Wednesday, October 24, 2018

දැවෙනවද...නිවෙනවද....





කොළඹ අහස හිරුගේ අයිතිය සඳුට පවරන්නට සූදානම්...ඒ අයිති හුවමාරුව  හැමදාම පුරුද්දට වුනත් මට පුළුවන් ද නුඹට හැර මගේ අයිතිය වෙන කෙනෙකුට පවරන්න..තාමත් මම අර සිමෙන්ති බංකුව උඩ...අපි කන්න ගත්තු වඩේ උරය භාගයයි හිස්වුනේ...මට තිබුනෙ ඒක ඉවර වෙනකන්වත් ඒ ගැන නුඹෙන් අහන්නෙ නැතුව ඉන්න...මොකද නුඹ අද ආවෙත් වෙනදා විදියටම ආදරෙන් ඉන්න...ඒත් මම ආවෙම ගින්නකින් ඇවිලෙමින් ඒ ගින්නෙන් නුඹ ද පිච්චෙන්නෙ මම ද පිච්චෙන්නෙ කියලවත් හිතාගන්න බැරිව....ඉතින් වෙනදට නුඹටත් වඩා ආදරෙන් මේ හමුව බලාපොරොත්තු වෙන මට අද මේ හමුව තවත් කල් ගියා නන් හොදෙයි කියල හිතුනු වාර ගණන අනන්තයි....මොකද නුඹ නොදන්නවට මම දැනගෙන හිටිය මේ අවසානය මොකක් වුනත් අද මට විදගන්න වෙන බව....ඒ මොනව වුනත් පුරුද්දට නුඹට ගේන රෑ බත් පාර්සලය මගේ අත් බෑගයෙ බලා ඉන්නව නුඹේ අත් අතරට මැදිවෙලා යන්න....

"මේ...අර කෙල්ල මොකද එච්චර ඔයාගෙ ඇගේ එල්ලෙන්නෙ..."

"කව්ද...?"

"අර හැමදාම ඔයා ළගින්ම ඉදගන්නෙ....."

"අපෝ....එයා මහ වදයක්...."

නුඹ එදා ඉදන්ම කිව්වෙ ඒක...අදත් කිව්වෙ ඒකමයි...."ඒකි මහ වදයක්..."
ඒත් මගේ හිත තාමත් උත්තර නැති ප්‍රශ්න වැලකින් පැටලි පැටලි යනව...ඒ පැටලුම අවසානෙ මහ විසාල ගින්නක් වෙන්න කලින්ම නිවා දමන්නයි අවැසි මට....ඒත් මට තරමටම නුඹට ඒ ගින්න දැනෙනවද...නුඹට ඒක නිවන්නට අවැසිද යන්න මේ දැනුත් මම හිතනව මෙතන මෙහෙමම ඉදගෙනත්....අනේ මන්ද....නුඹත් මේ හැන්දෑවෙ අහස වගේ....නුඹේ හැඟීම් නුඹ හරි ඉක්මටනට වෙනස් කරනව...මේ දැන් තැඹිලි පාටයි නන් අහස තව මොහොතකින් දම් පාට වෙනනත් පුළුවන්...අළු පාට වෙන්නත් පුළුවන්....නුඹ හරියටම අන්න ඒ වගේ...මේ මොහොතකට කලින් දොඩමළුයි මට ඇසිපිය වත් හෙලන්න නොදි නුඹ ළග තියාගන්න තරමටම...ඒත් ඊළග මොහොත නිහඬයි මට නුඹෙන් ඈතටම දුවන්න හිතෙන තරමටම...ඇයි ඒ.....හ්ම්ම්....මම දන්නව නුඹ ගැන...නුඹ වුවමනාම දේ විතරක් කතාකරන,හැම හැඟීමක්ම නුඹේ හිත ඇතුළෙම තියාගෙන රසවිදින එහෙමත් නැත්නම් විදවන අමුතු ආදරවන්තයෙක්...මට ඕන වුනෙත් නුඹ වගේ පිරිමියෙක්....ආඩම්බරකාර ආදරවන්තයෙක්....ඒ දැන දැනත් මම මෙහෙම ඉන්න එක හරිද....සිමෙන්ති බංකුව උඩ තාමත් වඩේ උරය.... විසික් කරනවද....අරගෙන යනවද....

"ඇයි ඔයාට කියන්න බැරි...."

"මොකද්ද...."

"ඔයාගෙ ඇගේ එල්ලෙන්න එපා කියල..."

"මේ අහන්න....ඔයාම කියන්නකො ඔයා ඉස්සරහම මම දවස් කීයක් බැනල ඇතිද...."

