියෝ අතර එහෙම අය හිටියේ නෑ..

බාහිර ලෝකයට නොපෙනුනාට මේකේ තියන සුන්දරත්වය විදින්න ඊලග වසරේත් අපේම නංගිලා මල්ලිලා රෑනක් එනවා..ඉතින් මේ මතක ඒගොල්න්ට විදින්නටම ඉඩ දෙන්න ඕන නිසාම මෙතනින් මේක අවසන් කරමි.මේ තරම් කාලයක් පාසලෙන් විතරක් එකතු කරගත්ත මතක විතරක් තිබුන මට මේ අලුත් සහෝදර සහෝදරියෝ රෑනක් එක්ක සුන්දර මතක එකතු වේවි...නවක වදය කියන දේ  මේ දවස් වල වැඩිපුරම කතා කරන නිසාම එකෙන් ඊයේ පෙරේද එලියට පය තිබ්බ පුංචිම පුංචි එකියක් විදියට උනත් මන් කියන්නේ නවක වදය කියන්නේ මිනි මරණ අපරාද කරන තැනක් වත් දෙයක් වත් නෙමෙයි...මනුස්සකම වගේම අපේ ජිවිතේ මග ඇරුණු හුගක් තැන් ආයෙමත් අපිට අපේ අතට ගන්න පුළුවන් උනු දෙයක්..පිට සමාජය මොනා කිවුවත් ඒක විදපු කෙනා ඒ රසය මතක් කරලා විදිනවා..එකයි ඇත්ත..




ප.ලි. - මීට මාසෙකට විතර කලින් පොස්ටුවක් දම බ්ලොග් අවකාසෙන් අතුරුදන් උනු ගෙම්බි..අහ..නෑ නෑ ගිම්මි ගේ නැවත පැමිණීම මෙසේ සටහන් කරමි...(කවුද බන් මේ ගෙම්බි මතක නෑ නේ..) අහ මතක නැද්ද..එහෙනං ඔන්න ඔහේ අලුත් එකියක් කියල හිතාගන්න අලෙ...පිස්සුද...මන් තරහ වෙන්නේ නෑ...හැක හැක



Saturday, April 9, 2016

අනේ ඇත්තට මුන් කෙල්ලොද..






කාලෙකට කලින් අපේ ඉස්කුල් බස් එක ගැන එක පොස්ටුවක් දාල තිබ්බ මන් මෙන්න මෙතන ලංගමට පෙම් කල එදා.....ඕකට පස්සේ මන් තව ඒවා දානවා කිව්වත් දාන්න බැරි උනානේ...ඔන්න අද තමා යාන්තන් එකට හිත හදාගත්තේ...මන් මේ කියන උත්කර්ෂවත් අවස්ථාවේදීත් අපේ ඉස්කෝලෙයි,අපේ යාලු බාලිකා ඉස්කෝලෙයි එකටමයි ගියේ...අනේ ඉතින් අපරාදේ කියන්න බෑ හොද වැඩකට පස්ස ගැහුවත් මොකක් හරි නසරානි වැඩක් කරන්න ගියොත් අපේ ඉස්කෝල දෙකම ආයෙත් නෑ එක කුස උපන් සහෝදරියෝ වගේ හැසිරෙන්නේ...

සාමාන්යෙන් උදේට පිටි පස්සේ ආසනය වගේම දොර වහපු ෆුට් බෝර්ඩ් එකේ අයිතිය ලැබෙන්නෙත් අපේ යාලු පාසලට,දවල්ට ඕවගේ රජ කරන්නේ අපි...ඔතනත් හොදම සීන් කොන් එක වෙන්නේ ඒ ඉස්කෝල අපේ වයසේ හිටපු එකියෝ ඔක්කොම අපේ යාළුවො..අනික ඉතින් අපි වගේ අක්කල ඉන්නද්දී පොඩි නංගිලා පිටිපස්සට එන්නේ නෑ...එන්නේ නෑ..පිස්සුද උන් එනවා එත් අපි එන්න දෙන්නේ නෑ  අන්න එකයි එතන වෙන්නේ...ඉස්කෝල දෙකේම පොඩි පොඩි බටු ඇට ඉස්සරහට යවල අපි උදේට වගේම දවල්ටත් ඔය ලාස්ට් ශීට් කියන එකයි,ෆුට් බෝර්ඩ් එකෙයි රජ කරනවා...ඔතන පොඩි කොස්සකට කියල තියෙන්නේ අපේ ඩ්‍රයිවර් අන්කලෙයි,කොන්ද අන්කලෙයි තමා...එවුන් දෙන්න නිකන් ගෙදරින් ගෙනාපු බස් එකේ අපි යන ගානට තමයි උන් දෙන්නගේ රෙස්පොට් එක..පුහ්...කව්ද ගණන් ගන්නේ...අපි නං ඉතින් හැමදාම වලි..

ඔන්න ඕවගේ පිටුපස ආසනය අපි වෙන් කොරගෙන පොඩි සින්දුවක් එහෙම කියාගෙන,බස් එකටත් පොඩි තට්ටුවක් දාගෙන අපේ පාඩුවේ යන වෙලාවක,අපේ සහෝදර කියන කොලු පාසලක ඉස්කුල් බස් එකක් අපේ බස් එකට යාන්තන් කිට්ටු වෙනව රබර් ඇහැට වැටිච්ච එකෙක් ටාර් ගාල ඒ පැත්තේ අපේ ශටර් එක වහල දැම්ම..අපි ඉතින් හැමදාම වගේ ඔය වැඩේ කරනවාමයි..මොකද ඉතින් ඔවුන් ලගින් යන්නේ වතුර හරි,වෙන මොන හරි ජරාවක් ගහගෙන තව ඒ මදිවට හූ ත් කියාගනනේ..
ඉස්කුල් බස් වල ගිය පුරුදු ඇත්තෝ දන්නවා ඉතින් කොලු පාසලේ ලාස්ට් ශීට් යන කොලුවෙකුගේ ආදරබර පෙම්බරී කෙලි බස් එකක ඉන්නවනං,වතුර කෑමට ලැබෙන්නේ ඉතාම අඩුවෙන්...හැබැයි ඉතින් නම් ගම ඇහෙන එකට නං වගකියන්න බෑ...බැරි වෙලාවත් කෙලි පාසලේ මොකක් හරි කොක්කක් දාගත්ත කෙලි පැටික්කියෙක් බස් එකේ යනවනං සෑහෙන්න වෙලාවට වතුර පාරක් එකෙන්ම ෂුවර්...ඔන්න ඕවගේ මොකක් හරි සීන් කොන් එකක් ඒ කොලු බස් එකට තිබුන...වෙනදට නං දුටු තැන ඕකෙන් වතුර පාරක් වදිනවාමයි...ඉස්කෝල දෙකක් නිසා ඉතින් ඔය වතුර පාරේ අයිතිකාරිනිය කව්ද කියන්න අපි දන්නේ නෑ..හැබැයි ලාස්ට් ශීට් එකට වදීන නිසා ඕකෙන් හැමදාම තෙමිච්ච කිකිලියෝ වෙන්නේ අපි...

අහෝ...ඉරකි තිතකි..එදා නං උන්ගේ වෙලාව හොදම නැති වෙලාවක්...අපිට අති සාර්ථක ලෙස වදින්නට ගිය වතුර පාර වැරදි පිටිපස්සේ තිබ්බ වැන් එකට සුන්දර ලෙස පතිත වෙද්දී...හම්මේ...අයෙත් ඉතින් හිනා වෙන්න කියන්න ඕනෙද...අපිට මෙච්චර කල් කරපුවට ඕකුන්ට හොදම වැඩේ..ෆුට් බෝර්ඩ් එකේ වතුර බෝතලේ තියාගෙන හිටපු එකා වැන් එකෙන් අහගත්තවිදිය...ආසාවේ බෑ...

"ඒ මේ ඕකුන්ට හොද වැඩේ අපිට වතුර ගහන්න ආවේ..."

ටින් එකේ හිර වෙලා ඉන්න මාළු කුරියෙක් වගේ අපේ බස් එකේ හිටපු එකියක් කෑගහද්දී මෙන්න ආයෙත් අර කොලු බස් එක ලගටම එනවා..හැක්...අපි නං බය නෑ දැන්...

"කට්ටියම හොද වැඩක් කරමුද..."

අපේ යාලු පාසලේ මිත්තරිගේ යෝජනාව...ඒවානේ යෝජනා...ගත්ත වතුර බෝතලයක්...ඇරිය අපේ ශටර් එක...ගානට ඉලක්කෙට කොලු බස් එකට වතුර පතිතවන ජයග්‍රාහි උත්කර්ෂවත් අවස්ථාවේ අපි සැවොම එකට එක්වී...නෑ නෑ ඒ ලමයව නැවැත්තුව නෙමෙයි අනේ..පිස්සුද එහෙම වටිනා අවස්තාවක් මිස් කරගන්නේ...කට ඇරන් බලන් හිටිය...නෑ නෑ අනේ  අපි ඔක්කොම එක හඩින් හු කිව්වා....අන්න එහෙමයි අපි අපේ හතුරන්ගේ පරාජය සමරන්නේ...

"අනේ ඇත්තට මුන් කෙල්ලොද..?"

ආච්චිගේ රෝස මල කිව්වලු..අපේ කොන්ද අන්කලේගේ දෑස් වල මේ අපුරු සිද්දිය වීඩියෝ  වෙච්ච වගක් අපි දැනන් හිටියේ නැනේ..මුටත් ඕනේ නැති ඇටි කෙහෙල් මලක් නෑ එනවා මෙතන...

"අයි අන්කල් ඒක ඔයාට පෙන්නේ නෑ වගේද....?"

අහ් කව්ද බෝල ඒ අයි ආර් සී පාර්ට් ඒක දාපු එකී...හිකිස්...අහ් ඕගලන්ට හිතුනද කව්ද කියල...අහ් අන්න හරි එකී තමා ඔය කතාව පණ්ඩිතය වගේ කිව්වේ...අන්කලේ එදා නං රවාගෙන ඔරවාගෙන කඩාගෙන බිදගෙන ඉස්සරහට ගියා වගේ යාන්තන් පෙනුන...

*************
"උදැසන වතාවත් අවසානයේ කැස්බෑව ඩිපෝව මාර්ග අංක 120 පාසල් බස් රථයේ ගමන් ගන්නා සියලුම සිසුවියන් කාර්යාලය ඉදිරිපිටට පැමිණෙන්න.."

හරියට හරි අපි හිතුව වගේම අපේ ආදරණීය කොන්දේ අන්කලේ ඉස්කෝලෙට ඊයේ අපි කරපු වීර ක්‍රියාව පිළිබද සවිස්තර වාර්තාවක් සපයල...දැන් ඉතින් පලයල්ලකෝ මැඩම්ගේ සිරියාවන්ත මුණ බලන්න උදේ පාන්දර...මුන් දෙන්න අහු වෙයන්කෝ හවසට අද..උන්ට ඉතාම ආදරයෙන් බනින ගමන් අපි ඔක්කොම ගිය ඉතින්..පොඩි බට්ටෝ විතරක් යැව්වොත් උන් වැඩේ කනවා..ඉස්කෝල දෙකේම එවුන් ඉවරයි...අපිත් යන්නම එපැයි ඉතින්...අම්මේ මැඩම්ගේ මුනේ සිරියාව...හාහ් ඒ මදිවට ඉස්කුල් බස් එකේ මිස්ලත් ඇවිල්ල...අද නං ආයෙත් නෑ කනවා හොද කෑමක්..

"දැන් මට කියන්න මෙතනින් ඊයේ පිටිපස්සේ  ගිය අය කව්ද...?"

බෙල්ල මුලින්ම අහු වෙන්නයි යන්නේ..කරන්න දෙයක් නෑ දැන්..අපි ටික දෙනා යන්තන් ඉස්සරහට ආව..ඔව් ඉතින් අවංක වෙන්නත් එපැයි..අපි හොද ළමයිනේ..

"අහ් ඒගොලන් ඉදල අනිත් අයට යන්න පුළුවන්.."

මලකෙලි එකසිය හැත්තෑ හතයි කිව්වලු..දැන් ඉතින් දීපන්කො අහන ඒවාට උත්තර...මිස්ලා එක්කත් මොනාද මුණු මුණු ගාල මැඩම්  හැරුන කියන්කෝ අපේ පැත්තටම...

"ඊයේ කව්ද ** ඉස්කුල් බස් එකට වතුර ගහල හු කිව්වේ..?"

මලා මේ අහන්නේ ලස්සනට...මොකද ඇත්ත කියන්න කියලද...යෝජනාව යාලු ඉස්කෝලේ කෙල්ලගේ උනාට අපිත් ඉතින් බැහැල සප් ඒක දුන්නනේ...එතකොට අපිත් වැරදි කාරයෝ...කටපියාගෙන ඉන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ...හැබැයි තත්වය දරුණුම අතට පෙරලේනවනන් අපි දෙගොල්ලොම කියන්න හොද උත්තරයක් ලැස්ති කරගෙන හිටියේ...මැඩම්ගේ තර්ජන ගර්ජන වැඩි වීගෙන එනකොට අපේ අර බේරීමේ වාක්‍ය අදාල දැම්ම..වෙන කියල මොන කරන්නද..අනිත් එව්වුන් කියන්නෙත් මේ උත්තරෙමයි...ඒ නිසා අව්ලක් නෑ...

"අපි නෙමෙයි මැඩම්..පිටිපස්සේ ගිය. ** එකේ අයයි කෑගැහුවේ.."

අපේ මිස්ල දෙතුන් දෙනාත් ඒකට ඔලුව වනවා ඉතින්..මිස්ල දන්නවා ඕක මේ කපේට හොයන්න බැරි දෙයක් කියල..ඉස්කුල් බස් එකේ ගිය මිස්ලට කෙනා කව්ද කියල හොයාගන්න බැරි කොට කේලම කියපු කොන්ද අන්කල් ඕක කොහෙන් හොයන්නද..

"මන් එහෙ මැඩම්ට කෝල් කරලා අහගන්නකෝ..."

අපේ හුස්ම යාන්තන් පහලට වැටෙනකොට මැඩම් ඔරවාගෙන ගිය ලස්සන...මට තාම මැවිලා පේනවා අයිෂු...


ප.ලි.- එදා හවස අපේ යාලු පාසලේ මිත්තරියන් දැනගත් විදියට නං අපේ තත්වෙම එහෙටත්  ඇති වෙලා,අපි වගේම උත්තරයක්..ඒ කියන්නේ අපි කළා කියල ඒක එගොලනුත් බේරිලා.පසුව ශේප් නියායෙන් මිස්ලාගෙන් දැනගත් අන්දමට නං  මැඩම්ල දෙන්නාම අන්දුන් කුන්දුන් වී ආයෙත් ඩිපෝ එකටම කෑගහල ප්‍රශ්නය විසදලා දාල..හැබැයි එදා ඉදන් එපි කොන්ද අන්කල්වයි,ඩ්‍රයිවර් අන්කලේවයි එලවන්න මිෂන් එකක් නං පටන් ගත්ත හිකිස්...ඔහෙම එව්වෝ තියාගන්න බෑ මල කරදරේ...

හාහ් හිනා යන්නේ නැද්ද...මොකද්ද අනේ පොඩ්ඩක් හිනා වෙන්නකෝ අයිෂු...පොඩි එකා පව්නේ...අහ් බැරිද...එහෙනං ඉතින් බැනලවත් පලයල්ලා...

Thursday, March 31, 2016

සිහිනයක සේයා







පින්න මුතු ඉහිරී වියන
තරු මල් රටා ඇදී
අහස් සේලය යටින්
නෙතු කදුලැල් උණන
සීතලම මහ රෑක
හෙමි හෙමින්
ලගට විත්
නුඹේ උර මතට
මගේ හිස තියාගෙන
නෙතින් ඇදවැටෙන
නුඹේ නම රැදී
මගේ බිදු කදුළු
සිපගන්නේ ආදරෙන්
නුඹේ පුළුල් උර තලය...

ආදරය පිරුණු නුඹේ
දෑස් හරවන් මවෙත
සීතලට ගුලි වෙමින්
නුඹේ ලගම දැවටෙමින්
උණුසුමක් සොයා යන 
පුංචි මුව පැටික්කිට
නොරිදෙන්න බිදක් වත්
සැලෙන සීතල මතින්
නතරවුණු නුඹේ
ලවන් යුග තව
ඇගේ  අඩ සද මතින්...

ඒ තරම් ආදරෙන්
හිරිවැටුණු පුංචි සිත
දෙඇස් වසලා
සීරුවෙන් තව
සිපගන්න ඒ
සොඳුරු උවනත
සැරසුණා පේවී
නමින් නුඹ වෙත...

ආදරය නම්
නුඹ මැයි සිතා
හීන් සීරුවට
ලං උණු ලවන් යුග
සිපගන්න පෙර
ආදරෙන් ආයෙමත්
සිහිනයෙන් පිබිදුණා
පුදුමයකි තව
වියලී නොයන
බිදු කදුළු වැල් 
අලුත් වෙනවා
දෑසින් හෙමින්...

Sunday, March 20, 2016

බිදුණු වීදුරු





තැඹිලි පාට අහස යට ඉරේ රැස් ටිකෙන් ටික අඩු වෙනකොට මගේ පුංචි සුරංගනාවියෝ දෙන්න ඒ දෙන්නගේ තාත්ත එක්ක තියල තනියම ගොඩට ආවේ මේ ලස්සන වෙරළේ ලෑස්ති කරලා තිබුන තේ මෙසේ අඩු පාඩු බලන්න..මගේ ජීවිතේ මම වැඩිපුරම ඉඩ හදල දීල තියෙන්නේ ඒ තුන් දෙනාට..සමහර සමහර නපුරු ඇස් මගේ ජීවිතේට ඇවිත් අදුර උරුම කරලා ගියත් මගේ ජිවිතේ එලිය කරන්න ඒ ලස්සන ඇස් වලට පුළුවන් උනා...මගේ ලග ඉදන් හැමදේම කරලා දෙන්න,එක විනාඩියකටත් මාව තනි කරන්නේ නැතුව ඉන්න ඒ හිතට පුළුවන් උනා...ඇත්තටම මම මුලින් ඒ ඇස් වලට ආදරේ කළේ නෑ...ගෙවල් වල උවමනාවට මගේ ජිවිතේ පෝරුවක් උඩ තියන්න මට සිද්ද උනා..ඒත් එදා බිදුණු විදුරු මල් වාස් එකක් වගේ තිබුන මගේ ජිවිතේ බිදුණු තැන් පෙන්නේ නැති වෙන්න සායම් පින්තාරු කරලා ඒ මල් වාස් එක පිරෙන්න ලස්සන මල් දාන්න එයාට පුළුවන් උනා...

".පිනිදි...මගේ යාළුවා ලගටම ඇවිත් ඕක ලෑස්ති නේද?"

"ම්ම්...ඔව්..දුවල දෙන්න එක්ක එන්න දැන් ඔයත්..."

