Monday, December 11, 2017

උඹත්... මමත්...

ජීවිතය තුළ ලද ලැබීම් නොලැබීම් දහස් ගණනක් අතරෙහි මගේ රැකියාව මා ලද භාග්‍යයක් ලෙස අද මම මේ විදින මුස්පේන්තු මොහොත තෙක්ම තදින් විස්වාස කළෙමි.එහෙත් අද....වසර විස්සක් පුරාව‍ට මා ජීවත් කරවූයේ මේ රැකියාවයි.මගේ අඹුදරුවන්ගේ,දෙමාපියන්ගේ නිහඬ ආඩම්බරය මා විය.අද මා මගේ හදවත සමග සටන් කරනුයේ පරාජය පිළිගෙනමයි.ඒත් අවසාන මොහොත හෝ වෙනස් විය හැකි...මගේ අරුත්සුන් බලාපොරොත්තුව.

මැදවච්චි නගරයෙනුත් කිලෝමීටර් ගණනක් ඇතුළට පිහිටා තිබුනු අපේ ගම.එ් ගමටම තිබුනු එකම සම්පත,ගමේ පාසල...එදාවේල අමාරුවෙන් හරිහම්බ කරගෙන ගොවිතැනින්,කුලී වැඩකින් ජීවිතේ ගැට ගසාගන්නා අපේ දෙමාපියන්...මතකද උඹට ඒ දුක පිරිච්ච ලස්සන දවස්.දවසකින් වේලක් වත් බඩට දැනෙන්න කෑමක් නොකෑව,ඒත් හැමදාම පාසල් ගියපු ඒ කාලෙ....අණ්ඩ දමපු නිල් කලිසම ඇදන් කහ ගැහුනු ෂර්ට් එක,පතුල් ගෙවනු බාටා දෙක දාගෙන,පොත් දෙක තුන අතට අරන් උඹයි මමයි ගුරු පාරෙ ගිනි අව්වෙ අපේ ජීවිතේ හදාගන්න දහතුන් අවුරුද්දක්ම එකට ඇවිද්දෙ පාසලට...ගණන් වලදි උඹ මට වඩා දුර්වල වෙද්දි මම උඹට වරු ගණන් ගණන් කියල දුන්නු හැටි.මට ස්වර හත වත් හරියට කියාගන්න බැරි වුනාට උඹ තමයි පාසලේ දක්ෂතම ගායකයා.සංගීත කාමරේ තිබුනු බටනළාව,වයලීනය උඹට ආදරේ කරපු තරම.

"සර්....වෙලාව හරි...ඔබතුමා එනවද..."

වෙලාව....විසි අවුරුදු රාජකාරි ජීවිතේ කවදාවත් තත්පරයක් වත් ප්‍රමාදයක් නොවුනු මට උඹ වෙලාව විතරක් නෙමෙයි මගේ මුළු ජීවිතේම එකම තැන නතර කරල.

"හ්ම්ම්...යමු මම එන්නම්..."

සහයකයා වුනත් බලනව ඇති ඇයි අද මම මේ තරම් තෝන්තුවාවෙන් කල්පනා කරන හේතුව.ඒත් උඹ...දන්නෑ තාම උඹේ ඉරණම අද මගේ පෑනෙන් ලියන බව.

උසස් පෙළින් පස්සෙ අපි ප්‍රතිඵල එනකන් වැලි ගොඩදැම්ම...අත්වල කරගැට පුපුරද්දිත් දවස් ගණන් වේදනාවන් හංගගෙන එකට වැඩ කරපු උඹ....දහම් පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායක වගේම ගමේ හැම වැඩකදිම මුල් තැන ගත්තෙ උඹ.නොහිතුව වෙලාවක අාපු අපේ ප්‍රතිඵල උඹව සෞන්දර්ය විශ්ව විද්‍යාලයටත්,මාව නීති විද්‍යාලයත් වෙන් කරල තිබුන.මතක ඇති කාලයක ගමෙන් සරසවි ගියපු කෙනෙක්ට හිටියෙ අපි දෙන්න විතරයි.

"උඹලට වරදින්නෑ කොල්ලනෙ...අම්ම තාත්තා ගොඩගනින් ඇවිත්..."

අපි කොළඹට එද්දි ගමේ හැමෝම කිව්වෙ එහෙම.ඒත් නොහිතපු විදියට අවුරුද්දක් යන්නත් කලින් උඹේ තාත්තා අම්මා ගියපු පරණ බයිසිකලය හප්පගෙන ගියපු ටිපර්කාරයා එදා ගියෙ උඹේ අම්ම තාත්තා උඩින්ට වැඩිය උඹේ ජීවිතය උඩින් කියලයි මම තාමත් හිතන්නෙ.එදා ඒ සිද්දිය නොවුනන් අද උඹ කොතනද....සෝමදාස මාමා එදා සදහටම ඇස් පියා ගනිද්දි, ලතා නැන්දා ජීවිත කාලයටම  එකතැන් වෙද්දි උඹේ නංගි මල්ලි උඹව බදාගෙන අඩපු තරම...අසරණ උඹ සරසවියට සමුදුන්න ජීවිතය ගැට ගහගන්න....ලෙඩ ඇඳට වැටුනු අම්මා රැක ගන්න..නංගි මල්ලිට හොඳ අධ්‍යාපනයක් දෙන්න.