"හ්ම්ම්....."

ඇත්ත....නුඹ මගේ ඉදිරියෙම ඇයට තියා මටවත් දරාගන්නට අසීරු වදන් වැල් ඇයට දමා ගැසුව වාර අනන්තයි...ඒ කවදත් මම නුඹව සන්සුන් කරගත්තෙ මගේ එක බැල්මකින් විතරයි....

මේ එකම දේ මම අහන්නෙ අදට හරියටම තුන් මාසයයි දින එකොළහක් පුරාවටම.....ඒ මූසල හැන්දෑවක විසකුරු හැපින්නක් මගේ හිතේ අවුළුවා ලු ගින්න....එහෙත් මේ මගේ ගින්නටත් වඩා වේගෙන් බුර බුරා නැගෙන නුඹේ තරහව...ඒ ගිණි කන්දක්....හැමදාම මම එතනදි පරාදයි කියල නුඹට අගවනව....නුඹ හරි වුනත් වැරදි වුනත්....ඇයි ඒ...මට වත් හිතා ගන්න බෑ තාමත් ඒ මොන හේතුවක්ද...ඇත්තටම මේ ආදරය රැකෙන්නෙම අපේ නිහඬබවින්....මම ගිනිගනිද්දි නුඹ මටත් වඩා ගිනි පුපුරු විසුරුවා හරිනව....ඉතින් මම නි⁣විය යුතුමයි....හේතුව....මගේ හිත කොයිවෙලෙත් කොනිත්ත කොනිත්ත මතක් කරනව....මොකද්ද...

"උඹට එයා නැතුව බෑ....උඹ කවදාවත් එයා ඉස්සර කරන්න කැමති නෑ...උඹ පරාදයි...."

ඔව් එහෙම වෙන්නැති....එහෙනන් අද මොකද්ද මේ වුනේ....ඉස්සර කරන්න අකමැතිම රේඛාව  මතයි මම අද හිටගෙන ඉන්නෙ...ඔහුත් එතැනමයි....එහෙනම් කවුරු මේ රේඛාව ඉක්මවා යා යුතුද...."මම"....තීරණය බර වැඩිම ඒ පැත්තට...මේ ගින්නෙන් ඒ තරමටම මම හෙම්බත් වෙලා....ඒත් නුඹ පඬුපැහැ හිස් කඩදාසික් වගේ...කිසිම හැඟීමක් ලියවිලා නැති නුඹේ වත මාව බලාපොරොත්තු වෙනවද....නැතිනම් මම රේඛාව ඉක්මවන තුරු බලා ඉන්නවද....අව්ව නැති එකත් හොදයි...නැත්තනම් මෙහෙම කල්පනා කරන්නත් අමාරුයිනෙ....ඒ අහුමුළුවලින් මට ඒවත් හිතෙනව...මේ හැමදේම තුන් මස් එකොළොස් දිනක් මම අහපු වගෙම නුඹ මට කියු ⁣දේ.....ඒත් මේ අද මම අවුළුවා ගත්තු ගින්න....මරණීය විස දළ වලින් පිරුණු ගින්නක්....

"මේ බලන්න...මේ බලන්න....එයා කියනව ඔයා එයාට ආදරෙයි කිව්වලු....ඔයා එයාව හම්බවෙලත් තියනවලු....."

අද මේ ගින්නට ඇවිලෙන්න දුන්නු ඉන්ධන...විසකුරු හැපින්න  අතිශෝක්තියෙන් කියපු හැමදේම මගේ දුරබණුවෙ සටහන් වෙලා....ඉවසිය නොහැකි තවත් මට....ඉතින් තවත් මගේ රේඛාව රැකගන්න අවැසිද...නැතිනම් අදත් පරදිනවද...

"පිස්සුද අනේ....හරි නල්ලමලේ බඩ්ඩනෙ ආදරේ කියල ගිහින් හම්බවෙන්න....ඔයත් කාගෙ හරි කුණු ටිකක් ඔළුවෙ දාගෙන මාත් එක්කම කියවගෙන එනව....ඒකිට තියෙන්නෙ ඉරිසියාව...ඔයාට තේරුම් ගන්න මොළයක් නැද්ද....කට වහගන්නව දැන් ඇති හොදටම....අනික ඔයත් හාර හාර අවුස්සන හින්ද තමයි ඕකි කියවගෙන එන්නෙ ඔයා එක්ක....."