එයාගේ ජිවිතේ අවුරුදු ගානකට කලින් හිටපු කෙනෙක් අද ආයෙත් එනවලු...එයාට හිටියේ එකම එක මල්ලි කෙනෙක්...ඒත් එයා මුළු පවුලම අතැරලා දුරකට එයාගේ කිරිල්ලියත් එක්ක පියාබල ගිහින් තිබුන...අපේ මගුල් පෝරුව දකින්නවත් එය මෙහෙ හිටියේ නෑ..ඒ මල්ලි ගැන එයාගේ හිත වද වෙනවද නැත්තන් ගානක්වත් නැතුව ඉන්නවද කියන්න මන් දන්නේ නෑ..ඇත්තටම මම එක ඇහුවේ වත්,තේරුම් ගන්න උත්සහ කළේ වත් නෑ...එකයි ඇත්ත...

කොහේදෝ මන්ද ඉදන් මගේ ඉස්සරහින් අත දෙක අල්ලාගෙන ඇවිදගෙන යන ආදරණීය කුරුළු ජෝඩුවක් දැක්කම මගේ හිත අදුරු මතකෙකට එක්කන් යනවා වගේ දැනුන නිසාම මම එතනින් ආයෙමත් මගේ පුංචි සුරංගනාවියෝ ඉන්න පැත්තට යන්න මගේ දිග ඇගිලි එසවෙනකොටම....

"පිනිදි...."

මම ඒ අතීතය මතක් වෙනවට බයෙන්මයි මෙතනින් ඈත් වෙන්න හැදුවේ...ඒත් ඒ කතා කරන්නේ මගේ අතිතයමයි...ආයෙමත් කොහොමද ඒ අතීතය මට කතා කරන්නේ...ලස්සන විදුරු මල් වාස් එකක් උන මගේ ජිවිතේ බිදිච්ච කිසිම වටිනාකමක් නැති මල් වාස් එකක් කරපු ඒ මුස්පේන්තු අතීතය...මම බලන්න ඕනෙමද ඒ කතා කරන්නේ මගේ අතීතයද කියල...නෑ ඕනේ නෑ...ඒත් මට වැරදෙන්න විදියක් නෑ...ඒ එයාම තමයි....

"නිසල්...ඔයා..."

"හ්ම්ම්...අදුරගන්න බෑ නේද...ඔයා මෙහෙ..?"

මම වළලා දාපු ඒ අතීතයෙන් ආපු හෙවණැල්ල..මීට අවුරුදු පහලවකට කලින්...ඔව් හරියටම මීට අව්රුදු පහලවකට කලින් මාව අතැරලා දාල ගියපු මගේ හෙවණැල්ල...එය මගේ වීදුරු මල් බදුනෙ ලස්සනට වශී වෙලාම එයා මාව අරන් ගිහින් එයාගේ මේසේ උඩ තියාගත්තා...කාලයක් යනකන්ම එයා ඒ මල් වාස් එක ගොඩාක් පරිස්සම් කරා...ඇත්තටම ඒ පරිස්සම් කරාද?නැත්තන් පරිස්සන් කරනවා කියල පෙන්නුවද කියන්න අදටත් මන් දන්නේ නෑ...වීදුරු හරි ඉක්මනට බිදෙනවනේ...එහෙම උනොත් ආයෙත් පලුදු නැතුව ඒ වීඑදුරුව හදන්නත් බෑ...ඉතින් මල් වාස් එක ඒ හැමදේම දැනගෙන හිටියේ...ඒත්...අර අයිතිකාරයට මේ වීදුරුව ඇතුලේ තියන හැමදේම බලන්න තිබ්බ උවමනාවටම එය ඒ වීදුරුව බිදලා දැම්ම...

ඒත් ඒ වීදුරුව හිතුවෙම ඒ අයිතිකාරයා එයාව ආයෙත් පලුදු තැන් පෙන්නේ නැති වෙන්න ලස්සන කරලා එයාගේ මේසේ තියාගනි කියල.ඒත් ටික කාලයක් යනකොට ඒ අයිතිකාරයාගේ වීදුරු මල් බදුන තියෙන මේසේ කකුල් හෙලවෙන්න ගත්තේ වීදුරුවට එයාගේ මුළු ජිවිතේ ගැනම ලොකු බයක් ඉතුරු කරලා..ඔව්...ඒ බය හරිම සාදාරනයි...එය වීදුරු මල් වාස් එක එයාගේ මේසෙන් අයින් කරන්න යනවා...ඒ හෙලවී හෙලවී තිබුන මෙසේ දැන් ගැලවිලා වැටෙන්නම ලගයි...ඒ වීදුරුව කියාගන්න තියන හුගක් දේවල් අතරේ හිරවෙලා අඩද්දිම හිතක් පපුවක් නැති ඒ අයිතිකාරයා ඒ මල් වාස් එක තියල තිබුන මේසෙ ගලවලාම දාල..අලුත් මේසයක් ගෙනත් එයාගේ ලගින්ම තියාගත්තා..මේසයක් විතරක්මද...නෑ...සරුව පිත්තල මල් වාස් එකකුත් එක්කම...එදා ඒ අයිතිකාරයා කාලයක් එයාගේ මේසේ ලස්සන කරපු මල් වාස් එකට සදහටම එයාගේ ජිවිතේ ඉඩ නැති කරලා දැම්ම...නිකන්ම..මුකුත් නොකියම...නෑ..එක දෙයක් කිව්වා..

"බිදිච්ච වීදුරු වල කාට කට තියන්න බැරිද...කාට මල් ගෙනත් දාන්න බැරිද...ඕව මට වැඩක් නෑ..."

"ඒත් මේ වීදුරුව බින්දේ ඔයා...අනික කාගේවත් පිපාසෙට මන් වතුර දුන්නේ නෑ...කව්රුවත් මල් ගෙනත් දැම්මේ නෑ...ඇයි මාව එපා කියන්නේ...."

එදා අහපු එක ප්‍රශ්නෙකටවත් එය ලග උත්තර තිබුනේ නෑ..තිබුනේ මුණ පුරාම ඇදිච්ච සමච්චල් හිනාවක් විතරයි...දරාගන්න බැරි හීරීම්,තුවාල වීම් ගොඩක් එක්ක මම අසරණ වෙද්දී මගේ ලගට ලං වෙන්න උත්සහ කරපු කීප දෙනෙක් අතර මගේ ජීවිතේ හුගක්ම අදුරු සිදුවීම් දැනගෙනම ලං උන ඒ ලස්සන හදවතට අපේ අත්සන් ලොකු පොතේ තියද්දීවත් ආදරේ කළේ නෑ...ඇත්තටම මම පෝරුවට නැග්ගේ අම්මලාගේ හිත හදන්න,ඒ වගේම එය මගේ ගැන දැනන් හිටපු එක හිතට ලොකු සහනයක් උනු නිසා...කාලයක් යද්දී ඇත්ත ආදරේ මම හරි අපුරුවට ඒ ලස්සන හිතෙන ඉගෙන ගත්ත...හැමදාම වගේම මගේ කර වටේට ආදරෙන් දැවටෙන ඒ අත අදත් මගේ ලග ආදරෙන් දැවටෙද්දී මම ආයෙමත් අර අදුරු අතීතය වහල මගේ ලස්සන පියවි ලෝකෙට ආව...

"පිනිදි...මේ තමයි මන් එනවා කියපු අමුත්තා...මන් දන්නවා කෙනා කව්ද කිව්වනං ඔයා එන්නේ නෑ...ඒත් මල්ලිට උදව් ඕනේ නිසා මන් කිව්වේ නැත්තේ.."

එදා  මට සමච්චල් කරපු ඒ මුණේ ලොකු පසුත්වීමක්,කලකිරීමක් වගේම ඊටත් වඩා පුදුමයක් රැදිලා තිබුන...ඇත්තටම මේ හමුවීම කවදාහෝ වෙයි කියල හිතේ කොනක ගැස්මක් තිබුනත් මෙහෙම නොහිතු වෙලාවක  මේ හමුවීම මම බලාපොරොත්තු උනේ නෑ..එයා හරි..දැනන් හිටිය නං මම කවදාවත් මේ ගමන නොඑන්න තිබුන...

"අයියේ...ඔයා...මේ...පිනිදි..."

"ඔව්..මේ උබ බිදපු වීදුරු මල් වාස් එක තමයි...ඒත් මගේ ජිවිතේ සුවද හමන හැම මලක්ම දැන් තියෙන්නේ මගේ මේ වීදුරු මල් බදුනෙ.....මල්ලි උබ අරන් ගිහින් එහෙදි උබව ඇතරපු සර්ව පිත්තල මල් වාස් එකට වඩා මගේ ලග මේ තියන දේවල් උබට වටින්නේ නැති උනාට ඒ කාලේ.. අද මේ තමයි මගේ වාසනාව "






Friday, March 18, 2016

වදනින් නොපැවසූ නුඹට...




සෙවණැල්ලක්ව අතීතයෙන්
පියඹා එන නුඹට
විටින් විට මම ම
සිතට තරවටු කරන්
හංගන්නට හදන
හංගන්නටම බැරි
කවදා කොතැනක
වැරදුන වගක්
නොදන්නා මුත්
දමා යා නොහැකි
කලු සුදු සිතුවමක්ව
අදත් හිඳිනවා නුඹ
මගේ ළඟ
මගේම නොවී...




ප.ලි.
කටුස්සෙක් විසින් ගෙම්බියකට මැර ප්‍රහාර දියත් කිරීම හේතුවෙන් එම ප්‍රහාර වලින් වැළකීම සදහා ඒ ගෙම්බි විසින් මෙය ලියන ලද බව කරුණාවෙන් සලකන්න.හැක හැක 

Thursday, March 10, 2016

අහිමි සද නුඹ







"ඔයා ඉන්නේ අපේ ගේට් ඒක ලග ද?"

"හ්ම්ම්...ඔව්.."

"ඉන්න මන් එන්නන්..."

ජිවිතේ මට අහන්න ලැබුන ආදරණීයම කටහඩ...ආදරේ කියන වතුර හොයාගෙන වැලිකතරක අතරමන් වෙලා ඉදපු මට ආදරේ ලස්සන හිරි පොද වැස්සක් වගේ වැට්ටුවේ ඔයා.ජිවිතේ ඒ හිරිමල් වැස්සට තෙමෙද්දී මන් උන්නේ කියාගන්න බැරි සන්තොසෙකින්...පුංචි පුංචි හුලන් පාරවල් ඇවිත් කදුළු බින්දු වැටුනත් ඒ හැම කදුළු බින්දුවකටම වඩා මන් ඔයාගේ ආදර වැස්සට තෙමෙන්න ආස උනා.මගේ ජිවිතේ වැඩිම වටිනාකම ඔය හිරි පොද වැස්සට දෙනකොට...ඔව්... ඔයත් ඒ වගේම ලොකු ඉඩක් ඔයාගේ අහසින් මට දුන්නා...ආදරේ පුරෝගත්තු ඔයාගේ තරු ඇස් වලින් මන් මගේ ජිවිතේ එලිය කරගත්තා...මෙච්චර ලස්සන ආදරයක් වෙන කාටවත් කොහෙදිවත් හම්බවෙන එකක් නෑ...ඒ තරම්ම ඒ හිරි පොද වැස්ස ආදරණීයයි...රෝස මල් පෙත්තක් වගේ සැහැල්ලුවෙන් ඒ ආදරේ ඇතුලේ ඔහේ පාවෙන්න පුළුවන්...කවදාවත් බාදාවක් තිබුනේ නෑ මට...තරවටු තිබුනෙත් නැති තරම්ම...ඇත්තටම තරවටුවක් නෙමෙයි ඒක.. මේ පුංචි රෝස මල් පෙත්තට විස කටු ඇනෙයි කියල ඒ හිතේ තිබුණු බය...නපුරු සත්තු ඒ රෝස මල් පෙත්ත පොඩි කරලා දායි කියල ඒ හිතේ තිබුණු බර...

"ඔයාගේ තීරණේ වෙනස් වෙන්නේ නැද්ද...?"

වෙනදට ඉවරයක් නැතුව කඩන් වැටෙන ඒ හිරි පොද වැස්ස,මට ඔච්චම් කරන පුංචි වැහි බින්දු අද කිසිම සද්දයක් නෑ...ලස්සනට දිලිසෙන තරු ඇස් අද මලානික වෙලා...ලොකුම ලොකු කදුළු බින්දු දෙකක් ඒ ඇස් වල ගේට්ටුවෙන් එලියට එන කොටම පිරිලා තිබුනා...දැන් ඒ කදුළු බින්දු ඇස් දෙක කෙළවරටම ඇවිත් තව තප්පර ගානකින් ඒ කදුළු දොරේ ගලනවා....ඒත් එයා අමාරුවෙන් එයාගේ දිග ඇගිලි වලින් ඒකට වැට බැන්දා...එයාට ඕනේ උනේ මට කදුළු පෙන්නන්නේ නැතුව ඉන්න...ඒත් මන් පලවෙනි වතාවට...හ්ම්ම්..ඔව්...පලවෙනි වතාවට ඒ කදුළු දැක්කේ ඒ ඇස් වල...මගෙන් අවසරයක් නැතුවම මගේ ඇස් වලින් එයා වැට බැදපු  කදුළු බින්දු ඔහේ ගලාගෙන ගියා...එයා ආයෙමත් අහක බලාගත්තා...යාන්තන් ඔලුව වැනුවා...එයාගේ හිත එයාටම බනිනවා කෑගහනවා...ඒ ඇස් දෙකෙන් මට මගේ හිතට ඒවා ඇහෙනවා...ඒත් එයාගේ හැම වචනෙකම තියෙන්නේ කලකිරීමක්...එයා ගැනම  කලකිරීමක්...ජිවිතේ උණු එකම එක පුංචි සිදුවීමක් නිසා එයා විදවනවා...එයා එහෙම තමයි...ඇත්තටම ඒක පුංචිම පුංචි අකුණක්..ඒත් එයා ඒ අකුනෙන් හොදටම පිච්චිලා...එයාටම එයා දිහා බලන්න බැරි තරමටම එයා එයාගේ ජිවිතේ ඒ අකුණට බිලි දීල...රෝස මල් පෙත්ත වත් එයා ලග තියාගන්න එයා තීරණය කරලා නෑ...

"මට සමාවෙන්න...ඇත්තටම ඔයා මට සමව දෙන්න එපා.මන් ඒකට සුදුසු නෑ..."

"ඔයා මොනාද මේ කියන විකාර?ඇයි  ඒ වගේ දෙයක් නිසා ඔහොම දුක් විදින්නේ..පිස්සුද අයියේ ඔයාට...?"

"මන් ඔයාට ගොඩක් බලාපොරොත්තු දුන්න..ඒකයි ඔයා මෙතන ඉන්නෙත් අද..හ්ම්ම්...ඒත් මන් ඊට වඩා ලොකු දුකක් ඔයාට, අපේ ගෙදර අයට දුන්නේ...මන් තාත්තගේ සල්ලි නාස්ති කරනවා...මන් යන්න ඕනේ පාර මොකද්ද කියල මට තේරුම් ගන්න බැරි උනා...මන් වගේ හිස් කාලකන්නියෙක් නිසා ඔයාට තව දුක් විදින්න දෙන්න බෑ...මේ ඩිග්රියත් අම්මලට ඕන නිසා කරන්නේ...නැත්තන් මේකත් දමල ගහල කොහේ හරි යනවා මන්..."

"ඔයාට ඔහොම දෙයක් හිතන්න තරම් ලොකු දෙයක් නෙමෙයි මේක..ඒත්..."

"නෑ..ඔයාට මන් එක්ක ඉන්නවා කියන්නේ ලොකු දුකක්..මට ඔයා ගැන හොයන්න බලන්න කාලයක් නෑ..ඔයා අඩනවා තනියම මන් දන්නවනේ...ඔයාව තව මගේ ලග හිර කරගන්නවා කියන්නේ ඔයාගේ ජිවිතේ ලස්සනම කාලේ දුක් විදින්න වෙනවා.ඔයාට කැම්පස් ජිවිතේ ලස්සනත් නැති වෙයි..."

"මට වෙන ලස්සන ජිවිත ඕනේ නෑ..ඔයා ඉන්න ඒ ලස්සන ඇති...මන්...මන්..."

තව කියාගන්න බැරි වචන සිය ගානක් මගේ හිත ඇතුලෙන් ලොකු අරගලයක් කරද්දී තරගෙට මගේ ඇස් වලින් කදුළු බින්දු පොකුරු ගොඩක් ඇවිත් බිමට කඩන් වැටෙද්දී ඒ ඇස් වලට ආපු කදුළු වගේම එයාගේ හීන් ඉකියක් මගේ ඇස් ආයෙමත් ඒ මුණ දිහා බලන්න බල කළා ...ඇත්තටම කාලෙකට කලින් මට කියන්න ඕනේ උනා ඔයාට ඒ දේවල් වලට හිතේ ටිකක් අඩුවෙන් තැන දෙන්න කියල...ඒත් මන් කිව්වේ නෑ..ඒක ඔයාගේ ආසාව නිසා..ඔයා යාලුවෝ එක්ක සැර දේවල් කරන්න යනවනං,වෙන රෝස මල් පස්සේ යනවනං මට ඔයාට කියල,නැත්තන් සැර කරලා හරි හදාගන්න තිබුන...ඒත් ඔයා කලේ එහෙම නරක දේවල් නෙමෙයි...ඔයා කැමතිම දෙයක්..ඔයාගේ ආසම ස්පෝර්ට් එක...මන් ඔයා ගැන දන්න නිසාම ඔයාට නිදහස දුන්න..ඒ වගේම ඔයා කවදාවත් ඒ විස්වසේට පුංචි හීරීමක් වත් වෙන්න දුන්නේ නෑ...ඇත්තටම මන් ඔයාට ඒක නවත්තන්න කිව්වා නන් අද මේ දේවල් මෙහෙම නොවෙන්න තිබුන..තාමත් මේ රෝස මල් පෙත්තට ඔයා ලගම දැවටී දැවටී ඉන්න තිබුන,ඒත් එතන තිබුන ඔයාගේ සතුට දැක දැක එහෙම කියන්න මට හිත හදාගන්න බැරි උනා...

"ඉතින් මන් ඔයාට කරදර කරන්නේ නෑ නේ..ඔයාට හැමවෙලේම කතා කරන්න කියල කිව්වෙත් නෑ නේ මන්..අනික.."

