Friday, January 29, 2016

හේතුවක් නැතුවම

සීතලට ගුලි වෙන පොරෝනාව ඇතුලෙන් ලොකු උණුසුමක් මගේ හිත වෙලා ගනිද්දී මන් තාම ඊයේ රෑ දැකපු ඒ මුස්පේන්තු හීනෙ ඇතුලේ ඉබාගාතේ ඇවිද්දා.ඔව් ඒ හීනෙ මන් අදුරන කෙනෙක්ට හිටියේ ඔයා විතරමයි.මුළු හීනෙම අායෙත් බැලුවත් ඒ හීනෙ මන් අදුරන්නේ ඔයා විතරමයි.අඩුම තරමේ මගේ කියල හිටිය ඔයා ඇරුණම මට කියල හිටිය එකම කෙනා මැරුණ මගේ ආච්චි අම්මවත් නෑ.හැමදාම ඔයාගේ හැමදේම දැනුන මට අවුරුදු පහකට පස්සේ මගේ හිත බර වෙන්න තරම් ඔයාගේ ඒ රූපේ මේ තරම් දැනෙන්නේ ඇයි?

ලස්සනට හරිම පිළිවෙලට ඔයා ඇදල හිටියේ,කවදාවත් නොපීරපු කොන්ඩේ හරි ලස්සනට පීරලා.හැමදාම දාපු අර නිල් පාට බාටා කැලි දෙක වෙනුවට ඔයා සපත්තු දාල.ඔයා ලස්සනයි ඒ දවස් වල හිටියටත් වඩා.වෙනද වගේම මන් ඇවිත් ඔයාගේ අතේ එල්ලුනා.වෙනදට ඔයාගේ කොන්ඩේ වැටිලා තියන නළලට දෙන මගේ හාදුව මන් අද ඔයාගේ පීරපු ලස්සන කොණ්ඩෙට යටින් තියන නළලට දුන්න.හරියට...ඔව් එදා වගේම....අපි වෙන් වෙච්ච ඒ මුසල දවසේ.....ඔයා කිසිම හැලහොල්මනක් නැතුව ඉකි ගහන මන් දිහා බලන් හිටිය වගේම බලන් ඉන්නව,එදා ඔයාගේ ඇස් පිරෙන්න තිබුන කදුළු මේ ඇස් වල නෑ.මොකද්දෝ කියාගන්න බැරි දෙයක් ඒ ඇස් වල හිර වෙලා තිබුන.

ඔයා මාව දාල ගිය හේතුවක් මන් අවුරුදු පහක් පුරාම හෙවුවට, ඔයා ඒ අවුරුදු පහ ඇතුලේ දවස් දෙක තුනක් මගේ හීන වල රස්තියාදු ගැහුවට කවදාවත් ඔයා මගේ නෙමෙයි කියල හිතපු දවසක් මට තිබුනේ නෑ.එත් ඊයේ දැකපු මගේ මුස්පේන්තු හීනේ මට ඔයාව නැති උනා කියල හිතන්න බල කරද්දී මන් මගේ පොරෝනවට ගුලි උනේ කදුළු වල උණුසුමත් එක්කම මගේ හිතටම සාප කරගනිමින්.හේතුවක් නැතුව දාල ගිය ඔයාගේ ගැන හේතුවක් නැතුවම හිතන්න හැමදාම මට බල කරපු මගේ හිතට අද මොන කරුමයක් වෙලාද මට එහෙම කියන්නෙ.



"හෙලෝ සකුනි....මන් සරසි"

"සරසි...?කව්ද...?"

"නිසල්ගේ ඩොක්ට..."

ඔයාට මන් දැනන් උන්නු කාලේ තිබුන එකම අසනීපෙ ඔලුවේ කැක්කුමක් විතරයි.එ්කටවත් කොච්චර කිව්වත් ඩොක්ට කෙනෙක් ළඟට නොගිය ඔයාට මේ කාලේ ඇතුලේ උනේ මොකද්ද?මන් හැමදාම හෙව්වත් ඔයා මගේ ඇස් වලට පෙන්න හිටියෙත් නෑ.ඔයා ඩොක්ට කෙනෙක් ලගට යන්න තරම්...

"හලෝ...සකුණි...."

"නිසල්ගේ...??"

"ඔව්...ඔයා මාව දන්නේ නෑ,එත් මන් ඔයාව දන්නවා,නිසල් නිසා...ඔයාට කියන්න කියපු දෙයක් තියනවා එයා..."

"ඒ මොකද්ද...?"

"එයා ඔයාට විතරයි ආදරේ කලේ වෙන කාටවත්ම ආදරේ කලේ නෑ...එ්ක ඔයාට එයා කියන්න කිව්වා ඒවගේම ඔයාව තනි කලාට සමාව ඉල්ලුවා..."