"ඔයා කියන්නෙ තමන්ගෙ මනුස්සයා ගැන වෙන එකියක් ඇවිල්ල  කියද්දි බකන්නිලන් ඉන්න කියලද.....මට ඕන ඇත්ත දැනගන්න...."

අද මමත් පරදින්න සූදානමින් නෙමෙයි ආවේ....ඉතින් කොහොම හරිම නුඹෙන් මෙය දැනගත යුතුමයි මම....නුඹට වෙනව මේ හැමදේම අකුරක් නෑරම මට කියන්න.....නැතිනම් මම ගෙදරින් එළි බහිද්දිම ගත්තු තීරණය,දැකපු  අවසානය මා භාරගත යුතුමයි....නුඹේ ඔය නිහඬ පිළිවෙත තමයි මගේ  හිතුවක්කාරකම අවදි කරවන්නෙ.... ඒත් කවදත් නුඹව තරහ ගස්සන මගේ හිතුවක්කාරකම නුඹ එක සතයකටවත් මායිම් කළේ නෑ අදත්....ඉතින් මගේ ගැහැණු හිත අසරණයි...හිතන්නත් කලියෙන් මගේ කඳුළු ඇහි පිය වැට පනිද්දි නුඹේ දඩබ්බර පිරිමි හිත සසල වුනා නොහිතපු ලෙසකට....

"හරි මම කියන්නන්....."

නුඹ ලෑස්ති පරදින්න....මම හිතින් හිතුව මීට ⁣මිනිත්තු කීපයකට පෙරම...ඒත් කව්ද දැන් පරදින්නෙ අදත්...මගේ හිතේ සිහින් ඉදිකටු තුඩු දහස් ගාණක් ඇනෙමින් හිරිවට්ටවනවද මන්ද....මොනව කියයිද නුඹ....

"එයාව අදුරන්නෙ මම ටික කාලෙකට කලින් ඉදන්......."

එතනින් පටන් ගත්තු  නුඹ, ඇය නුඹෙන් ඉල්ලුව සුළු සුළු උදව් උපකාර නුඹ ඇයත් සමග කළ අතමාරු පහුවෙන්න ඇය නුඹෙන් ආදරය බලාපොරොත්තු වුනු විදිය මේ හැමදේම එකින් එක කියද්දි මගේ ගින්න නිවෙන බව දැ⁣නීම වැඩි වෙනව වගෙයි....ඒත් මට ඕනම පිළිතුර මම ම ගත යුතුයි....

"එතකොට ඔයා ආදරෙයි කිව්වෙම නෑ කියලද කියන්නෙ...."

"ඔව් ඔව් සිංහල තේරෙනවනෙ...."

"හොදටම විස්වාසයිනෙ...."

"මේ ඔයත් මගෙන් බැණුම් අහන්න හදන්නෙ....එක එක #%&*@* අහල....ඔයාට ඕන දෙයක් හිතාගන්නව මාව විස්වාස නැත්තන් මන් යනවා...."

ඔව් නුඹ ගියා රේඛාව මතට....නුඹෙත් ඉවසීම් කඩඉම මම තුන් මසක් එකොළොස් දිනක් තිස්සෙම පිරික්සනව.....එකම ගින්න වෙනස් විදි කීපයකටම දල්වල බැලුව.....ම්හ්ම්....නුඹ එකම තැන එක ඉස්පිල්ලක් පාපිල්ලක් වෙනස් නොවී එකම විදියයි....එහෙත් අර හැපින්න ඒ හැම දවසක්ම මට දුන්නු විස විවිධාකාරයි.....ඉතින් දැන් තීරණය ගත යුතුමයි...නුඹේ අර ගිනි කන්ද පුපුරන්න තව තත්පර ගාණයි....එහෙත් යනව කියල ගිය නුඹ මාව නොදකින්න මුහුද දෙසම බලාගෙන නැවතිල්ලෙ...දැන් තමයි වෙලාව....මම අත ගෑව සිමෙන්ති බංකුව..සීතලයි....එතකොට මේ වඩේ උරය.....ඒක අරන්ම යනව....

"මාත් එනව....මට විස්වාසයි ඔයාව....ඔයා නැතුව බෑ...."

අදත් රේඛාව මතින් මම පසුබැස්සා....වඩේ උරයත් අරන් මම එල්ලුනා ඒ සිහින් දිග අතක...රෑ බත් පාර්සලයත් හරි ඉක්මනට පැන්නා ඒ දෑත් අතරට.....

"මම ආදරෙයි....."

ඒ නුඹෙන් මම අහන්න කැමතිම...නුඹ නිරන්තර නොකියනම වචනය......