"ඔව් ඔයා අනිත් අය වගේ නෙමෙයි...ඔයා හොද නිසාමයි එහෙම හිටියේ..වෙන කෙනෙක් නන් ඉන්නේ නෑ දාල ගිහින් එහෙනං...මට ඔයාට දුකක් දෙන්න බැරි ඒකයි..මන් වැඩක් කලොත් එකෙන් මොකක් හරි අව්ලක් වෙනවා...තව ටිකක් අව්ල් උනා නන් පොඩි එව්න් එක්ක කරන්න වෙන්නේ ආයෙමත්...සෙල්ලන් කරන්නත් බෑ අතේ දෙකේම ඉන්ජරිස් ඇවිත්...නිකන් බලන් ඉන්න වෙන්නේ ගියත්..මන් මේ හැමදෙයින්ම ඈත් වෙනවා..ආයෙත් තවත් ඔයාට බලාපොරොත්තු දීල ඔයාගේ ලෝකේ කඩන්න බෑ මට...යන්න ඔයා..ඔයාට පරක්කු වෙයි..."

"හරි ඔයා එනකන් මන් බලන් ඉන්නද කතා කරන්නේ නෑ..කරදර කරන්නේ නෑ..නිදහසේ වැඩ ටික කරගන්න..."

"හ්ම්..හා..නෑ එපා මන් ආයෙත් එන්නේ නෑ ඔයාගේ ජීවිතේට කදුළු දෙන්න...ඔයාට වෙන කෙනෙක් අම්මල හරි හොයල දෙයි..ඔයාගේ හොද නිසා ඔයාව රවට්ට ගනී ගොඩක් අය,ඒ නිසා පරෙස්සමින් ඉන්න...මට ටෙන්ෂන් එක දරාගන්න අමාරුයි..නිදහසේ ටිකක් හිතන්න ඕනේ..කාලේ ඕනේ..ඔයාව මේකේ හිර කරලා තියාගත්තම ඔයත් දුක් විදිනවා..."

ඔයාගේ ඇස් වල කදුළු නැති උනෙම නෑ..ඔයා සැරෙන් සැරේට ඔයාගේ දිග ඇගිලි වලින් කදුළු බින්දු වලට වැට බැන්දත් ඒවා ඇස් වලින් අයින් කරගන්න ඔයාට බැරි උනා...ඔයාගේ ඒ කදුළු මේ රෝස මල් පෙත්ත තවත් ඇඩෙවව...ඔයාට වගේම මටත් කියන්න ගොඩක් දේවල් හිත ඇතුලේ තිබුන ඒත් අපි කතා කලාට වඩා ඇඩුවා..ඔයා හිතන්නේ ඔයාගේ ගෙදර අය,මන් සතුටින් තියන්න,ඒත් ඔයාට ඒකට වැදුනේ පුංචි අකුණක්,එකෙන් ඔයා මේ තරම් දුර්වල වෙයි කියල මන් කවදාවත් හිතුවේ නෑ...ඔයයි මායි ඇඩුවා ගොඩක් වෙලා..ඔයාට මාව ඕනේ ඔයාගේ ඇස් වල ඒක තිබුන..ඒත් ඔයාට එට වඩා බයයි මන් තවත් දුක් විදි කියල..අතරින් පතර අමාරුවෙන් ගලපගන්න වචන දෙක තුනක් ඇරෙන්න අපි අපි දිහා බලාගෙනම ඇඩුවා...මන් තීරණය කළා එයාගේ තීරනෙට යට වෙන්න...ඒ එයාගේ හොදට..එයාට තිබුන ආදරේට...එයාට එයාගේ පිච්චුන හිත හොද කරගන්න...එයාගේ හැම වචනෙකම තිබුනේ මට යන්න කියල නෙමෙයි..මට ආදරෙයි කියල..ඒකයි මන් එයාගේ තීරණේට කැමති උනේ...ඒත්...මන් කොහොමද යන්නේ...අතරින් පතර කියවෙච්ච හැම වචනෙකම එයාගේ ආදරේ තිබුන..මගේ ප්‍රශ්න වලට,කදුළු වලට එයා පරාද වෙයි කියල එයාට තේරුණා..එයාගේ එක වචනයක් මගේ මුළු ජීවිතේම එයා වෙනුවෙන් බලන් ඉන්න මට බල කරයි කියල එයා බය උනා අන්තිමට..එයාට ඕනේ උනේ මාව සතුටින් තියන්න...එයා ඒකට මේ රෝස මල් පෙත්තෙන් ඈත් වෙන්න හදන්නේ...එයා පිළිගන්නේ නෑ මේ රෝස මල් පෙත්තේ ලස්සන වගේම ආදරෙත් තියෙන්නේ එයා ලග විතරයි කියල...නෑ නෑ එයා දන්නවා එක..ඒත් නොදන්නවා,නොතේරුන වගේ ඉන්නවා...

"දැන් යන්න මැණික..ඔයා හැමදාම සතුටින් ඉන්න,පරිස්සන් වෙන්න,බුදුසරණයි...!"

"මන් යන්නන්..හැබැයි මන් ඔයා එනකන් හැමදාම බලන් ඉන්නව...ආයෙත් මට කතා කරනවා නේද හිත නිදහස් උන ගමන්...කියන්නකෝ....මට ආදරෙයි නේද.."

"මගෙන් වචන ගන්න හදන්නෙපා ..ඒ හැම වචනෙකින්ම ඔයා බලාපොරොත්තු තියාගන්නවා...ඔයාට බලාපොරොත්තු දීල තවත් පව් පුරවගන්න බෑ මට..."

"ඔයා බොරු කියන්නේ...ඔයා කියන්නේ නැති දේවල් ඔක්කොම මට තේරෙනවා..."

මන් අඩද්දිම ඒ වචන පිට උන නිසාමද මන්ද ටිකක් හයියෙන් ඒක විසිරිලා යනකොට...එයාගේ ඇස් වල කදුළු ආයෙත් අලුත් වෙලා...මගේ නොනවතින ඉකිය මැද එයා එයාගේ පරාජය බාර අරගෙන...
එතනින් එහාට එයාගේ එකම වචනයක් වත් පිට උනේ නෑ...මට ඕනේ උනා එයාට තුරුල් වෙලා අඩන්න...ඒත් මේ පාරේ එහෙම කරන්න බෑ...ඉතින් මන් එයාගේ හිත තවත් තුවාල කරන්නේ නැතුව යන්න ලැස්ති උනා... මට යන්න බෑ...ඒත් එයා වෙනුවෙන්,එයාගේ හිත හදාගන්නකන් මන් අයින් වෙලා ඉන්නවා...ඒත් එයා එකපාරටම...

"ඔව් මන් බොරු කියන්නේ...ඔයා දන්නවනේ...මට වෙන කාවවත් ඕනේ නෑ ආයෙත් මගේ ජීවිතේට..ඒත් ඔයා සතුටින් ඉන්න ඕනේ..මන් ඔයාව.....පරිස්සමින් ඉන්න..."

මගෙන් අනිත් පැත්තට හරවගත්ත ඒ මුණ දිහා කොච්චර වෙලා බලන් හිටියද...එයාගේ කදුළු නවතෙන්නේ නෑ...කඩු කිනිසි සිය ගානක් මගේ හිත වගේම මගේ මුළු ඇගමත් කීතු කීතු කරගෙන යන තරම් වේදනාවක් දැනෙද්දී..මන් වචන ගලපගත්තේ අමාරුවෙන්..

"හ්ම්ම් මන් යන්නන් අයියේ..ඔයා පරිස්සමින් ඉන්න...බුදුසරණයි..!"

Thursday, March 3, 2016

රුවලක් අහිමි ඔරුව








එයාගේ ෂර්ට් එකේ බෝත්තන් කාසි සීරුවට බෝත්තන් ටික ගිල ගනිද්දී මගේ හිත පුරා ඇවිලිච්ච මහා ගිනි ගොඩක් එහා ඇදෙ සැප නින්දක ඉන්න මගේම පොඩි එකා දැකල පපුව පුරාම ඇවිලිලා ගියා. මහා බර හුස්මක් මගෙන් ගිලිහිලා මේ පොල් අතු පැලේ හිල් පොල් අතු වල වැදිලා මුළු ගේ පුරාම විසිරිලා යනකොට,හෙමි හෙමින් මාත් මේ පැදුරු කෑල්ලෙන් ඈත් උනේ තවත් හිටියොත් මේ මුස්පේත්තු නිහඩබව හිතේ මහා ලොකු ගින්නක් අව්ලලා ඇස් වලිනුත් ලෝදිය පොකුරැ දොරේ යන්න වැඩි වෙලාවක් නොයන නිසාමයි.මුහුදු රැල්ල එක්ක මේ රෑට හුළඟ තියාගන්නේ මොන කරුමක්කාර සම්බන්දයක්ද?ඒත් එක්කම සමහර දවසට කඩාගෙන වැටෙන වැස්ස...මේ වැල්ලේ සමහර එව්න්ගේ ජිවිතේ ඉරණම තීරණය වෙන්නෙත් මේ කරුමක්කාර දේවල් එක්ක..ඒ වගේම ඔය කරුමක්කාර හුළගට වැස්සට මුවා වෙලා තව ගෑනු කීදෙනෙක්  තමන්ගේ මිනිහගේ පැදුර අනිත් එව්න්ට දීල සැනසෙනවද...ඒත් මුන් ඔක්කොටම පෙන්නේ මගේ කරුමක්කාර ජිවිතේ විතරයි...

"මොනවද බන් ඔය හැටි කල්පනා කොරන්නේ? තව මොන හරි අඩු පාඩුවක් තියනවනං කියපන්.."

මේ මුස්පේන්තු ජිවිතේ පුරවන්න කියල නං හිස් තැන අඩු පාඩු කොච්චරක්ද...මේ එකෙක් වත් ඇහුවට ඒවාට පිළියම් මුන් ලග තියනවද..ඒත් පොඩි එකාගේ කිරි පිටි,බත් වේල,ඉස්කෝලේ ගමන ගැන හිතන්න ඕනේ...අපේ පව්කාරකම් වලට මේ නොදරුව මක් කරන්නද?"

"හ්ම්ම්..ඔහෙට තේ කෝප්පයක් හදන්නද...?"

"එපා බන් මේ වැල්ලේ ගෑනු ටික නැගිටින්න කලින් මන් ගෙදරට යන්න ඕනේ..."

වැල්ලේ ගෑනු...මාත් මේ වැල්ලේම තමයි..නැතුව අහසින් කඩාපාත් උනෙයි මන්..ඒත් මන් ඒ හැම ගෑනියෙක්ටම වඩා වෙනස්...උබට මෙහෙම...  කියන්න වචන සිය ගානක් මගේ හිත ඇතුලෙම තෙරපෙද්දී මුනිච්චාවට අමාරුවෙන් මුනට ගත්ත හිනාව පෙන්නලා දොර එහාට කරගෙන වැල්ල පැත්තට ගියේ කරන්න දෙයක් නැති කමටත් වඩා මේ හුළගට වත් මගේ කරුමක්කාර ජිවිතේ ගෙනියන්න පුලුවන්ද අහන්න.. මේ වැල්ල කලබල වෙන්න තව පැයක් දෙකක් තියන නිසා නිවිහැනහිල්ලේ මේ මුහුදෙන් එන රැලි දිහා බලන් ඉන්න පුළුවනි..මේ රැල්ල වගේ මගේ ජීවිතෙත් ගොඩ තියාගන්නම බෑ....ගොඩ ආවා වගේම හරි ඉක්මනට ආයෙමත් මුහුදු පතුලටම ඇදිල යනවා...

රුවලක් කැඩුණු ඔරුවක් වගේ  ඔහේ පාවෙවී මුහුදු කරේ තිබුන  මගේ ජිවිතේට  හැමදාම දකින රුවල් කදන් මගේ කැඩුණු ජීවිතේට ලං වෙන්න ඉව අල්ලද්දී අමාරුවෙන් උනත් කැමැත්තෙන්ම ඈතට ගියේ මගේ ලග ඉතුරු වෙලා තිබුන එකම සම්පත රැකගන්න.හිල් වෙච්ච පොල් අතු අස්සෙන් මහා රෑට එන කරුමක්කාර හුලන් රැලි,ලොකු වැහි බින්දු  මේ හැමදේම ඉවසගත්තේ මට ඉතුරු උන එකම සම්පත රැකගන්න.මාළු කුඩේ කුණු කොල්ලෙට විකිනෙද්දී ජිවිතේ ගැට ගහගන්න මේ වැල්ලේ ගෑනු කරන සුමේ ඇස් දෙකින්ම දකින වැල්ලේ ගෑනියෙක් වෙච්ච මටත් ඒ මාළු කුඩෙකටම මගේ ජීවිතෙත් බර හේත්තු කරන්න වෙයි කියල මන් කවදාවත් හීනෙකින්වත් හිතුවේ නෑ...ඒත් මේ වැල්ලේ හුගක් ගෑනුන්ට ලෝකෙට පෙන්න හරි නොපෙනෙන්න හරි තව හයිය අතක් උන් ලග තිබුන..මගේ ලග තිබුන ඒ හයිය මට නැති උන එක තමයි මේ ජිවිතේ තියන කාලකන්නිකම...

මාළු කුඩේ පුරවගන්න ගියත් එතන ඉන්න මාළු කාක්කන්ගේ ඇස් වලින් අත පයින් බේරෙන්න කොච්චර දහ දුකක් වින්දද...මාළු කාක්කෝ  ඇත්තටම ඉල්ලුවේ මාළු ගන්න කියල නෙමෙයි...උන් මගේ වටේටම දාල තිබ්බ දැලකට හරි ඇමකට අහු වෙයන්  කියලා..රුවල කැඩුනත් ඔරු කදට පාවෙන්න හරි ශක්තිය තාම තියනවා. උන්ට මාළු ගන්නවට සල්ලි වගේම තව පැදුරුත් ඉල්ලන්නේ මගේ රුවල මට නැති නිසාම කියල නොදන්නවා නෙමෙයි මන්...රුවලක් නැති මේ ඔරුව ඇත්තටම අසරණයි..පිහිටක් හොයනවා..ඒත් එහෙමයි කියල අනිත් උන්ගේ රුවල් අරන් මගේ ඔරුවේ මගේ වගේ ගැටගහගන්න කිසිම ඕන කමක් තිබුනේ නෑ මට...මාළු කාක්කන්න්ගෙන් බේරිලා අමාරුවෙන් පුරවගත්ත මාළු කුඩේ විකුණගන්න අව්කාස්ටකේ කොච්චර වෙලුනත් ගන්න එව්න් ඉල්ලන්නේ කුණු කොල්ලෙට..ඉතින් ඒ හම්බවෙන සොච්චමෙන් හෙට මාළු ගන්නයි පොඩි එකාට කන්න,ඉස්කෝලේ යන්නයි කොහොමද මේවා කරගන්නේ...

ඒත් මගේ හිතේ කවදාවත් මගේ මිනිහගේ පැදුර වෙන එකෙක්ට දෙන්න කිසිම අදහසක් තිබුනේ නෑ..දෙයියන්ගේ නාමෙන් හරි ආයෙත් මගේ මිනිහ ආපු දවසට ඒ මිනිහට ඇලවෙන්න ඒ පැදුර පිරිසිදුව තියෙන්න ඕනේ කියලයි මන් හිතුවේ...ඒත් මගේ කාලකන්නි ජීවිතේට ඒ වගේ පාරමිතාවක් වත් පුරන්න පින් කොයින්ද...?හිතා මතාම හරි,නොහිත හරි එක පාරට ඒ වැදිච්ච අකුණු පාර මගේ ජිවිතේ තුට්ටුවට දැම්ම...මුදලාලිගේ වාහනෙන් ආපු ඒ අකුණු සැරට මේ ඔරු කද මාසයක් ඔත්පල කරලා ඇදට දාන්න පුළුවන් උනා, මගේ අවාසනාවටද,පොඩි එකාගේ වෙලාවටද කියන්න මන් දන්නේ නෑ.ඒත් මේ වැල්ලේ ඒ අකුණ මහා විසාල ගෙරවීමකුත් එක්කයි පැතිරිලා ගියේ....අකුණට මේ ඔරුව බලෙන් මුණ දුන්න කියල මුළු වැල්ලේම ගොරවද්දී එකෙක් මගේ හිත කොච්චර පිච්චිලාද කියල හොයල බැලුවද?
.
මගේ මුස්පේන්තු පව්කාරකම උනත් එක අතකට මේ අකුණ පොඩි එකාගේ වාසනාව... ,දැන් ඌ කාල ඇදල ඉන්නවනේ,හැමදාම ඉස්කෝලේ යනවා,පොත පත අඩු පාඩුවක් නෑ...ඒත් ඌ ලොකු මහත් වෙච්චි දවසට..මේ ඔරු කද අනිත් උන්ට වගේම රොඩු ගැහිච්ච හැමෝම අයින් කරලා දාපු ඔරු කදක් වගේ පෙනෙයිද...???.

"ඈ...චිත්රෝ...මොකද්ද මේ අද වෙලා තියෙන්නේ..."

 ඔත්පල වෙච්ච මාසෙට පස්සේ ඇවිදගන්න ඔරු කදට තිබ්බ වාරු නැතුව යද්දී වැඩි දුර පයින් යන්න බැරුව ඉන්නැද්දී අර පුපුරපු අකුණෙන් පුද සත්කාර ලැබෙනකොට කට වහන් හිටියේ මගේ පොඩි එකා නිසාමයි.ඒත් මේ හිතේ ඒ අකුණට එදත් අදත් කිසිම ඉඩක් නෑ... අනික ඉතින් අකුණකින් ලැබෙන්නේ තවත් පිච්චි පිච්චි ඉන්න පුද සත්කාර මිසක් පිච්චිච හිතක් සනීප කරන්න පුලුවන්ද...දැන් ඒ අකුනට මගේ හිත,ජිවිතේ විතරක් නෙමෙයි මගේ ආත්මෙත් පිච්චිලා ඉවරයි...

"මුකුත් නෑ..සෙනයියේ..දැන් ගියා නං නේද හොද?"

"හැමදාම මන් ආපු වෙලේ ඉදන් හදන්නේ මාව එලවගන්නමනේ...අනික මන් මේ එන්නේ පොඩි එකාට තියන ආදරේටනේ...."

පොඩි එකාට ආදරෙන් පැදුරේ ඉල්ලන්නේ මොන මගුලකටද...ඔය වචන ටික මගේ හිත ඇතුලෙන් පුපුරලා ලෝදිය වපුරද්දී ඒ ගින්න ඇස වලින් පිට කරලා නිකන් ඉන්න උනේ මගේ අසරණකම...නෑ මගේ කාලකන්නිකම නිසා මේ පොඩි එකා දුක් විදි කියන බයටමයි.මගේ රුවල තිබුනනං මේ කොහෙවත් යන සල්ලාල රුවල් මට ඕනි නෑ..මගේ හිතේ වගේම මගේ ජීවිතෙත් තියෙන්නේ මගේ පරණ රුවල ලගයි...මේ ඔරු කදට වෙන රුවල් ඕනේ නෑ..ඒත් වැඩි දුරක් බර වැඩක් කරගන්න බැරි ඔත්පල උණු නොව්නු ඔරු කදක් දැන් මන්...හිත ඇතුලේ පුපුරන ගිනි ඇතුලෙම තියාගෙන කොහෙන්ද මන්ද ඇහිදගත්ත වචන ටිකක් මගේ කටින් පිට උනේ මගේ හිතින් මටම සාප කරගනිමින්...