"ඔයා මොනාද මේ කියන්නෙ....?ඇත්තටම නිසල්...."

"ඇත්ත සකුණි එයා ඔයාට විතරයි ආදරේ කලේ..."

මගේ ඇස් වල කදුළු බින්දු පිරෙද්දී, හිතේ තියන සතුටක්ද දුකක්ද කියාගන්න නොතේරෙන මොකද්දෝ මන්ද හැගීමක් මගේ හිත පහුරු ගාද්දී මන් ඔයාගේ කටහඩ අහන්න ඉක්මන් උනේ අවරුදු ගානක මගේ ආදර මතකයත් එක්ක...

"එයා කොහෙද ඉන්නේ...?"

"දැන් ටිකකට කලින් එයා මෙතන හිටිය,එත් දැන් නෑ..."

"ඇයි එයා කොහෙද ගියේ....?"

"අපි හැමොන්වම දාල ඔයාගේ ආදරේ විතරක් අරන් නොපෙනෙන ඈතකට එයා ගියා ...."

මගේ හිසෙන් පටන් ගත්ත අමුතු හිරියක් මගේ කකුලේ ඇඟිලි වල අන්තිමටම යනකන් ඇදිල ගියේ නිසල් ගැන රූප දාහක් මගේ හිතේ මවාගෙන.යන්තමින් හරි නොහිතපු දෙයක් ගැන මගේ ගෑණු ඉවට දැනෙද්දී මට එ්ක වචනෙට පෙරලන්න පුළුවන් උනේ නෑ...හීන් ඉකියක් මගේ උගුරේ හිර වෙද්දී එහා පැත්තෙන් සරසි අයෙමත් කතා කළා...

"මන් එන්නන් ඔයා ලෑස්ති වෙලා ඉන්න සකුණි....ඇවිත් හැමදේම කියන්නන්..."
*****************************************************
මගේ අර මුස්පේන්තු හීනේ ඇතුලේ ඔයාව දැක්ක වගේම ලස්සනට ඔයා ඉන්නව...එත්...මගේ හිත ඒ මුස්පේන්තු හීනෙට සාප කරනවා මිසක්...මේ ඔයා කියල පිළිගන්න ලැස්ති නෑ....මගේ කදුළු ඔයාගේ නළලට වැටෙද්දී ඒ සීතල නළලටම හාදුවක් දීල මන් එහාට උනේ කඩු කිනිසි සිය දහස් ගානක් මගේ හිත ඇතුලට කිදා බහිනවා තරම් වේදනාවක් මගේ හිත වෙලා ගනිද්දි....ඔව්...හැමදාම ඔයා මගේ....


Wednesday, January 27, 2016

පොඩි එකාගේ නම් වෙනස් කල වගයි.


"ඩුන් ඩුන් ඩුන්" අසව්! අසව්! හිතුවක්කාරී නම් වෙනස් කරන්ටයි මේ සුදානම.ආහ්.. කවුද බොල මේකි?පොඩ්ඩක් හිටින්කෝ කියන්න.හිතෙන වල් පල් ජාති, ඔය රට වටෙන් ඇහෙන එවුව මෙවුව,එතකොට තව නිකන් ඉන්න කොට මතක් වෙන මගේ සුන්දර ජීවිතේ කරපු වැදගත් දේවල් (වැදගත්???හැක් නසරානි තමා) වගේ එකී මෙකි නොකී සියලු දේ කුරුටු ගාන්ට තමයි ඉතින් මේ හිතුවක්කාරී ආවේ බ්ලොග් ලෝකෙට.මේකි පොඩි එකා උනාට පොඩ්ඩක් විතර ඔව් අනේ පොඩ්ඩක් විතර හිතුවක්කාරයි.එකමයි දාගත්තේ හිතුවක්කාරී කියල නමකුත්.අනේ ඉතින් මගේ දෛවය ලියපු එකා මට කොලොප්පම මයි දාන්නේ..අැයි මේකිට මොකක් කරලද එකා?

බලන්නකෝ අප්පා අමාරුවෙන් ගලපාගෙන පොඩි එකී දාගත්ත හිතුවක්කාරී කියල නමක්.ඔන්න තව පරණ හිතුවක්කරියෙක් ඉන්නවලුනේ බ්ලොග් ලෝකේ...ආහ එහෙනං කොපි කරලා තමයි මෙකි...අයියෝ නෑ නෑ...මන් අහින්සකයෙක් වෙමි.කුරුටු ඇවිත් කියනකන්ම මන් ඒ වගක් දැනන් හිටියේ නෑ.බොහොම ස්තුති කුරුටු කරපු උදවුවට.කුරුටු ඕක කිවුව වෙලේ ඉදන් අහස පොලව ගැටගහල හොයාගත්ත යන්තන් නමක්...ඕව දැන ගත්ත ගමන් නම් වෙනස් කරන එක ඇගට ගුණදායකයිනේ.අනිත් යාලු හිතුවක්කාරී ඇවිත් යුද ප්‍රකාශ කලොත් එහෙම.මොකට තරහ කරගන්නවද අනේ කස්ටියව.ඔන්න ඉතින් දැන් නම් වෙනාස් කරන්න අවසරයි.