කාලය  මාසෙන් මාසෙ ගෙවෙද්දි මටවත් උඹෙන් කිසිම තොරතුරක් නැතුව කාලය හරිම වේගෙන් පියඹගෙන ගියා.උඹ මොකද්ද කරන්නෙ,කෙහෙද ඉන්නෙ ඒ කිසිදෙයක් අපිට හොයාගන්න බැරිවුනා.මේ ගෙන්දගම් පොළවෙ උඹ ඔය දේවල් රස්සාවට තෝරගන්න උඹට හිත හදාගන්න පුළුවන් වුනාද....නෑ උඹේ හිත ඒ තරම් නපුරු නෑ...ඒත් උඹ අමතක නොකර කරපු එක දෙයක් තිබුන.හැම මාසෙකම උඹ නංගිට හදලා දුන්නු බැංකු පොතට මාසෙට සෑහෙන්න සල්ලි දැම්ම.මම ගමේ යන හැම වතාවකම උඹේ ගෙදරට යන්න අමතක කලේම නෑ.සල්ලි එව්වට උඹ ඉන්නෙ කොහෙද කියන්න අම්ම නංගි මල්ලි වත් දැනගෙන උන්නෙ කෑ.කාලය ගෙවෙද්දි උඹ වගෙම උඹේ නංගිත් සෞන්දර්යට තේරෙද්දි උඹේ මල්ලි වෛද්‍ය  පීඨයට යද්දි ඒ දෙන්නම උඹ ගැන මතක් නොකරපු වෙලාවක් නැති තරම්.

"උසාවියෙ වැඩ කටයුතු ආරම්භ කරන්න"

අසිහියෙන් වුවද මගේ රාජකාරිය මා කළයුතුමයි.

උඹ කොහේ හරි ඉදන් ඒ එවපු සල්ලි වලින් ඉගෙන ගත්තු උඹේ නංගි...නැතිනම් මගේ ආදරණීය බිරිඳ,උඹේ ළග දැවටුනු පොඩි කොල්ලා,උඹේ මල්ලි දැන් ශල්‍ය වෛද්‍ය අදීප ගුණරත්න...මේ දෙන්නම අද උඹව බලන්න ඇවිත්..දරාගන්න පුළුවන් වෙයිද උඹට...

"විත්තිකරු රැගෙන එන්න"

සුදු කමිසයට කළු කලිසම ඇදලා එන උඹව දැක්කම කොහොම නම් දරාගන්නද මම..ගමේ හිටපු අහිංසක කොල්ලා අද වැරදිකාරයෙක්....පාතාල සාමාජිකයෙක්....මීනිමැරුම් දහයකට සෘජුව සම්බන්ධ වීම් හා මහා පරිමාණ මුදල් වංචා සිදුකිරීම යන වැරදි ගොනුකරමින් විත්තිකරුවෙක් වුනු උඹේ ඇස් වල සිහින් කඳුළු පටලයක්...කොහොමද උඹ මෙහෙම වුනේ...උඹ ළගට ඇවිත් මම එදා අහද්දිත් ඒ කියන්න තිබුනු අවස්ථාවත් උඹ බලෙන්ම මගහැර ගත්තා.අද උඹේ නංගි මල්ලි ඇවිත් උඹව බලන්න...මම උඹේ ඉස්සරහ ඉදගෙන...

"මතු නියම කරන දිනකදි වැලිකඩ බන්ධනාගාරය තුළ හුස්ම සිරවන තෙක් එල්ලා මැරීමට නියම කරමි"

මා මගේ අවසන් රාජකාරිය කළ යුතුයි.හදවත විලාප තියමින් හඬා වැටෙද්දි රාජකාරි බුද්ධිය තීන්දුව දී හමාරයි.එම තීන්දුව කෙසේ කොහොම මා දුන්නාදැයි සිතාගත නොහැකි මුත් මගේ හදවත මාවත් පෝරකයට නියම කර ඇත.ඉදින් මම අසුනින් නැගී සිටියෙමි.කවරය තුළ සුරැකිව ගෙන ආ මගේ ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී උඹේ මුහුණ බැලීමට මම පිටතට පැමිණියෙමි.ප්‍රමාදයි...මගේ හොඳම යාළුවා...මගේ මස්සිනා...ඔහුව රැගෙන ගොස් ඇත නිකන්ම නොව මාගේ හදවතේ පලුවක්ද රැගෙනය.