"හ්ම්ම්...පොඩි එකාට හැමෝම ආදරෙයිනෙ...ඒත් ඒ ආදරේ පොඩි එකාට කියල හැමෝම  එන්නේ වෙන එව්වා හොයාගේනනේ.."

"උබ තරහින්ද..."

"අනේ නෑ මේ හරි සන්තෝසෙන් ඉන්නේ..."

"හ්ම්ම්...මන් අද කොලබ  යනවා,ලබන සතියේ දිහාට මේ පැත්තේ එන්නං පොඩි එකාට මොන හරි අරගෙනම..."

"පොඩි එකාව බලන්න ඌ නිදාගත්තම වෙන්නැති එන්න ඕනේ වෙන්නේ..." 

ඒත් ආයෙමත් මට පොඩි එකාගේ ඉස්කෝලේ ගමන් මතක් උනා..මන් මේ සල්ලාල ඔරු කදට දෙස් තියනකොට අඩුවෙන්නේ මගේ පොඩි එකාගේ බත් වේල නේද..?බෑ..බෑ..එහෙම වෙන්න දෙන්න බෑ.. හිතේ එක කොනකවත් නැති බොරු රෝස මල් පෙත්තක් අරගත්තා මන් ඒක පාට කළා..නැත්තන් මගේ පොඩි එකාගේ ජිවිතේ කළු සුදු වෙනවා...

"පරෙස්සමට ගිහින් එන්නකෝ එහෙනං.."


Monday, February 29, 2016

මගේ ආදරේ තරම්...





පුංචි වැහි බිඳු වැටෙන - සීතලට ඇකිලෙමින්
පුරුදු ගුරු පාරෙ මං -  ඇවිදිමින් හෙමි හෙමින්...
සිතනවා නුඹ ගැනම - දන්නෙ නෑ නුඹ තාම
මගෙ ආදරේ තරම්...

හිනාවට වල ගැහැන - නුඹේ ඔය සොදුරු වත
යනෙන ඔය ඇත් ගමන - විදගන්න නෙත් පුරා
මගේ හිත කැමති වග - දැන දැනම නුඹ ඉතින්
හිදී නොදුටුව ලෙසින්...

දඟකාර නුඹේ ඇස් - අමුතු ඉඟි බිඟි ඉතින්
කෝම තේරුම් ගන්නෙ මං - නුඹේ හිත මට කියන
හිත මගේ කලබලයි - නුඹේ ඔය ඇස් ගාව
නුඹ දකින හැමදාම...

හුරතලෙන් දැවටිලා - කියවන්න නුඹේ ලග
මගෙ කතා වලට නුඹ - හිනැහෙන්න ලග ඉදන්
මගේ හිස අතගාන - තුරුල් කර ආදරෙන්
රැදෙන්නට දිවි මගේ...

නුඹෙ අතේ එල්ලිලා - උණුසුමට ආදරෙන්
නුඹේ ළඟ දැවටෙමින් - ඉන්න මග බලනවා
හුස්ම අපේ වැටෙනකන් - නුඹේ කුමරිය වෙලා
හැමදාම ආදරෙන්...

තවත් කල් අරන් කුමටද ඉතින්  - කියනවද ඉක්මනින්
නුඹේ මනමාලිය වන්න - හීන මගේ සරසන්න
නුඹේ සිත මගේ බව - පියමනින සසර මග
හැමදාම ආදරෙන්...



Friday, February 26, 2016

උඹට සුබ උපන් දිනයක්...







ආදරණීය බෙයෝනා,

කියන්න තියන දේවල් සිය ගානක් අතරින් පුංචිම පුංචි දේවල් ටිකක් මම උඹ වෙනුවෙන් හදිස්සියේ ලියමි.උඹෙයි මගෙයි යාළුකමට මහා ලොකු කාලයක් වයසක් නැති උනත් අපේ යාලුකමින් උඹෙයි මගෙයි ජිවිත වලට ලැබුණු වගේම ඉගෙනගත්ත දේ වචන වලින් කියල ඉවර කරන්න බැරි තරම්.යාළුවො කියල කියන එව්න් සිය ගානක් අතරින් ඉස්කෝලේ ඒ හිටපු යාලු රැලට පස්සේ මගේ ජිවිතේ මට ලැබුණු හොදම යාළුකම ලැබුනේ උබෙන්.

අපි අදුරගත්ත මුල් කාලෙම කලිසම් අදින චීත්තකාරයෙක් කරපු වැඩක් නිසා අපි කතා නොකර හිටිය.ඒ වගේම ඒකට පිදුරු දාපු අපේම යාලුවෝ කියන එකියනුත් නිසා අපි අතර කතා බහක් සිද්ද්ද නොව්නුනු තරම්.හැබැයි මන් වගේම උඹත් වැඩි කාලයක් නොගිහින් තේරුම් ගත්ත වටේ ඉන්න එව්න් කියන ඒවා අහල තේරුමක් නෑ,අපිම මේ ප්‍රශ්නේ විසදගන්න ඕනේ කියල.ඇත්තටම උඹටයි මටයි එහෙම කතා කරන්න හයියක් තිබුණු එක ගැන අදටත් මට තියෙන්නේ කියන්න බැරි සතුටක්.මොකද අපි වටේ හිටපු එව්න් අපි දෙන්නට අපි දෙන්නගේ මුණ බලන්නවත් පුළුවන් විදියට වැඩ කරලා තිබුනේ නෑ.මගේ හිතේ උඹ ගැනත්,උබේ හිතේ මන් ගැනත් තිබුනේ ලොකු තරහක් විතරයි.හැබැයි උන් එහෙම කරලා බලාපොරොත්තු උනේ මොකද්ද කියන්න මන් අදටත් දන්නේ නැති දෙයක්.කොල්ලෙකුයි කෙල්ලෙකුයි තරහ කරා නං හිතන්න තිබුන ඉරිසියාව කියලවත්,ඒත් මේ එකට වැඩ කරන කෙල්ලෝ දෙන්නෙක් තරහ කලේ මොනවා ලබාගන්නද කියන දේ ගැන මට තාමත් තේරුමක්  නැත.

හැබැයි මේ සිද්දියෙන් පස්සේ උඹයි මමයි අතර ගොඩනැගුනේ යාලුකමකට වඩා සහෝදරකමක්.මේක නිසාම අපි දෙන්න ඔපීසියේ "මෝඩ ජෝඩුව" කියන වැදගත් නම්බු නාමය පවා දිනා ගත්ත.ඔපිසියට අපි දෙන්නම ආවේ A/L කර ගෙදර ඉන්න කාලයේ ආසාවටය.ඔපිසියේ වල්පල් වගේම තව රටේ නැති වල් පල් කියව කියව හවසට බස් එකට නගින්නට ගන්ගාරමේ ඉදන් හෝල්ට් තුනක් පයින් යන අපි වගේ මොංගල් ජෝඩුවක් තව ඉන්නවද කියන්න මන් දන්නේ නැත.අපේ තරම කොච්චරද කියනවනං අපේ අම්මල උනත් දැන් නං අපි කියන දේවල් වලට කියන්නේ "හොරාගේ අම්මගෙන් පේන අහනවා ඔයිට හොදයි"කියලය.අපි හොර වැඩ කලත් කරන්නේ එකටමයි,අනික ඒවා ඉතින් අහිංසක හොර වැඩනේ නැද්ද?.අපි කරපු තරමක් කලේ මොකක් හෝ ගොන් වැඩක් නැත්තන් එලෝ මෙලොව මනුස්සයෙක් නොකරන බහුබූත වැඩක්.ඇයි දෙයියනේ අර අපේ රෙසිපි වලට හදාගෙන කාපු කෑම ඔපීසියේදී.ආයෙත් උඹටයි මටයි එහෙම එක තැනක වැඩ කරන්නට ලැබෙයි කියා සිතන්නට අමාරුය.එත් මේ යාළුකම හැමදාම එකම විදියකි.

මන් වගේම උඹත් කදුළු හංගගෙන හැමෝම ඉස්සරහ හිනා වෙන්න හරිම දක්ෂයි.ඒවගේම උඹටයි මටයි එක වගේ ගති ගුණ හුගක් (මන් කිව්වේ මොංගල් ගතිත් ඇතුළුව) තිබුන නිසාමද මන්ද අපි අතර මේ තරම් හොද යාළුකමක් ඇති උනේ.ඇත්තටම එක සහෝදර කමක්.මොන හරි දෙයක් කියනකොට එක ඉවසීමෙන් අහගෙන ඉන්න උඹට තියෙන්නේ පුදුම හැකියාවක්.මන් තරහ ගිය වෙලාවට චීන පටස් වගේ පුපුරද්දී,උඹ තරහ හංගගෙන හිනා වෙලා කියන්න ඕන එකාට කියන්න ඕන දේ කියල එන ගතියට මන් හරිම කැමති.උඹට තරම් ඒ ඉවසීම මට කවදාවත් ඇති වන එකක් නැත.උඹ ජිවිතේ හුගක් තැන් මට වඩා හොදට තේරුම් අරන් උනත් පොඩ්ඩ ඇත්නං හිතින් කඩන වැටෙන ගතිය වගේම,ඕන එකෙක් දැක්ක ගමන් විස්වාස කරන ගතිය නැතිකරගනින්.මොකද උඹ අමාරුවේ වැටෙන තරමක් අමාරුවේ වැටෙන්නේ ඔය ගතිය නිසාය.

ඉස්සර තරම් උඹටයි මටයි එකට බස් එකේ යන්නට,කියවන්නට,ගොන් වැඩ කරන්නට දැන් වෙලාවක් නැත.මන් පොත් අස්සේ හිරවෙද්දී උඹ තව මාස දෙක තුනකින් වගකීම් පිරිච්ච ජීවිතයකට වගේම මේ රටත් අතහැර යන්න හදනවා.අපිට දැන් ඒ වගේ කතා කරන්න වෙලාවක් නැති උනත් මැසේජ් එකක් වත් දාන්න තාම වෙලාව තියන එක සතුටුයි.(වයිබර් කියන එක හදපු එකාට නං ඇත්තටම පින්,නැත්තන් ඕකත් නැති වෙනවා.හිකිස්.)හැබැයි මන් මොකක් හරි ගොන් වැඩක් කර අඩන දවසට උඹ මගේ ලග ඉන්න බව මන් හොදටම දන්න දෙයක්.ඒක ඒ වගේම උඹටත් පොදුයි.උඹ හිනා වෙන හැමවෙලේම උඹ ලග ඉදන් අත්පුඩි ගහන්න මට බැරි වෙයි.හැබැයි උඹ අඩන්න මන් ලගට එද්දී මන් අනිවාර්යෙන්ම උඹ ලග ඉන්නවා.

උඹ දැන් මුහුණු පොතේ වත් හොයාගන්නට නැතිය,ඒත් මට කියන්නට අවැසි හැමදේම මෙහෙම කුරුටුගාල තියන්න පුළුවනි.මොකද උඹ මේ බ්ලොගය අනිවාර්යෙන්ම කියවනව කියල මන් දන්න නිසා.උඹේ ලග තියෙන හොද ගති ගුණ ජිවිතේ කවදාවත් නැති කරගන්න එපා බන්.මොකද ඒ ගති ගුණ ජීවිතේට ඇත්තටම වටිනවා.මම උඹෙන් ඉගෙන ගත්ත දේවල් ගොඩක් තියනවා.ජිවිතේ අපි අඩද්දී ඇත්තටම සනසවන්න පුළුවන් වගේම හිනා වෙද්දී හදවතින්ම සතුටු වෙන්න පුළුවන් අය ඉන්නේ බොහොම පොඩි ප්‍රමාණයක්.අන්න ඒ වගේ හොද ගති ගුණ තියන උඹ මට හොදම යාලුවෙක්.එක අම්මගේ නොවුනත් හොද සහෝදරියක්.ජිවිතේ මන් දැකපු ලස්සන ගති ගුණ තියන කෙල්ලෙක්.මගේ ඕනෑම දෙයක් කියල මගේ හිත සැහැල්ලු කරගන්න පුළුවන් ආදරණීය යාලුවෙක්.තව කියන්න උඹ ගැන තියන දාහක් දේ අතර මන් මේ තරම් පුංචි දේවල් ටිකක් කියා නතර කරනවාට සමාවෙයන්.

ඉතින් බෙයෝනා...නැත්තන් ආදරණීය කොටෝ...උඹට සුබ උපන් දිනයක්...
ජිවිතේ අඩන්නේ විදවන්නේ නැතුව,සතුටින් හිනා වෙලා ජිවිතේ විදින්න මන් උඹට හදවතින්ම සුබ පතනවා.!!!




Monday, February 22, 2016

සමින්දි






හඳ..මම  ආස උනේ හඳක් වෙන්න...හැබැයි එකම එක අහසකට...කවදාවත් ඒ අහසින් බහින්නේ නැතුව ඉන්න..ජිවිතේ පුංචි තරුකැට රෑනක් පිරිවරාගෙන ඉන්න අහිංසක හඳක් වෙන්න..මේ අද අහසේ පායලා තියන ලස්සන හඳ  වගේම වෙන්න..පුංචි පුංචි වලාකුළු හෙමින් ඇවිත් මගේ ජීවිතේට හාදු තියන්න හදද්දී මම  ඒ වලාකුළු වලට යට වෙන්නේ නැතුව කොච්චර සතුටින් එකම අහසකට විතරක් ආදරේ කරපු කාලයක් එක...

හිත පිරෙන්න ලොකු හුස්මක් ගනිද්දී කොහේදෝ මන්ද ඉදල ආපු සීතල හුලන් රැල්ලක් මගේ මුළු ඇගම...නෑ..හිතත් එක්කම හිරි වට්ටගෙන මාව අරන් ගියේ මන් වළලා දාපු ඒ පව්කාර අතීතය හොයාගෙන.රෝස මල් පෙත්තක් උඩ සැහැල්ලුවෙන් පාවෙවී තිබ්බ මගේ ජිවිතේ මගේ හෙවනැල්ල වගේ හිටපු අම්ම තාත්තා අතහැරලා මම  ගියේ කොහෙද...ඔව්..මගේම අහසක හදක් වෙන්න...මෝඩ කමක්ද එක..නෑ එක පව්කාරකම...

මම  අයිති කරගත්ත කියල හිතාගෙන හිටපු අහසේ පායපු හඳ  වෙන්න මම  ගියේ..මගේ ලග තිබුන මනුස්ස වගේම අජීවී සියලු දේවලුත් අතහැරලා...රෝස මල් පෙත්තක ජිවිතේ අකුරු ඇහිදපු මන් දිරාගෙන යන පුංචි කොළ කෑල්ලක අමාරුවෙන් අකුරු ගලපන්න ඉගෙන ගත්ත...ඒ ඔයාගෙන්ද...නෑ..මම  හිතන්නේ මන් තනියම ඉගෙන ගත්තේ...

"අරවින්ද..හැමදාම මෙහෙම ඉන්න බෑ...අපි බදිමු...."

"ඇයි මේ හදිස්සියක්...ඔයාට 18 වෙන්න තව මාස ගානක් තියනවනේ..."

"හ්ම්ම්...ඉක්මනට බදිමු...අපේ අම්මලත් මන් ආවම මෙහෙ දෙවල් විකුණලා අයියල ලගට ගිහින්..."

"ඔයා හදිස්සි උනා සමින්දි ...නැත්තන් අම්මලාව කැමති කරගන්න තිබුන..."

"පාරේ ත්‍රීවිල් එකක් හයර් කරන කෙනෙක්ට ඒගොල්න්ගේ එකම දුව දෙන්න අපේ තාත්තලාගේ සල්ලි බලේ කැමති උනේත් නෑ නේ...කවදාවත් කැමති වෙන්නේත්  නෑ..."

පුංචි අල්පෙනෙති වලින් පටන් ගත්ත අපේ සීතල යුද්ද අන්තිමට ඉවර වෙන්නේ මහා ලොකු බර කඩු කිනිසි විසි වෙලා...මහා රූස්ස ගහකට යටවූනු  පුංචි තුත්තිරි ගහක් වගේ හැමදේම ඉවසගෙන ගෙවපු කාලකන්නි ජිවිතේට දවසක් අලුත් බලාපොරොත්තුවක් ඇවිත් තිබුන...කළු වෙච්ච අහස මේකෙන් තවත් කළු උනා මිසක් ඒ පුංචි තරු කැටේට එලිය දෙන්න ඒ අහසේ ඉඩක් වෙන කලේ නෑ..හ්ම්ම්...ඔව් දැන් මට තේරෙනව එතකොටත් ඔයාගේ අහසේ වෙන හඳක් පුංචි තරු කැට දෙකක් ඉදල...මම  ඔයාගේ අහසට මගින් ගොඩ වෙච්ච නන්නත්තාර අමාවක හඳක්...ඉතින් කොහොමද මගේ තරු කැටේට ඔය ඉඩ දෙන්නේ...ඒ අයිතිය සින්නක්කරවම තව හඳක් උදුරාගෙන ඉවරයි....ඒක මහා මුසල දවසක්...මම  මගේ ඇස් දෙකින් ඔයාගේ අහසේ පායපු හද තරු පැන්චියෝ දැකපු මගේ ජිවිතේ පාලු සොහොනක් උණු දවස....

"අරවින්ද කව්ද මේ ගෑනි..."

"මම  දන්නේ නෑ..පිස්සුද කොහෙද මේ ගැනිට...නන්නත්තාරේ ගිහින් බඩ උනාම කාගේ හරි ඇගේ එල්ලෙන්න හදනවා...."

එදා ඔයා දුන්න උත්තරේ මගේ කන් වලට ලං වෙද්දීම  කියාගන්න බැරි මොකද්දෝ මන්ද අසරණකමක්  මගේ හිත ගිනි තියල ඉවරයි...ඔයාට විරුද්දව එදා මගේ හිතේ මහා හයියෙන් අකුණු ගැහුවත් මට ඒ අකුණු සැර ඔයාට එවෙලාවේ වදින්න නොදී මගේ හිත ඇතුලෙම තියාගත්තේ ඔයා ලග මේ කිසි දෙයක් තේරුම් ගන්න බැරුව අසරණ වෙලා හිටපු පුංචි තරු පැන්චියෝ දෙන්න නිසාමයි... ඔයාටවත් ඔයාගේ සින්නක්කර කිසිම දේකටවත් අදටත් එදා වගේම හිතේ කිසිම තරහක් නෑ..කොහොමත් දැන් මේ හිත හරි පිරිසිදුයි....ඔයාගේ නමවත් මතක් කරන එක මගේ හිත අප්පිරිය කරන දෙයක් දැන්...එත්...අන්තිම පාරට...

"අම්මට කොහොමද දැන්.."

"නර්ස් නෝනා....කෝ... මගේ දරුවා..."

"අම්මේ...කලබල වෙන්න එපා...ඔයාට අයෙමත් උත්සහ කරන්න පුළුවන්නේ..."

"ඒ කියන්නේ මගේ දරුවා....නෑ නෑ එහෙම වෙන්න බෑ...මගේ ජිවිතේ එකම බලාපොරොත්තුව...."

කාත් කව්රුවත් නැතුව තනියම අකුරු කරපු සින්නක්කර තියා උගසට ගත්ත අහසත්වත් නැතුව කාලකන්නි වෙලා හිටපු ජිවිතේ තිබුන එකම බලාපොරොත්තුව...ඇත්තටම උඹ  වගේම උබේ ලේත් මාව රවට්ටලා...මහා ගොඩක් හීන එකතු කරලා එක තත්පර ගානකින් හැමදේම අලුවත් හොයාගන්න නැති වෙන තරමටම විනාස කරලා දාල...

ඉකියක් ඇවිත් මගේ මුළු ඇගම අප්‍රාණික කරගෙන එලියට එද්දී මම  මගේ ජිවිතේ හෙලපු අන්තිම ආදරණීය කබුලු බින්දු මගේ නුපන් පුංචි තාරුකාව වෙනුවෙන් වැටෙද්දී මහා විසාල අකුණු ගෙරව්ම් මැදින් මට උගසට තියාගෙන හිටපු අහසත් නැති උනාම උඹව හදාගන්න මම  ගාමන්ට් ජිවිතේ අතරමන් උණු හැටි මැවිලා පෙනුන..ඇත්තටම පුතේ උඹ  නෙමෙයි මාව රැවට්ටුවේ...මම මයි උඹව නැති කරන තියෙන්නේ....කන්න ආස හිතෙන දෙයක් නැතුව පිරියක් නැති කෑම කාල අන්තිමට ආයෙමත් එලියට දැම්ම...ඇත්ත...කොහෙන්ද පුතේ උඹට ජිවත් වෙන්න හුස්ම ගන්න ඉඩක්..මම  මගේ ජීවිතේම ඉඩ දුන්නට උඹට,කවදාවත් උඹට හැදෙන්න ඇස් වලින් ලෝකය විදින්න ඉඩ හදන්න බැරි උනා මට...උඹ  ගැන හීන මැව්වට ඒ හීන වලට හුස්ම ගන්න ඉඩ දෙන්න බැරි උණු කාලකන්නි අම්ම කෙනෙක් උනා මම ...අතීතයෙන් හාරපු මගේ පව්කාර සොහොන් ජිවිතේ ලග වැලපිලා අඩන්න ඉතුරු උන එකම සිහිවටනය උඹයි...ඒත දැන්...උඹ  වගේම මාත් මේ දේවල් වලින් ඈත් වෙනවා..ආයෙත් මේ පාලු මුසල අතීත සොහොන ලගට මගේ හිතට එන්න දෙන්නේ නෑ මම ..

"දරුවෝ...."

ගෙවුණු මගේ පව්කාර ජිවිතේ ගොඩට ගත්ත ඒ පින්කාර කටහඩ මගේ ලගම ඇහෙද්දී මන් හෙමින් ඔලුව ඉස්සුවත් මගේ ඇස් වල අතිම කදුළු බින්දු දෙක ඉතුරු වෙලා තිබුන...

"මෙහෙණින් වහන්සේ...."

"දරුවෝ දැන් පරණ හැමදේම අමතක කරන්න...හෙට  මේ බෝධි මළුවේ ඇවිදින්නේ සමින්දි  කියන තරුණ ගෑනු දැරිවිය නෙමෙයි...හිත සන්සුන් කරගත්ත සංඝමිත්තා මෙහෙණින් වහන්සේ...."

ඇත්ත..ඒ ජීවිතය ලබන්නට මම  දැන් පෙවී අවසන්ය...තවත් අතීත සොහොන ලග රස්තියාදු ගසා පලක් නැත...අන්තිම පස් පිඩත් ගෙන අතීත් සොහින වසාදැමූ මම..මගේ ජිවිතේ තිබු සියලු පව්කාරකම්,කාලකන්නිකම් සියල්ල එකතු කොට නගා ගත ගැබුරු හුස්මක් ගෙන මේ පව්කාර අතීතය මට මතක් කල ඒ හිතුවක්කාර හුළගටම මුදා හැරියෙමි....

Tuesday, February 16, 2016

මැත්ස් & කොම්






බස්සි අක්කගේ  කොමාගේ Com  ගැන කියෙව්වම මට අපේ මිස්ල දෙන්නෙක් ගැනත් ලියන්න පොඩි මෙව්වා එකක් ආව.
ඉස්කෝලේ කාලේ මන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පන්තියේ සොයා ගත නොහැකි නසරානි එකියකි..එහෙම කිව්වට ඉතින් කවදාවත් හිතා මතා පන්ති කට් කලේ නෑ මන්..ඔක්කොම කට් උනා...එකට මන් මොන කරන්නද නේද අනේ..

මන් මේ කියන සීන් කෝන් එක වෙනකොට අපි හිටියේ 11 වසරේ..අර සා/පෙ  පන්තියේ..අර මන් කලිනුත් කතාවක් කුවේ අනේමල් සහ මයිනා
 අන්න හරි අන්න ඒ පන්තිය තමයි...අව්රුද්ද මුල් වරේ ඉතුන් ස්පෝර්ට්ස් මීට් එක,කලා උළෙල,තව එහෙන් මෙහෙන් සෙට් වෙන සොසයිටි වල ඩේ,ඕව මේවා ඔක්කම ඉවර වෙලා නිදහසේ අපේ සැට් එක දවසක් පන්තියේ නිදහසේ වාඩි වෙලා ඉන්නව..හැඃ නිකන් නෙමෙයි අවරුදු උත්සවේට අදින ඒවා ගැන කියව කියව...ඔන්න එනවා අපේ ගණන් මිස්..මන් අර කලින් කුවේ ටීන් ටීන් ගාන ඉමිහිරි වොයිස් එකේ අයිතිකාරයා..

"ළමයි ඊයේ දුන්න ගණන් ටික හැදුවද...?"

 අපිට මොන ගණන්ද කාලෙකින් පන්තියට ආවෙත් අද..10 වසරේ මිස්ලම උගන්නපු නිසා හොදයි නැත්තන් මේ ගණන් මිස් කියලා දන්නෙත් අද හිකිස්...මිස් දෙඉයනේ කියල එහා පේලි වල සංචාරය කරනවා...

මලකෙලි එකසිය ගානයි  කිව්වලු..මෙන්න මිස් ගමන් මාර්ගය වෙනස් කරලා අපේ වාසස්ථාන පැත්තට ඇදෙනවා..කරුමේ කියන්නේ  අපේ සැට් එකේ එව්වෝ එකෙක් වත් හදන්න දුන්න ගානවත් දන්නේ නෑ නේ..වෙන එකෙගෙන් වත් ඇහුවෙත් නෑ නේ ඉතින්...

"කෝ දෙන්න බලන්න පොත්.."

පොත ඇතුලේ ගිලි පීන පීන හිටපු අපි යාන්තන් ඔලුව ඉස්සුවා...හාහ් මෙන්න මිස් බය වෙලා වගේ අපි දිහා බලන් ඉන්නව...අපි මිස් දිහා බලන් ඉන්නව...මිස් අපි දිහා....අපි මිස් දිහා...

"මිස් මේ..." මයිනා සිංහයා වගේ කතාව පටාන් ගන්න හදනකොටම මෙන්න මිස් අපි කස්ටිය දිහා නොසැලී බලාගෙන අහපි...

"ඇහ..ඔය ළමයි මේ අව්රුද්දෙත් මේ පන්තියේද...මන් දැක්කේ අදනේ..මන් හිතුව වෙන පන්තියකට දාල කියල....ඇයි අද ආවේ පන්තියට? ලබන සතියේ ටර්ම් ටෙස්ට්ම ආවා නං ඉවරනේ.."

ඔන්න අපේ මලා...

"මිස් ඇත්තද මිස් කියන්නේ ලබන සතියේ ටෙස්ට් එකද...මාරයිනේ..."

අපේ විතරක් නෙමේ ඉතින් පංතියෙම  ටිකිරි සිනා පොකුරු පොකුරු.....



************************************************************







මේ වටිනා කියන අවස්ථාව සිද්ද උනේ 12 වසරේ...
අපේ පෙරන්ට්ස්  මීටින් ආවේ නැත්තන් ආයෙත් දවසක් එන්න වෙනවා ගෙදරින්..ඕවගේ 12 වසරේ අන්තිම මීටිමට අපේ අම්මට වත් තාත්තටවත් එන්න බැරි උන නිසා තාත්ත පස්සේ දවසේ උදේ ආව.කරුමෙට එදා ඉදල තියෙන්නේ තාත්ත විතරයි.මේ කියන අවස්ථාවේද මන් තුමී පන්තියේ සිටියේ නැත.පට්ටම් කෑල්ල ගහගෙන ඩියුටි දුවල.ඔන්න මට ඔත්තුවක් ආව තාත්ත පන්තියට වාර්තා කලා කියල.එත් ඉතින් යන්න පුලුවනෙයි අනික තත්ත්ව ගෙදරදී දකින්නතුව වගේනේ....මන් මගේ පාඩුවේ වැඩ ටික කරල යන්න ලෑස්තිය තාත්ත බලන්න..කීයක් හරි කඩාගන්නත් පුළුවන්නේ අම්ම නැති වෙලාවේ...

අහෝ කේදයකි ඉරකි තිතකි ප්‍රශ්නාර්ථයකි...පට්ටම් මිස් මීටිමක් කැදවලා...දැන් ඉතින් හිටන් හිටපන්කෝ ගිහින්...මිස් කියනව අපි ඔලුව වනනවා...මිස් කියනව අපි ඔලුව වනනවා...
ඔන්න ඔහොම ටික වෙලාවක් යනකොට කොමර්ස් එකට යන මල් පාරේ අපේ තාත්ත මුණ කළු කරගෙන එන හැටි දර්ශනය වෙනවා.එනපොට හොද නෑ..එත් ඉතින් කොහේ කියල දුවන්නද මිස් ලොකු කතාවක්...

හාහ් මෙන්න මාව තාත්ත දැක්ක...අම්මේ...මුනේ තියන සිරියාව...අබ කිලෝ එකක් දැම්මත් තත්පරෙන් පුපුරන සයිස් එකක් තියෙන්න...ආවා ආවා ලගටම ආවා....මිස්ට මොනාදෝ කිව්වා...මිස් ඔලුව වැනුවා...මෙන්න එනවා මේ පැත්තෙන්...

"චුටි දුව මෙහෙ එනවා..."

"ඇයි තාත්තේ..." සුහච කීකරු පුස් පැටියෙක් වගේ වචන ගලපනකොටම...

"ඇයි???? පන්තියේ ඉන්නේ කොයි වෙලාවටද කියනව..හැමවෙලේම එලියෙලු..."
"ඉතින් මන්...."

"ඉතින් ඉතින් නෙමේ එනවකො ගෙදර අද...."

විනාසයි...අපේ මිස්ල මගේ කැරැට්ටුව නැත්තටම නැති කර කුඩු පට්ටම් කර චොප්ප කර දාල ඇති.අපේ කට්ටිය ගැන අහන්න දෙයක් තියනවයේ ඉතින්..දුටු තැන අල්ලනු නේ..

යාන්තන් පට්ටන් මිස්ගේ කතා අහල පන්තියට සේන්දු වෙනකොටම මෙන්න පුසී,දේශි  බෙරිහන් දෙන්න ගත්ත...

"කොහෙද ඕයි හිටියේ...තාත්ත ආවා කට්ටිය තාත්තව වට කරගෙන සාකච්චාවක් දුන්න..."

"පිස්සුද යකු අර ස්ලීපින් බියුටි කිව්ව කතාවට මේකිට කන පැලෙන්න ගහනව ෂුවර්..."

"මේ යකුනේ ඕක නවත්තල මෙතන මකද උනේ කියනවකො...තාත්ත පුපුර පුපුර ගියේ..."

"අහ ඉන්න ඉන්න කියනන් අපි..."ඔන්න පටන් ගත්ත මුන් දෙන්නගේ රගපෑම...

"තාත්ත අවා..අපේ මිස් ඇහුවම කුව ගීත්මගේ තාත්ත කියල..මෙන්න අපේ මිස් නැගිට්ට..ඇහ එන්න මන් එත් බැලුව ඇයි අවේ නැත්තේ කියල එදා..."

"ඔන්න කට්ටියගේ මේසෙට එක්කන් ගිය තාත්තව,වැඩි වෙන්න පුටුවකුත් දුන්න...ඒ මදිවට මිස්ල සෙට් එකටම කියපි මේ ගීත්මගේ තාත්ත..."

"අපේ මිස් දැන් ඔන්න ලකුණු පෙන්නනවා...පෙන්නලා ඉවර වෙලා කියනව,ලකුණු නං ප්‍රශ්නයක් නෑ..හැබැයි එයා පන්තියේ නෑ...මන් රෙජිස්ටර් එක මාර්ක් කරන්නේ බෑග් එක බලල...යාන්තන් තව මොනාද කියවල එයා නැගිට්ට..."

"ඊලගට කොහෙද මන්ද ඉදල ආවා ස්ලීපින් බියුටි...."

"මෙන්න වාඩි වෙලා අහනව..මන් මේ ගීත්මගේ ගෙදර කෙනෙක් හම්බ වෙන්නයි හිටියේ...එයා ඇයි ඉස්කෝලේ එන්නේ නැත්තේ..."

"ඒ පිස්සුද බන් එයාට මන් හැමදාම ඉස්කෝලේ එනවනේ..." ආච්චිගේ රෝස මල මන් හමදාම ඉස්කෝලේ ආවනේ..

"අහගන්න්වකෝ ඇඩ් දානේ නැතුව..."

"එතකොටම තාත්ත කියනවා නෑ මිස් එයා හැමදාම ඉස්කෝලේ එනවා කියල..."

"මිස් කියනවා නෑ දකින්නේ නෑලු..."

"දැන් මේක යාන්තන් ඇහෙනවා අපේ මිස්ට..ඔන්න එයා දුවන් එනවා..."

"නෑ නෑ මිස් එයා හැමදාම ඉස්කෝලේ එනව පන්තියේ නෑ..බාහිර වැඩනේ..."

"අපේ මිස්ගේ පරම්පරා 7ක්ම කොමර්ස් කරන්න ඕනේ ඒ කරපු උදව්වට.. "

අපේ සැට් එකේ ඉතුරු එව්වොත් සීන් කෝන් එක බලන් මැරෙන්න හිනා වෙනවා...එත් මුන් දෙන්න කොහොමද මේකේ මෙච්චර හොදට අහගත්තෙ...කොමර්ස් එකේ මිස්ල වැඩිපුර හිටියේ කොමර්ස් එකේම ස්ටාෆ් රූම් එකක..එතනට කොහොමද මුන් දෙන්න ගියේ...අනික කතාව අස්සේ අපේ මිස් මලාට ඔතනට මුන් දෙන්නව වැද්දගන්නේ නෑ...

"මේ මට කියනවා තමුසෙලා දෙන්න කොහොමද ඕක ඔච්චර හොදට බලන් හිටියේ කියල..."

මෙන්න මුන් දෙන්න හිනා වෙනවා දෙකට නැවීගෙන...

"කියනවකො..."

"මේකනේ අපි දෙන්නගේ ටිකිරි මොලේට වැටහුනා අපේ මිස් තමුසෙගෙ තාත්තව එක්කන් යන්නේ හොදකට නෙමේ කියල...අනික වාර්තාව දෙන්නත් එපැයි මු ආවහම..ඒ නිසා අපි දෙන්න දඩ බඩ ගාල ගානකුත් අරන් Accountz මිස් ගාවට ගියා...ඊට පස්සේ අපි මිස්ව ගාන ඇතුලේ අනාත කරලා සීන් එක බලන් හිටිය..."

අනේ ඉතින් මෙහෙම යාළුවො ලබන්න පින් කරන්න ඕන අප්පා...හිකිස්...

Friday, February 12, 2016

Love u බන්









ඇස වලටත් බර වැඩි වෙලා තිබුන ලොකු කදුළු බින්දු දෙකක් පහලට ගලාගෙන එනකොට වීදුරුවෙන් එහා එහෙට මෙහෙට වෙන මිනිස් රූප අතර සිය ගානක වැළද ගැනීම් දහස් ගානක කදුළු වැගිරීම් එක්ක හිත ඈතට දුවන අතීතයක්.ජිවිතේ විදින්න අමාරු කලෙක ජිවිතේ විදින්න කියල දුන්න ලස්සන හිතක්.. මගේ ලග හිටියට ඇත්තටම මන් වගේම එයත් අපි අපිට අයිති නොවී වෙනස් කවි දෙකකට තාලයක් වෙලා.අතාරින්න බැරි...නෑ..අතාරින්න ලෝබ කමක් ඒක...හුගක් දේවල් වලදී ලගින් හිටපු ජිවිතයක් යන්න යනවා..එත්..යන්න කලින් ඒක විනාඩියකට වත් ආයෙත් කතා කරන්න බැරි උනා..."නෑ උබයි අඩ අඩ හිටියේ..එන්න බෑ කිව්වේ.." මගේ හිත මටම කෑගහනව..

ඔව්..ඇත්ත..මන් මෙතනට අවොත් මගේ ඇස් වල කදුළු ඉවර වෙනකන් අඩනවා...ඒක මහා මුස්පේන්තු වැස්සක්..ඒකෙන් එයාව නාවන්න බෑ..අනික එයා ලග කුඩයක් තියනවා...ඒ කුඩේට හොරෙන් හරි එයා මේ කදුළු වැස්සේ තෙමෙන්න ආස උනත් මන් එයාට තෙමෙන්න ඉඩ දුන්නේ නෑ ..ඒ මේ වැස්සටත් සින්නක්කර අයිතිකාරයෙක් ඉන්නව...ඉතින් වැස්සයි කුඩෙයි අතර එයාව අතරමන් කරන්න තවත් බෑ..එකයි මන් නෑවිත් ඉන්න හිතුවේ..ඒත් මට අයිති නැති  උනත් ඒ තනුවේ මගේ ස්වර තියනව...මන් ආයෙමත් එන්න හිතුවේ එකයි..මගේ තනුවේ අයිතිය වෙන කෙනෙක් ලග තිබුනට ඒ ස්වර වලට වැයෙන්න ශක්තිය දුන්නේ එයා....

"කාවද හොයන්නේ...ඔහොම තමා ඉන්නකොට අගයක් නෑ.."

අතීතෙක අතරමන් වෙලා ඇවිද ඇවිද හිටපු මාව ගැස්සිලා යනකොට ඒ කොලු හඩ දිහාවට හැරුනේ ඒ හඩටත් වඩා ඒ ලගින් දැනෙන සුවදට මගේ ඉව සංවේදී නිසාමයි...මට මන් විදියට ජිවත් වෙන්න කියල දුන්න සුවද අදුරගන්න බැරි නං මහා මෝඩයෙක් මන්...


"ඔයා...ගියේ නැද්ද තාම මෝඩයෝ...කීයටද ෆ්ලයිට් ඒක...?

ඇස් වල කදුළු පිරිලා උතුරන්න තිබුනත් ඒ මුණ දකිද්දී මන් හිනාවෙනවා...ඒ ඇයි...එයාවත් දන්නේ නැති මන් වත් දන්නේ නැති පුදුම බැදීමක්...හැමෝම වගේම අපිත් ඒකට කිවේ යාළුකම...ඒත් ඒ යාලුකම ඇතුලේ අපේ හිත් සැරින් සැරේට කොනිත්තන්න පුළුවන් මොකෙද්ද මන්ද පුංචි සතෙක් හිටිය...ඒ සතාට අපිට නමක් දාන්න ඕන කමක් තිබුනේ නැද්ද නැත්තන් නමක් දාන්න බැරි නිසා දැක්කේ නෑ වගේ හිටියද කියන්න අපි දන්නෙත් නෑ...ඒත් ඒක දෙයක්..ඒ පුංචි සතා අපේ හිත් කොනිත්තන්න සැරින් සැරේට උඩට එනවා කියල අපි දැනන් හිටිය...

"තව වෙලා තියනව..අනික කොහොමද බන් යන්නේ...මගේ කෑල්ල අවේ නෑ නේ බලන්න..."

"කෙල්ල....???" 

අර අමුතු පුංචි සතාව මන් හිතේ අදුරු මුල්ලකට දාල පුරුදු දගකාර යාලු සතාව  එලියට ඇදල ගත්ත.එයාගේ හිතේ වෙන වෙනස් වීම් තත්පරෙකින් උනත් වෙන්න පුළුවන්...එයා ඒ පුංචි සත්තු දෙන්නටම හිතේ හැටියට නටන්න එයාගේ හිත හදල දීල තිබුන...

"අනේ යකු තව කෙල්ලෙක් මෙහෙන් හොයාගත්තද.....හොද වැඩේ...එන්නම එපා..."

"නෑ නෑ ඇවිත් ඉන්නේ..."

"කෝ කොහෙද...පෙන්නන්වකෝ..."

"අපෝ..අදත් ටියුබ්  ලයිට්...මොකද්ද මැට්ටියේ...කවද්ද හැදෙන්නේ..."

"ඉතින් ඇත්තනේ...මෙතන වෙන කෙල්ලෙක් නෑ නේ..කියනවා..."

"මෝඩියේ...ඔයානේ මගේ හොර කෑල්ල..."

හැමදාම ඔයා කතාව කිව්වත්... අද ඒ කතාව කියද්දී මගේ හිත අර පුංචි සතා එලියට ඇවිත් හුරනවා වගේ දැනෙද්දී...මගේ යාලු සතාට ආයෙත් කතා කරගත්ත...නැත්තන් අර පුංචි සතා හදන්නේ මුස්පේන්තු කදුළු වැස්ස වට්ටන්න...

"ඒයි..."

"අයිශූ....මැට්ට..."

"වැඩක් නෑ හොර කෑල්ල දාල යනවනේ.."

"ඔව් කව්රුත් ඉන්න කිව්වේ නෑ නේ මට..."

"ඉන්න කියන්න ඕනේ නෑ...ඉන්න දැන ගන්න ඕනේ..."

හ්ම්ම් ඒ කතාව කිව්වේ නං අර පුංචි සතා තමයි..ඒත් එයා නං අද යාලු සතාට එන්න කියන්නෙම නෑ..මුස්පේන්තු කදුළු වැස්සට කලින් මන් යනවා...ඔව් මන් යන්න ඕනේ දැන්...තවත් මේ විකාර රගපම කරන්න දෙන්නේ නෑ අර පුංචි සතා..

"යන්න එපාද?"

"මේ පිස්සු කෙලින්නේ නැතුව යනවා හලෝ...නැත්තන් වෙන්ඩ වයිපරේ හොයාගෙන එයි...."

"තාම ඒ ගැන හරි ඩිසිෂන් එකක් නෑ..උබ දන්නවනේ...."

"හ්ම්ම්..."

"මේ ඒක නෙමෙයි මෝඩ වැඩ කරන්නෙපා...දැන් වගේ අඩන අඩන වෙලාවට හොයාගෙන එන්න මට බෑ නේ..හැබැයි මොන්ගලේ වගේ ඉන්නේ නැතුව තමුසේ අව්ලක් තියනවනං කතා කරනවා හරිද...මන් කෝල් කරන්නන් ගිහින්..."

"හරි හරි අයිශූ...ඔයා පරිසමින් යන්න..මේ කෝල් එකක් දීපිය ගිහින්..."

"අඩෝ..අඩනවද....මැට්ටි...මේ බලනවා..."

"පිස්සුද ඕයී මන් අඩන්න...යනවා යනවා...තව ටිකකින් නං අඩනවා මන්..."

වචන එලියට එන්නත් කලින් හීන් ඉකියක් මගේ උගුරේ හිර වෙද්දී දීලා  ඇවිත් කර වටේට අත දාල මාව ලගට ගත්ත...

"තෝ මාව අඩවන්නේ නැතුව හිටපිය..."

"ඉතින් යනවකෝ..."

"යන්න පුලුවන්ද මිනිහ මැරිලා වගේ අඩන්න ගත්තම...අනික මන් යනවා කිව්වම අපේ අම්මලවත් උබ තරම් දුක් උනේ නෑ.."

"හ්ම්ම්...අනේ මේ පල පල මගෙන් මුකුත් අහන්නේ නැතුව..."

සිතල වහලේ යට මට නුපුරුදු තවත් සීතලක් මගේ නළලේ වදිද්දී මන් ගැස්සිලා ගියේ මන් කවදාවත් මේ වගේ දෙයක් ඇත්තට විදින්න වෙයි කියල නොහිතුනු නිසා..ඒත් ඒ හැගීම විදගන්න ඕනේ උනත් මේ වෙලාවේ හිතේ  නිදහසක් හොයන්න බෑ..

"ඔය දුන්නේ උබ අර කියන මගේ හිතේ ඉන්න අමුතු සතා..පලවෙනි පාරට වගේම...හුගක් වෙලාවට අන්තිම පාරටත්..."

"හ්ම්ම්.."

"මන් ආයි එනකොට උබ බැදලා පොඩි එව්නුත් ඉදි නේ..."

"අනේ මේ..එනකොට පව්ල් පිටින්නේ අයෙත් එන්නේ...පල පල දැන් ෆ්ලයිට් ඒක මිස් වෙයි නැත්තන්..."

හිටපු ගමන් මට දීලා ගෙන් ඇහෙන මගේ හිත ඇහුනේ නෑ වගේ ඉන්න  ඒ වචන නං අද මගේ හිත ඉල්ලුව...ඒත් ඒ වචන වල තියන "බන්,මචන් " කියන කෑල්ල වෙන වගේම අදත් අපිට අයින් කර ගන්න බැරි වෙයි...

"අඩෝ..Love u  බන්...පරිස්සමින් ඉදපන්.."

"Love u too  මචෝ... කෝල් කරපන් ගිහින්.."


ඔව් මන් හරි අදත් ඒ වගේමයි...







Monday, February 8, 2016

පව්කාරකම






අමාරුවෙන් හිත පිරෙන්න පුරවගත්ත හුස්මක් පිට කරද්දී අදුරු කාමරේ ඇතුලේ මහා ගෝසාවක් වගේ ඇහෙන සිලිං ෆෑන් එකේ කිරි කිරියට හිතින් සාප කලේ මේ හැමදේම වෙන්න උබත් ඉඩ දුන්න නේද කියල හිතද්දීමයි.හැමදේම වෙලා තත්පරෙන් තත්පරේ ගෙවිල  යද්දී පටන් ගත්ත සිතුවිලි යුද්දේ ඉවර වෙන්නත් කලින් එහා පැත්තෙන් අකුණු සැර ආයෙත් වැඩි වේගෙන් එන්න පටන් අරන් ඉවරයි. ආයෙත් මහා වැස්සක් කඩන් වැටෙන්න කලින් දෙපයින් හිට ගත්තේ මිට වඩා මේ වැස්සේ තවත් තෙමෙන්න කිසිම ඕන කමක් නැති නිසාමයි.

"කොහෙද යන්නේ?"

"එලියට"

"දැන් ගොඩක් රෑ වෙලා"

"ඉතින් ඇයි?"

එතනින් එහාට දෙයක් අහන්න ඕන උනත් එයාගේ සද්දේ නැවතුනේ මන් විදුරු දොරත් ඇරගෙන එලියට ආපු නිසා වෙන්නැති.නැත්තන් ඒ තරම් ඉක්මනට දෙයක් තේරුම් ගන්න කෙනෙක් නෙමෙයි.මැලවිලා ගිය මල් ගහක් වගේ තිබුන ජීවිතයට අලුතෙන් වතුර පෝර දාල පන දුන්නට විතරක්ම ඒ ගහට මදි කියන දේ එයා තේරුම් ගත්තේ නෑ..තේරුම් කරන හැමවෙලාවෙම එයා එක සාදාරනීකරණය කරපු නිසාම කට වහගෙන ඉන්න උනේ එයාට ඕන උනේ මොකක්ද කියල දැන දැනම මෝඩකම් කරපු නිසා.

එයාට ඕන උනේ එයාගේ වත්තේ හිටවන්න ගහක් නෙමෙයි.වෙන කව්රුහරි හිටවපු මැරිච්ච ගහක්.නෑ...මැරෙන්න යන ගහක්.එයා ඒකට වතුර පෝර දාල බලාගත්තම එයා හිතුවේ එයා කරන්නේ හරි දේ කියල.හැබැයි ඒ ගහ එයාගේ කරගන්නවත් ඒ ගහේ මල් බලන්නවත් එයාට ඕන උනේ නෑ...ඕන උන එකම දේ එයාට ඕන වෙලාවට ඒ ගහ ලගින් තියාගන්න විතරයි.හුළගට හෙලවෙන කොට ඇහෙන කොළ වල සද්දේ අහන්න විතරයි.

අවුරුද්දකටත් වැඩි කාලයක් එකම විදුරු කාමරේක හිටියත් වැරදිලා හරි අතක් වැදුනොත් ඒ විදුරු කාමරේ බිදිලා කුඩු පට්ටම් වෙන්න මහා වෙලාවක් යන්නේ නෑ කියල දැනන් උන්නත් මොකද්ද මන්ද අවජාතක හැගීමක් එයා ගැන හිතේ ඉතුරු වෙලා තිබුන.ඒක ආදරේද නැත්තන් වෙන මොකක් හරි මුස්පේන්තු අවලන් හැගීමක් ද කියන්න තේරුමක් නෑ.එයා එයාගේ ඒ හැගීම් ලස්සනට සාදාරනීකරණය කලාට මේ සෝමාරි හිතට ඕව ගැන ගානක් නෑ...එත් එයාව දාල ගිහින් අලුත් විදුරු ගෙයක් සින්නක්කරව ලියාගන්න පුළුවන් කියල හිතුනත් එහෙම යන්න උවමනාවක් මේ හිතට නෑ...

"එන්නේ නැද්ද ඇතුලට..."

පුදුමයි මන් මේ විදුරු කාමරේ නෑ කියල මතක් වෙලා.

"එන්නන්...තව ටිකකින්"

"හෙට මට පාන්දර යන්න තියනවා.."

"ඔයා නිදාගන්න..."

ආයෙමත් නිදාගන්න තරම් උවමනාවක් මේ ඇස් වල නෑ...හෙටවත් පායන ඉරට පුළුවන් නං මෙයාගේ ඇවිලිච්ච  හිත නිවල මගේ හිතේ තියන රෝස වතුර දාන්න.

හීන් උරපටි රැදිච්ච උරහිසට තද උණුසුම් හුස්මක් වැදුනම තේරුණා එයා ලගම ඉන්නවා කියල.කවදාවත් නැතුව මේ තරම් මගේ ගැන හොයන්නේ....ප්‍රශ්නාර්ථයක් ඒක...

"මොනාද කවදාවත් නැතුව කල්පනා කරන්නේ.."

"මුකුත් නෑ.."

"අර මිනිහ ගැනද හිතුවේ..."

"කව්ද....??"

"අර ඔයාව බදින්න පස්සෙන් එන එකා.."

මෙච්චර කාලෙකට නොව්ණු දෙයක්...මට කැමති කෙනෙක් ඉන්නව නං එයා ලගට යන්න කියපු කෙනා....අද ඇයි මෙහෙම අහන්නේ..ඉරිසියාව..

"ඇයි ඉතින්..."

"නෑ ඔයා ඌට කැමතිද..."

"මන් කැමති කාටද කියල දැන දැන බොරු ප්‍රශ්න අහන්නෙපා...."

ගස්සාගෙන යන්න හැදුවත් අඩුවක් වගේ තද කරලා අල්ලගත්ත එයාගේ ඇගිලි අතරින් අත ගන්න බැරි බව දැනගෙනම ඇස් දෙකෙන් ගින්දර පිට කලේ අවුරුද්දක් පුරා පුපුරු ගහන ගින්නක්...කවදාවත් නොදැක්ක කදුළු බින්දු ඒ ඇස් වල තිබුනත් මන් නෙමෙයි තම්බෙකට මායිම් කලේ.

"ඔව් මන් දන්නවා...."

"එහෙනං තව අහන්නේ..."

"එත් මට ආදරේ කරන්නෙපා කවදාවත්..."

"ඔයා බන ආයෙත් පටන් ගන්නෙපා..මාව අතාරිනවා..."

"අතරින්නන්...ඒත් මන් දන්නවා ඔයා යන්නේ නෑ කියල..."

"ඔව් මගේ පව්කාරකම..."




Wednesday, February 3, 2016

ලංගමට පෙම් කල එදා..





ලංගම කිව්වම ඉස් ඉස්සෙල්ලම මතක් වෙන්නේ අර ඩුකු ඩුකු ගගා කෑලි වැටෙන්න ඔන්න මෙන්න තියාගෙන හරිම ලතාවට එන ලස්සන(දුවිලි පිරුන) රතු පාට බස් එක.ඔය බස් වලට ඉස්කෝලේ යන කලේ පෙම් කරපු උන් කියක් කියල ඉන්නවද ඉතින්...සීසන් අරගෙන පැය ගණන් රස්තියාදු වෙලා රතු පාට ඔය බස් වල ගිහින් ගෙදරින් දෙන සල්ලි ඉතුරු කරගන්න කොච්චර නන් කටු කෑවද ඒ කලේ..(කටු කාල ඉතුරු කාගන්න සල්ලි වලින් ඉස්කෝලේ යන පොඩි එව්වෝ කරන ඒවා නන් අහන්න එපා ඉතින්)එත් හරි ලස්සන මතක ගොඩක් ඉස්කෝලේ යන කලේ එකතු කරන්න මේ රතු පාට බස් එකට පුළුවන් උනා.මේ බස් වල සීසන් අරන් ඉස්කෝලේ ගියපු උන්දැලා දන්නවා මේ බස් කොච්චර ඉක්මනට යනවද,කොච්චර සැපට යන්න පුලුවන්ද කියල.හිකිස්...

ගෙදරින් අම්මල සීසන් එක අරන් දෙන්නේ සල්ලි දීල යනවට වඩා ඇත්තටම ඉස්කෝලේ යන ලමෙක්ට ලාබදායිම දේ සීසන් එක නිසා.එත් ඉතින් සීසන් එක අතේ තියෙනවා කියල අම්මල උදේට සල්ලි නොදී ඉන්නවද කවදාවත්..නෑ නේ..එහෙම තත්වයක් ඇති වීගෙන එනකොට ටින් ගාල ඇදල දාන්න අගේ ඇති කතාවක් තියනව මේ කට්ටිය ලග.."අම්මේ සි ටි බි බස් එන්න පරක්කුයි,ඉස්කෝලේ යන්න වෙන්නේ පරක්කු වෙලා..අනික ඕව ඉස්කෝලේ ළමයි දැක්කම නවත්තන්නෙත් අඩුවෙන්..සීසන් එක තිබුනට වැඩක් නෑ.යන්න වෙන්නේ අනිත් බස් වල.."
ඔය කතාව ඇහුණාම අම්මගේ හිත උණු වෙලා සල්ලි දෙනවා.(ඔය කතාව ඒ විදියට ගිම්මිත් කියල තියනවනේ.හිකිස්) ගෙදරින් සල්ලි ඉල්ලගෙන ගියාට කීය හරි වෙනකන් ඉදල ඉස්කුල් බස් එකේම තමා යන්නේ.ගිම්මි නන් ගේ ලගින්ම නගිනවා ඉස්කුල් බස් එකට කිසි කරදරයක් නැතුව.ඕක ඉතින් ඕනම අම්ම කෙනෙක් නොදන්නා දෙයක් නෙමෙයි.එහෙමයි කියල කවදාවත් සල්ලි නොදී ඉන්නේ නෑ නේ.හැමදාම ගෙදරින් දෙන සල්ලි බැග් එකට දාගෙන සීසන් එකෙන් යන එනකොට සැහෙන්න ගානක් අපේ අතේ අන්තිමට ඉතුරු වෙනවා.ඕව වලින් ඉතින් යාළුවන්ට තෑගි අරන් දෙන්න,තව පොඩි පොඩි ගැජට් කැලි ගන්න වගේ දේවල් වලට ගෙදරට කෙදිරි ගන්නේ නැතුව වියදම ශේප් කරගන්න පුළුවන්.

හැබැයි සමහර කොන්දොස්තර මහත්වරු නන් ඉස්කෝල ළමයි එක්ක තියෙන්නේ මාර තරහක්.සමහර බස් ඇත්තටම නවත්තන්නෙත් නෑ ඉස්කෝලේ ළමෙයෙක් විතරක් ඉන්න හෝල්ට් වල.අමාරුවෙන් අකමැත්තෙන් හරි නග්ග ගත්තොත් එහෙම...අම්මේ...කියල වැඩක් නෑ එයාගේ අතින් සීසන් අරන් දුන්න වගේ උදේ පාන්දරට කපනවා කොටු දෙකම.(කපනව නෙමෙයි කුරුටු ගාලම දානවා.) ඒ වෙලාවට ඉතින් ඒ මනුස්සයගේ පරම්පරා හතකට හෙන ගහන්න කියාගෙන තමයි උදේට යන්නේ.ඔය තරහ කවදාවත් ඉවර නොවෙන තරහක්.ඉස්කෝලේ ළමයි එක්කම ඔය තරම් තරහ ගන්නේ ඉතුරු වෙන්නේ නැති රුපියලට දෙකට කියල අපි නොදන්නවා නෙමෙයිනේ.හැබැයි ඒ අතර හුගක් හොද කොන්දොස්තර මහත්වරු ඉන්නව.සීසන් කිව්වම ඉල්ලනේවත් නැතුව හිනා වෙලා යන.ඒ මිනිස්සු දන්නවා ඉස්කෝලේ ළමයින්ගේ එකම අදායම් මාර්ගේ සීසන් එක කියල.ඒ වගේ කොන්දොස්තර මහත්වරුන්ගේ පරම්පරා හතක් ගොඩ යන්න ඕනේ කියල පින් දීල තමයි බස් එකෙන් බහින්නේ.කාලයක් එකම රූට් එකේ යනකොට දැනගන්නවා මොන කොන්දොස්තරවරුද හොද,මොක්කුද මුස්පේන්තු කියල.(මුස්පේන්තු කස්ටිය ඉන්න වෙලාවට ගිම්මිගේ යාලුවෝ නන් ටිකිරි මොලේ පාවිච්චි කරලා "සීසන් එක බෑග් එකේ,බෑග් එක ඉස්සරහ"..ඔන්න ඔය වගේ ඒවා කියල සීසන් එක බේරගන්නව )ඉස්කෝලේ ළමයෙක් හුග වෙලාවට යන්නේ ගමන් වාර දෙකයි.අමතර ගමනක් වැටුනොත් ඇරෙන්න ඉස්කෝලේ ළමයි වෙන කොහෙවත් යන්නේ නෑ නේ.එත් ඉතින් අර උන්දැලා හිතන් ඉන්නේ දවසට විසි තිස් පාරක් ගමන් යනවා කියල.ඕක තමයි තියන කෙදජනකම සිද්දිය.

ඉස්කුල් බස් වල තත්වේ නන් මිට ටිකක් වෙනස්.හැබැයි ඔය ඉස්කුල් බස් වලටත් එනවා නසරානි කොන්දලයි,ඩ්රයිවර්ලයි.(අපිත් එක පාරක් එහෙම එව්වෝ දෙනෙක් ගෙදර යැව්වා.හිකිස්...එක පස්සේ කියන්නන්.නැත්තන් මේක කොහේ නවතීද දන්නේ නෑ)ඉස්කුල් බස් වල යන හුගක් කොන්දොස්තර අංකල්ලා හරි අයියල හරි ටික්කො ඉන්නව කියල ආරංචි උනොත් තමයි සීසන් මාර්ක් කරන්නේ.(අපි නන් එකත් කියල රව්ම් කරගන්නවා මිසක් කපන්න දෙන්නේ නෑ.එතකොට තව පාරක් යන්න පුළුවන්නේ.)ඉස්කෝලේ යන කලේ පොඩි සින්දුවක් කියාගෙන බස් එකට තට්ටුවක් දාගෙන යනකොට එකට සහය දෙන කොන්දොස්තර අංකල්ලා අයියලත් ඉන්නව.කැස්බෑව ඩිපෝවෙන් නන් වාරෙන් වාරෙට තමා කට්ටියව මාරු කරන්නේ.ඒ නිසා හුගක් අය ළමයින් එක්ක එකතුයි.(දැනටත් සමහර අය සල්ලි නොගෙන කතා කරලා ටිකට් එක දීල යන වෙලාවල් තියනවා)හැබැයි අමතර පන්ති යන දවසට නං හුගක් කස්ටිය අහිංසක හොර වැඩක් කරනවා.අපේ ඉස්කෝලේ ඉදන් කොහුවල පැත්තට එන්නේ ඉස්කුල් බස් 3යි.එකක් 120.අනිත් ඒවා 138,176.ඉතින් කොහුවල,නුගේගොඩ පන්ති යන කස්ටියගේ සීසන් වල මේ බස් තුනේම අංක තියනවා.ඕක ඉතින් මහා ලොකු හොර වැඩක් ද... නෑ නේ නේද අනේ...සමහර කොදොස්තර මහතයල නං මේ වැඩේ දන්නවා,ඔන්න යුද ප්‍රකාශ කරනවා..ඕවට සැලෙන්නේ නෑ ඒ කලේ සීසන් ඇත්තෝ..."අපි සීසන් ගන්නකොට කිව්වම ලියපු අන්කල් තම දාල දුන්නේ,අපි මොන කරන්නද?" කොහොමද උත්තරේ..ඕව ඉතින් හොයන්න යනවද..නෑ නේ..වැඩේ ශේප්..ලංගම පාඩු ලබන එක අහන්නත් දෙයක්ද ඉතින්.(ගිම්මි 120 ගියපු නිසා දාගන්න තිබුනේ 138,176 විතරයි..මුන් කෙල්ලොද කියල හිතනවා එහෙම නෙමේ,කොල්ලෝ ඔයිට හපන් ඒවා කරනවා.)

ඉස්කෝලේ යන ළමෙක් නන් කොහොමහරි බලන්නේ සීසන් එකෙන්ම දවස එහෙ මෙහෙ කරගන්න.ඉතින් කිය හරි වෙනකන් හෝල්ට් වල ඉදල ඔය රතු බස් එකේම යනව.කොච්චර ලස්සන,සින්දු දාල තියන වෙන බස් ඇවිත් නැවැත්තුවත් අහක බලාගෙන රතු බැස්ම හොයපු අතීතයක් ගිම්මිටත් තිබුන නිසා ලංගමට කොච්චර ඉස්කෝලේ ළමයි ආදරේ කලාද කරනවද කියලත් හොදට දන්නවා.අපි ඉස්කෝලෙන් අව්ට් වෙන්න ලං වෙන කොට ලන්ගමේ තත්වේ ගොඩක් හොද අතට හැරුන.ලන්ගමේ කිව්වට මන් දන්නේ කැස්බෑවේ ඩිපෝව ගැන.අලුත් මැනේජර් අන්කල් කෙනෙක් ආපු නිසා වෙන්න ඕනේ.(අපිත් වෙන බස් එකක් ඉල්ලගත්ත ඔය අන්කල්ට කියල..එකත් පස්සේ කියන්නන්.) දුවිල්ල අඩු, සෙටප් එහෙම තියන, ශීට් තුනේ ලස්සන බස් ගොඩක් කැස්බෑව ඩිපෝවට ආව.අලුත් කොදොස්ත්රවරු ඩ්‍රයිවර් මහත්වරු අරන් අනිත් බස් වලට කලින් සි ටි බි යන්න ගත්තම මිනිස්සු ඒවාට ඇදිල යන්න පටන් ගත්ත.දැනටත් මේ පැත්තෙනං සි ටි බි බස් ප්‍රයිවට් ඒවාට වඩා හුගක් වෙලාවට ඉක්මන්.ඉස්සර ඉදන්ම ලංගමට ආල වඩපු නිසාමද මන්ද දැනටත් සමහර වෙලාවට ඔය බස් එකක් දැක්ක ගමන් හදවත කිරි ගැහිලා අත පය සලිත වෙලා පෙරලගෙන දුවගෙන ගිහින් ඔය බස් එකට නගින මොකද්ද මන්ද මෙව්වා එකක් මට තම තියනවා අප්පා..

කව්රු කොහොම මොන දේ කිව්වත් ලංගමට වැඩිපුරම ආදරේ කරන්නේ ඉස්කෝලේ ළමයි.සීසන් තියන් ඈයෝ තමයි ඉතින්.එක කාලාන්තරයක් තිස්සේ පැවත එන වගේම ඉදිරියත් එසේම පවතින දෙයක්.හැබැයි දැන් අර මැෂින් එකට පන්ච් කරන කාර්ඩ් සිස්ටමැටික් එකක් නිසා ඉස්කෝල ළමයින්ගේ අහිංසක හොර වැඩ කරන්න වෙන්නේ නෑ කියලනන් ආරංචි උනා ළගදි.ඒ මොන කලත් හුගක් ඉස්කෝලේ ළමයින්ට සානුකම්පිතව සලකන කොන්දොස්තර මහත්තරු තාමත් ඉන්නවා.ඒ නිසාම තමයි හැමදාටම ඉස්කෝලේ ළමයි ලංගමට ආදරේ කරන්නේ.






Monday, February 1, 2016

යශෝදරාවක් වී කුමට



නුඹේ සුවද රැදී
මගේ හද කුටිය
අතැර අබිනික්මන්
කලෙන් නුඹ
තනිව වෙනතක
යලි නොඑන්නට
ලොවට හොරැහින්
ඉකි බිදින නෙතු
වසාගෙන තව
බෝ කලක් මන්
යශෝදරාවක් වී
කුමට දැන්
නොවුණු කල
නුඹ සිදුහතුන්...



Friday, January 29, 2016

හේතුවක් නැතුවම

සීතලට ගුලි වෙන පොරෝනාව ඇතුලෙන් ලොකු උණුසුමක් මගේ හිත වෙලා ගනිද්දී මන් තාම ඊයේ රෑ දැකපු ඒ මුස්පේන්තු හීනෙ ඇතුලේ ඉබාගාතේ ඇවිද්දා.ඔව් ඒ හීනෙ මන් අදුරන කෙනෙක්ට හිටියේ ඔයා විතරමයි.මුළු හීනෙම අායෙත් බැලුවත් ඒ හීනෙ මන් අදුරන්නේ ඔයා විතරමයි.අඩුම තරමේ මගේ කියල හිටිය ඔයා ඇරුණම මට කියල හිටිය එකම කෙනා මැරුණ මගේ ආච්චි අම්මවත් නෑ.හැමදාම ඔයාගේ හැමදේම දැනුන මට අවුරුදු පහකට පස්සේ මගේ හිත බර වෙන්න තරම් ඔයාගේ ඒ රූපේ මේ තරම් දැනෙන්නේ ඇයි?

ලස්සනට හරිම පිළිවෙලට ඔයා ඇදල හිටියේ,කවදාවත් නොපීරපු කොන්ඩේ හරි ලස්සනට පීරලා.හැමදාම දාපු අර නිල් පාට බාටා කැලි දෙක වෙනුවට ඔයා සපත්තු දාල.ඔයා ලස්සනයි ඒ දවස් වල හිටියටත් වඩා.වෙනද වගේම මන් ඇවිත් ඔයාගේ අතේ එල්ලුනා.වෙනදට ඔයාගේ කොන්ඩේ වැටිලා තියන නළලට දෙන මගේ හාදුව මන් අද ඔයාගේ පීරපු ලස්සන කොණ්ඩෙට යටින් තියන නළලට දුන්න.හරියට...ඔව් එදා වගේම....අපි වෙන් වෙච්ච ඒ මුසල දවසේ.....ඔයා කිසිම හැලහොල්මනක් නැතුව ඉකි ගහන මන් දිහා බලන් හිටිය වගේම බලන් ඉන්නව,එදා ඔයාගේ ඇස් පිරෙන්න තිබුන කදුළු මේ ඇස් වල නෑ.මොකද්දෝ කියාගන්න බැරි දෙයක් ඒ ඇස් වල හිර වෙලා තිබුන.

ඔයා මාව දාල ගිය හේතුවක් මන් අවුරුදු පහක් පුරාම හෙවුවට, ඔයා ඒ අවුරුදු පහ ඇතුලේ දවස් දෙක තුනක් මගේ හීන වල රස්තියාදු ගැහුවට කවදාවත් ඔයා මගේ නෙමෙයි කියල හිතපු දවසක් මට තිබුනේ නෑ.එත් ඊයේ දැකපු මගේ මුස්පේන්තු හීනේ මට ඔයාව නැති උනා කියල හිතන්න බල කරද්දී මන් මගේ පොරෝනවට ගුලි උනේ කදුළු වල උණුසුමත් එක්කම මගේ හිතටම සාප කරගනිමින්.හේතුවක් නැතුව දාල ගිය ඔයාගේ ගැන හේතුවක් නැතුවම හිතන්න හැමදාම මට බල කරපු මගේ හිතට අද මොන කරුමයක් වෙලාද මට එහෙම කියන්නෙ.



"හෙලෝ සකුනි....මන් සරසි"

"සරසි...?කව්ද...?"

"නිසල්ගේ ඩොක්ට..."

ඔයාට මන් දැනන් උන්නු කාලේ තිබුන එකම අසනීපෙ ඔලුවේ කැක්කුමක් විතරයි.එ්කටවත් කොච්චර කිව්වත් ඩොක්ට කෙනෙක් ළඟට නොගිය ඔයාට මේ කාලේ ඇතුලේ උනේ මොකද්ද?මන් හැමදාම හෙව්වත් ඔයා මගේ ඇස් වලට පෙන්න හිටියෙත් නෑ.ඔයා ඩොක්ට කෙනෙක් ලගට යන්න තරම්...

"හලෝ...සකුණි...."

"නිසල්ගේ...??"

"ඔව්...ඔයා මාව දන්නේ නෑ,එත් මන් ඔයාව දන්නවා,නිසල් නිසා...ඔයාට කියන්න කියපු දෙයක් තියනවා එයා..."

"ඒ මොකද්ද...?"

"එයා ඔයාට විතරයි ආදරේ කලේ වෙන කාටවත්ම ආදරේ කලේ නෑ...එ්ක ඔයාට එයා කියන්න කිව්වා ඒවගේම ඔයාව තනි කලාට සමාව ඉල්ලුවා..."

"ඔයා මොනාද මේ කියන්නෙ....?ඇත්තටම නිසල්...."

"ඇත්ත සකුණි එයා ඔයාට විතරයි ආදරේ කලේ..."

මගේ ඇස් වල කදුළු බින්දු පිරෙද්දී, හිතේ තියන සතුටක්ද දුකක්ද කියාගන්න නොතේරෙන මොකද්දෝ මන්ද හැගීමක් මගේ හිත පහුරු ගාද්දී මන් ඔයාගේ කටහඩ අහන්න ඉක්මන් උනේ අවරුදු ගානක මගේ ආදර මතකයත් එක්ක...

"එයා කොහෙද ඉන්නේ...?"

"දැන් ටිකකට කලින් එයා මෙතන හිටිය,එත් දැන් නෑ..."

"ඇයි එයා කොහෙද ගියේ....?"

"අපි හැමොන්වම දාල ඔයාගේ ආදරේ විතරක් අරන් නොපෙනෙන ඈතකට එයා ගියා ...."

මගේ හිසෙන් පටන් ගත්ත අමුතු හිරියක් මගේ කකුලේ ඇඟිලි වල අන්තිමටම යනකන් ඇදිල ගියේ නිසල් ගැන රූප දාහක් මගේ හිතේ මවාගෙන.යන්තමින් හරි නොහිතපු දෙයක් ගැන මගේ ගෑණු ඉවට දැනෙද්දී මට එ්ක වචනෙට පෙරලන්න පුළුවන් උනේ නෑ...හීන් ඉකියක් මගේ උගුරේ හිර වෙද්දී එහා පැත්තෙන් සරසි අයෙමත් කතා කළා...

"මන් එන්නන් ඔයා ලෑස්ති වෙලා ඉන්න සකුණි....ඇවිත් හැමදේම කියන්නන්..."
*****************************************************
මගේ අර මුස්පේන්තු හීනේ ඇතුලේ ඔයාව දැක්ක වගේම ලස්සනට ඔයා ඉන්නව...එත්...මගේ හිත ඒ මුස්පේන්තු හීනෙට සාප කරනවා මිසක්...මේ ඔයා කියල පිළිගන්න ලැස්ති නෑ....මගේ කදුළු ඔයාගේ නළලට වැටෙද්දී ඒ සීතල නළලටම හාදුවක් දීල මන් එහාට උනේ කඩු කිනිසි සිය දහස් ගානක් මගේ හිත ඇතුලට කිදා බහිනවා තරම් වේදනාවක් මගේ හිත වෙලා ගනිද්දි....ඔව්...හැමදාම ඔයා මගේ....


Wednesday, January 27, 2016

පොඩි එකාගේ නම් වෙනස් කල වගයි.


"ඩුන් ඩුන් ඩුන්" අසව්! අසව්! හිතුවක්කාරී නම් වෙනස් කරන්ටයි මේ සුදානම.ආහ්.. කවුද බොල මේකි?පොඩ්ඩක් හිටින්කෝ කියන්න.හිතෙන වල් පල් ජාති, ඔය රට වටෙන් ඇහෙන එවුව මෙවුව,එතකොට තව නිකන් ඉන්න කොට මතක් වෙන මගේ සුන්දර ජීවිතේ කරපු වැදගත් දේවල් (වැදගත්???හැක් නසරානි තමා) වගේ එකී මෙකි නොකී සියලු දේ කුරුටු ගාන්ට තමයි ඉතින් මේ හිතුවක්කාරී ආවේ බ්ලොග් ලෝකෙට.මේකි පොඩි එකා උනාට පොඩ්ඩක් විතර ඔව් අනේ පොඩ්ඩක් විතර හිතුවක්කාරයි.එකමයි දාගත්තේ හිතුවක්කාරී කියල නමකුත්.අනේ ඉතින් මගේ දෛවය ලියපු එකා මට කොලොප්පම මයි දාන්නේ..අැයි මේකිට මොකක් කරලද එකා?

බලන්නකෝ අප්පා අමාරුවෙන් ගලපාගෙන පොඩි එකී දාගත්ත හිතුවක්කාරී කියල නමක්.ඔන්න තව පරණ හිතුවක්කරියෙක් ඉන්නවලුනේ බ්ලොග් ලෝකේ...ආහ එහෙනං කොපි කරලා තමයි මෙකි...අයියෝ නෑ නෑ...මන් අහින්සකයෙක් වෙමි.කුරුටු ඇවිත් කියනකන්ම මන් ඒ වගක් දැනන් හිටියේ නෑ.බොහොම ස්තුති කුරුටු කරපු උදවුවට.කුරුටු ඕක කිවුව වෙලේ ඉදන් අහස පොලව ගැටගහල හොයාගත්ත යන්තන් නමක්...ඕව දැන ගත්ත ගමන් නම් වෙනස් කරන එක ඇගට ගුණදායකයිනේ.අනිත් යාලු හිතුවක්කාරී ඇවිත් යුද ප්‍රකාශ කලොත් එහෙම.මොකට තරහ කරගන්නවද අනේ කස්ටියව.ඔන්න ඉතින් දැන් නම් වෙනාස් කරන්න අවසරයි.

මෙතෙක් කල් බ්ලොගයේ හිතුවක්කාරී ලෙස සැරිසැරූ මේ පොඩි එකා අද සිට

"ගිම්මිගේ කොලම"

යන අවුල් සහගත යන නාමයෙන් හදුන්වනු ලැබේ.

හිනා උනාට කමක් නෑ.වෙන නමක් මතක් උනේම නෑ අනේ.හැක..හැක..පොඩි එකාටත් අමුතු ගති තියෙන නිසා ඔය නම හොදයි වගේ.
නම වෙනස් උනා කියල පොඩි එකී වෙනස් වෙන්නෑ...ලියන්නේ හිතුවක්කරකමටම තමයි.වැරදි ඇතොත් මේ පැත්තේ ඇවිත් පෙන්නලා දෙනවට මන් බොහොම මනාපයි.වැරදි නොකිව්වොත් පොඩි එකී හැදෙන්නෑ.මතකයිනේ....එහෙනං ඔන්න අයෙත් එන්නේ හිතුවක්කාරී නෙමෙයි ගිම්මි.

අසා,බලා,කියවා ගිය ඔබ සැමට ස්තුති.!!!!!!!!!



Monday, January 25, 2016

~නගරයේ අම්මා~



කොළඹ අහසේ උස බිල්ඩින් වලට උඩින්
හිරු පායන්න හෝරාවකට කලින්
අම්මේ කියන පුංචි දෝණි තුරුළු කරන්
නිවසේ පුංචි යුද්දය නුඹ පටන් අරන්

සුදු දෝණිව ලෑස්ති කර ඉක්මනිනේ
තාත්තගේ බත් පත දී කඩිමුඩියේ
බිළිඳු පුතුව තුරුලට ගෙන සනසමිනේ
සාරිය ඇඟ ඔතයි නුඹ දැන් හනිහනිකේ

අට පහ ඔෆිසියේ නිරතුරු වෙහෙසෙන්නේ
දෙතනේ එරෙන කිරි බිදු දෙස බලමින්නේ
ගෙදර නිදන පොඩි පුතු ළඟ සුරතලයේ
මනසින් නිතර පැටවුන් ළඟ ලතැවෙන්නේ

රාත්‍රියේ නුඹෙ රස අහරක් නොමැති හුඟක්
බඩ පුරවන්නේ වැඩි දා චයිනිස් කෑමක්
වෙරළු පලා දං බෝවිටි නොගේනාවත්
හවසට නුඹේ බෑගයේ ඇත චොකලට් පෙත්තක්

හේනේ කුඹුරේ අව්වේ වැඩ නොකලාට
ගෙදර ඔෆිසියේ නුඹ එක දවසකට
කරන යුද්දේ දැක්කේ මන් හැමදාම
නගරේ අම්මලා හොඳ නෑ කිව්වේ ඇයි සැවොම

කාසි හොයන්නේ නුඹ ගැන නොසිතාම
තාත්තට දෙන්නට ජීවන සහය
සුදු දෝණිට පොඩි පුතු හට සුව දෙන්න
වෙහෙසෙන නුඹයි අම්මේ මතු බුදුවන්නේ


Friday, January 22, 2016

තරු ඇස්

පහළ තේ වතු වලින් ආදරෙන් මගේ බැල්කනියට එන දඟකාර හුළන් රැළි වලට මන් හැමදාම වගේ අදත් මගේ මූණ ආදරයෙන් සිප ගන්න දුන්නේ ඒ හුළන් රැළි කවදාවත් මට වෙනස්කමක් කරන්නේ නෑ කියල මගේ හිත දන්න නිසාමයි. එත් මන් මේ බැල්කනියේ ඉදන් අෑතින් පායන ලස්සන පුංචි තරු ඇස් දෙකක් හෙවුවා.එ් තරු ඇස් මගේ පුංචි හිත හැමතිස්සෙම හරිම කලබලෙන් හෙවුවේ, ඒ ඇස් වල පුංචි වෙනසක් වත් උනොත්...මගේ හිත හැමවෙලේම සීරුවෙන්...ඒ තරු ඇස් මාත් එක්ක කතා කලේ නන් නෑ හුඟ වෙලාවට...හැබැයි ඒ ඇස් මාව හොයනවා හැමදාම ඉර පායපු අහස යට.....කලුවර අහසෙත් මන් ඉන්නවා කියල නොදැන වෙන්නැති....මගේ හිතට තරම් නන් ඒ ඇස් වලට කලබලයක් තිබුනෙම නෑ. ඒ තරු ඇස් වලට ඕන වෙලාවට මගේ ළඟටම එනවා එත් වෙලාවකට අයිමත් ඇත අහසටම පාවෙලා යනවා...

ම්ම්ම්...ඔව්....අදත් වෙනද වෙලාවටම මේ කලුවර වෙච්ච ලස්සන අහසයට...ඒ තරු ඇස් ආයිමත් පායලා....ටිකක් අෑතින් උනත් මගේ හුරු පුරුදු ඇස් පාරේ මන් ඒ බැල්කනියට එබෙනවා....පුරුදු වෙලාවටම ඇවිත් තරු ඇස් මුළු නුවර දිහාම නිවීහැනහිල්ලේ බලන් ඉන්නවා...හිතුවක්කාර මගේ හිතට වගේ කිසිම කලබලයක් නෑ ඒ ඇස් වලට...කොහොම ඉන්නවද ඔහොම...කලුවර වෙච්ච මේ අහස යට විතරයි හැමදාම මන් ඒ ඇස් මගේ හිතුමනාපෙට විදගත්තේ...ඉර පායපු අහසයට ඒ ඇස් දැක්කම මගේ හිත හරි කලබලයි...ඒ ඇයි...මන් දන්නේ නෑ....

"චුටි දෝනි මොකද්ද මේ සීතලේ බැල්කනියේ ඉදන් කරන්නේ එන්න ඇතුලට.."

"එනවා අම්මා..."

අම්මගේ ආදරේ පිරුන ඒ වචන මගේ ළඟ නතරවෙද්දී මන් අායෙමත්....ඔව්....අායෙමත් බැලුව ඒ තරු ඇස් දිහා...ඒ බැල්කනියේත් එළි නිවෙන කොට හෙමින්ම මාත් ඇස් පියාගත්තා...ඉර පායන අහස යට හෙට එන්න අයිමත්...

***********************

"කාවද හැමදාම බැල්කනියේ ඉදන් හොයන්නේ.."

වචන මගේ ළඟම ඇහෙද්දී මගේ කලබල ඇස් ඒ පැත්තට හැරුනේ හරි ඉක්මනට..තරු ඇස්..ඔව්...කතා කරන්නත් පුළුවන් ඒ තරු ඇස් වලට....ඉර පායපු අහස යට...

"ඔයාගේ ලොකු ඇස් කාවද හොයන්නේ හැමදාම...මට පේනවා කළුවරේ උනත් හොදට..."

"මන්...මන් කතා කරන තරු ඇස් දෙකක් හොයනවා...හැමදාම කළුවර අහස යට...එත් ඔයා....?"

"මන් මගේ පුංචි සුරංගනාවීව හොයනවා...එයා කිසිම කලබලයක් නැතුව අහසේ තටු ගහන්නේ කළුවර උනාම විතරයි..."

"ඒ අැයි...???"

"එළිය දෙන අහස යට එයා හරි කලබලයි...ඒ වෙලාවට මන් එයාව බලන්නේ හුඟක් අෑතින්.."

"කතා කරන්නේ නැද්ද එයා එක්ක...?මන් නං මගේ තරු ඇස් එක්ක හැමවෙලේම මගේ හිතින් කතා කරනවා..."

"නෑ... මන් එයාව මුළු හිතින්ම මගේ දවස පුරාම විදිනවා...රෑට එයා තටු ගහන්නේ හෙමිට... මන් අාස උනේ එහෙම එයාව බලන්න...එත් දැන්...."

"එත් දැන්......."

"පුංචි සුරංගනාවී කලබලෙන් එලිය දෙන අහසේ තටු ගැහුවට එයාගේ කවි බිචිය හිතට ලොකු වෙනසක්..."

"වෙනසක්....."

"ඔව්...කතා නොකර මන් විඳපු සුරන්ගනාවිට වඩා කිචි බිචි ගාන සුරන්ගනාවිට දැන් මගේ හිත ආසයි..."

"ම්ම්ම්...කොහෙද ඔයාගේ සුරන්ගනාවී ඉන්නේ...?"

"එයා ඉන්නේ කළුවර අහස යට...ඈත තියන බැල්කනියක..."

ඉතින් දොඩමලු වෙච්ච තරු ඇස් ගැන මගේ හිත කලබල උනේ නෑ අායෙමත් කවදාවත්...ඒ තරු ඇස් මේ පුංචි සුරන්ගනවිගේ නිසා...


Wednesday, January 20, 2016

SMS

"ළමයි අද මන් ගිය සතියේ ටෙස්ට් එකේ ලකුණු දැම්ම බලාගන්න පුළුවන්... ලොකු වෙනසක් වෙලා තියනව මේ පාර ලකුණු වල...තිබුනේ ලේසි පේපර් එකක්..... "

ළමයි 2000ක් විතර ඉන්න පන්තියේ සර් කියනකොට මගේ ඇස් දෙක සර් දිහා බලන්න බැරුව අසරණ උනා.මන් දන්නවා ඒ ඇයි කියල ඒත්....

"සියපත් පන්ති ඉවර වෙලා ඇවිත් මාව හම්බ වෙන්න...මට දැනගන්න ඕනේ තිබුන හැම ටෙස්ට් එකකම හිටපු පළවෙනිය කොහොමද පනස් වෙනියා වෙනකන් ගියේ කියල.."

සර් මගේ ළඟට ඇවිත් කතා කලත් මගේ ඇස සර් දිහා බලන්න බැරි තරම් බොඳ වෙලා තිබුනේ.

සියපත්....සියපත් සූරියබණ්ඩාර.තාත්ත නැති උන දවසේ ඉදන් මගේ, අක්කගේ හැම දේම හොයල බලල කලේ මගේ අම්මා.තාත්ත නිසා ලැබෙන පෙන්‍ෂන් එක, කලින් ගත්ත ණයත් ගෙවන ගමන් අපි කන්න බොන්න උගන්නන්න හැම දේටම වියදම මදි.අපේ අම්මා මහා පාන්දර ඇහැරගෙන කෑම හදල කඩ වලට දාල තමයි යන්තන් ජිවිතේ ගෙනිච්චේ.අක්ක කැම්පස් ගිය දවසේ අම්මගේ සතුට දැකපු මට හිතුනේ මාත් අනිවාර්‍යෙන්ම කැම්පස් යනවා කියල.හැබැයි කාලයක් යනකොට මගේ වගේම මගේ අම්මගේ අක්කගේ ගුරුවරුන්ගේ යාලුවන්ගේ හැමෝගෙම අාසව උනේ මන් රෑන්ක් එකක් ගන්න.අපේ සර් මාස තුනෙන් තුනට accounts වලට ටෙස්ට් තිබ්බා.වැඩිම ලකුණු ගන්න කෙනාට සර් ආයිමත් මාස තුනකින් ටෙස්ට් තියනකන් පන්ති ගාස්තු ගත්තේ නෑ.මේ තරම් කාලයක්ම මන් පන්ති ආවේ වැඩිම ලකුණු නිසා පන්ති ගාස්තු නොගත්ත එකට සර්ට පින් සිද්ද වෙන්න.ටෙස්ට් එකක් තියන සතියෙම මන් බැහැල වැඩ කරනවා,යාලුවෝ එක්ක කලින් කොච්චර වල බැස්සත් ඒ සතිය මන් උපරිමයෙන් වැඩ කරනවා.ඔය කාලෙට අපේ එවුන්ට ඉන්න එකම ගැලවුම්කාර දෙවියා මන්.එත් නොහිතපු කෙනෙක්..නොහිතපු විදියට මගේ පාර හරස් කරලා කියල මට හිතෙනවා.මන් මේ සතියම හිටියේ ගිණුම් එක්ක නෙමෙයි,නෙතුගේ සමස් අතරේ....ඔව් නෙතු...මන් ආදරේ කරන්න පටන් අරන් ද මේ තරම් ඉක්මනට...එතකොට මගේ ටාර්ගට් එක....හ්ම්ම්ම්...මතකයි සතියක් පරණ උන ඒ අතීතය.

"ටීක් ටීක් "

කවුද මේ මහා රෑ..විශේෂයෙන් කියල කෙනෙක් නැති එකේ ඕකත් නිකන් අපේ එකෙක් අාතල් එකට එවපු එකක් වෙන්නැති කීයල වැඩේ කරන්න ගත්තත් මොකක් හරි අවුලක් ද දන්නෑ නේ බලමුකෝ...

"හායි සියපත් ඔයා වැඩ ද"

කවුද මේ... මන් දන්නෙ නෑනේ මේ නම්බෙර් එක...වැඩක් නෑ..අපේ එකෙක් වෙන්නැති...

"ඔයාට රිප්ලයි කරන්න බැරි තරම් වැඩ ද?"

"පුදුම අහංකාර කමක්නේ"

එක පිට එක මස් එනවා මේ වැඩේ හරියන්න නෑ..

"ඔව් අහන්කාරයි තමයි,මොකද්ද දැන් වෙන්න ඕනේ"

"ඇති යන්තන්..."

"ඇයි මොකද?"

"ඔයා මව දන්නවද"

"මන් කොහොමද දන්නේ?"

"කියනව බලන්න"

"මම නෙතු ආකර්‍ෂා"

"ඉත්තින් මට මොකද"

මේ විදියට දිගටම ඇදිල ගිය SMS කෙරිල්ල නැවතුනේ පාන්දර 3ත් පහු වෙලා.ගිණුම් අතර අතරමන් වෙලා හිටපු මගේ ඇස දෙකට බර වැඩි වෙලා තිබුන නිදිමත අහලකවත් නෑ දැන් නන්..මොන උනත් කටකාර කෙල්ලෙක්,පාලු නෑ..
ඔව්ව්..හැමදාම...ඉතුරු දවස් තුන හතරම.... මේ නොදන්නා නෙතුගේ SMS අතර අතරමන් වෙලා ඔහේ ගලාගෙන ගියා.උදේ පටන් ගන්න SMS නවතින්නේ මහා පාන්දර.මොන කරන්නද අතාරින්නත් බෑ,බනින්නත් ලෝබයි....

"අඩෝ තෝ කොහෙද ඉන්නේ?මන් මසග්ගේ කියක් එව්වද "

"සිරා... මන් දැක්කේ නෑ බන්.මොකද්ද හදිස්සිය තොට "

ඇත්තටම මන් SMS දැක්කා... ඒත් නෙතුගේ සමස් බැලුව මිසක් මට අනිත් එකෙක්ගෙවත් SMS බලන්න උවමනාවක් තිබුනේ නෑ.

"හදිස්සිය දැන් ද අහන්නේ?හෙට ටෙස්ට් එක යකෝ...අර මගුල් කල් බද්ද මට තේරෙන්නෑ බන්..උදේ අපේ ගෙදර ඇවිත් යමන්කෝ පන්තියට "

දෙයියනේ හෙට නේද ටෙස්ට් එක මට මතක් උනේම නෑ නේ,නෙතු මව කොයි තරම් නන් පිස්සු වට්ටලද...ඇත්තටම මන් දැන් මේ කෙල්ලට ආදරේ කරනවද කොහෙද....

"මොකද ගස් ගෙම්බෝ සද්දයක් නැත්තේ? තෝ එනවද මන් එන්නද නැත්තන්?"

"අාහ් හරි බන් මන් එන්නන්."

මොනා උනත් මගේ ටර්ගේට් එක අමතක කරන්න බෑ.අද නං ගානක් හදන්න ඕනේ...මේ දවස් ටිකම අර පිස්සු කෙල්ල එක්ක කියෙව්ව මිසක් වැඩ මතක් උනාද?

"ටීක් ටීක්"

මේ පිස්සු කෙල්ල නං වැඩක් කරන්න දෙන්නෙම නෑ නේ.

"මේ ඔයා හැමදාම පන්තියේ 1ස්ට් ප්ලේස් නේද?"

"අහ්හ් ඔයා කොහොමද එක දන්නේ?"

"උවමනාව තියනවනං මොනාද හොයාගන්න බැරි?"

"පණ්ඩිත කෙල්ල"
ඔයා විදියට පටන් ගත්ත SMS නැවතුනේ පාන්දර 4ට විතර.

උදේම එනවා කිව්වට ආශානයගේ ගෙදර යනකොට 11ටත් ළඟයි.හොද සුද්ද සිංහල වචන ටිකක් අහගෙන ගියත් මන් හිටියේ නෙතුගේ ලෝකේ.
එදා හවස පන්තියේදී පේපෙර් එක ලිව්වේ කාලයක් ලියපු මතකෙට මිසක් අසාවෙන් වත් උවමනාවෙන් වත් නෙමෙයි.එත් එදා මන් හිතා ගත්ත කෙල්ලෙක් නිසා මගේ ටාර්ගට් එක අමතක කරන්න බෑ කියල.එත් නෙතුත් මට අදරේ කරනවා ඇති...මන් එයාට තේරුම් කරලා දෙනවා....

"මොකද යකෝ මේ පාර තොට උනේ?"

"බලහන් ඔච්චර පහළට ගියේ කොහොමද "

"අපි වල බැස්සේ එකට,අපි හැමෝටම වඩා මීටරේ උඹ,මොකද්ද මේ පාර උනේ?"

"අපේ සෙට් එකම පළවෙනි 20 ඇතුලේ ඉන්නව,උඹ කොහොමද 50 උනේ?"

අපේ එවුන් වට කරගෙන අහන ප්‍රශ්න වලින් මාව හෙම්බත් වෙලා හිටියත් මන් නෙතු ගැන කිසිදෙයක් කිව්වේ නෑ.

"මගේ ඔලුව රිදෙනවා බන්,මන් ගෙදර යනවා,සර්ට කියපන් මචන්"

"අඩෝ...මේ අහපන්...."

තවත් මොනාද මන්ද අපේ එවුන් කිව්වත් මන් ෆෝන් එකත් ඔෆ් කරන් ගෙදර ඇවිත් ඇඳට වැටුනා.

"පුතේ..නැගිටින්න දැන්...ඇඟ හෝදගෙන කන්න එන්න"

අම්මගේ ආදරේට මගේ ඇස වලට ආයිමත් කදුළු ආව..අයිමත් කවදාවත් මෙහෙම වෙන්න දෙන්නෑ අම්මේ මන්.....
ෆෝන් එක තාමත් ඔෆ් කරපු ගමන්...මන් ෆෝන් එක ඔන් කරලා අද උඩට විසික් කළේ තාම මගේ හිතේ නිදහසක් නැති නිසාමයි.

"ටීක් ටීක්"

හ්ම්ම් ආයිමත්..නෙතුද... නැත්තන් අපේ එකෙක්ද දන්නේ නෑ....

"නෙතු..."

"සියපත් මට සමාවෙන්න මන් නෙතු නෙමෙයි...ඔයාගේ පන්තියේ ගැණු ළමයෙක්.ඔයා හැමදාම පළවෙනිය ඉතින් අපේ යාලුවෝ සෙට් එක මට චැලේඤ් කලා ඔයාගේ ලකුණුයි ප්ලේස් එකයි වට්ටන්න කියල.එකයි මන් ඔයා එක්ක ගිය සතියෙම SMS කලේ,කෝල් කළේ...මන් දන්නවා ඔයා මට ආදරෙත් කරනවා ඇති සමහරවිට..එත් එපා...මන් නෙතු නෙමෙයි,අනික ළමයි 2000ක් විතර ඉන්න පන්තියේ මාව හොයන්නත් එපා.මන් ඔයාගේ මාස තුනක ෆීස් ගෙවුව.ඊලග ටෙස්ට් එකේ හිටපු ප්ලේස් එකට අයිමත් එන්න.Good Luck."

"මේ නෙතූ......???"