මෙතෙක් කල් බ්ලොගයේ හිතුවක්කාරී ලෙස සැරිසැරූ මේ පොඩි එකා අද සිට

"ගිම්මිගේ කොලම"

යන අවුල් සහගත යන නාමයෙන් හදුන්වනු ලැබේ.

හිනා උනාට කමක් නෑ.වෙන නමක් මතක් උනේම නෑ අනේ.හැක..හැක..පොඩි එකාටත් අමුතු ගති තියෙන නිසා ඔය නම හොදයි වගේ.
නම වෙනස් උනා කියල පොඩි එකී වෙනස් වෙන්නෑ...ලියන්නේ හිතුවක්කරකමටම තමයි.වැරදි ඇතොත් මේ පැත්තේ ඇවිත් පෙන්නලා දෙනවට මන් බොහොම මනාපයි.වැරදි නොකිව්වොත් පොඩි එකී හැදෙන්නෑ.මතකයිනේ....එහෙනං ඔන්න අයෙත් එන්නේ හිතුවක්කාරී නෙමෙයි ගිම්මි.

අසා,බලා,කියවා ගිය ඔබ සැමට ස්තුති.!!!!!!!!!



Monday, January 25, 2016

~නගරයේ අම්මා~



කොළඹ අහසේ උස බිල්ඩින් වලට උඩින්
හිරු පායන්න හෝරාවකට කලින්
අම්මේ කියන පුංචි දෝණි තුරුළු කරන්
නිවසේ පුංචි යුද්දය නුඹ පටන් අරන්

සුදු දෝණිව ලෑස්ති කර ඉක්මනිනේ
තාත්තගේ බත් පත දී කඩිමුඩියේ
බිළිඳු පුතුව තුරුලට ගෙන සනසමිනේ
සාරිය ඇඟ ඔතයි නුඹ දැන් හනිහනිකේ

අට පහ ඔෆිසියේ නිරතුරු වෙහෙසෙන්නේ
දෙතනේ එරෙන කිරි බිදු දෙස බලමින්නේ
ගෙදර නිදන පොඩි පුතු ළඟ සුරතලයේ
මනසින් නිතර පැටවුන් ළඟ ලතැවෙන්නේ

රාත්‍රියේ නුඹෙ රස අහරක් නොමැති හුඟක්
බඩ පුරවන්නේ වැඩි දා චයිනිස් කෑමක්
වෙරළු පලා දං බෝවිටි නොගේනාවත්
හවසට නුඹේ බෑගයේ ඇත චොකලට් පෙත්තක්

හේනේ කුඹුරේ අව්වේ වැඩ නොකලාට
ගෙදර ඔෆිසියේ නුඹ එක දවසකට
කරන යුද්දේ දැක්කේ මන් හැමදාම
නගරේ අම්මලා හොඳ නෑ කිව්වේ ඇයි සැවොම

කාසි හොයන්නේ නුඹ ගැන නොසිතාම
තාත්තට දෙන්නට ජීවන සහය
සුදු දෝණිට පොඩි පුතු හට සුව දෙන්න
වෙහෙසෙන නුඹයි අම්මේ මතු බුදුවන්නේ


Friday, January 22, 2016

තරු ඇස්

පහළ තේ වතු වලින් ආදරෙන් මගේ බැල්කනියට එන දඟකාර හුළන් රැළි වලට මන් හැමදාම වගේ අදත් මගේ මූණ ආදරයෙන් සිප ගන්න දුන්නේ ඒ හුළන් රැළි කවදාවත් මට වෙනස්කමක් කරන්නේ නෑ කියල මගේ හිත දන්න නිසාමයි. එත් මන් මේ බැල්කනියේ ඉදන් අෑතින් පායන ලස්සන පුංචි තරු ඇස් දෙකක් හෙවුවා.එ් තරු ඇස් මගේ පුංචි හිත හැමතිස්සෙම හරිම කලබලෙන් හෙවුවේ, ඒ ඇස් වල පුංචි වෙනසක් වත් උනොත්...මගේ හිත හැමවෙලේම සීරුවෙන්...ඒ තරු ඇස් මාත් එක්ක කතා කලේ නන් නෑ හුඟ වෙලාවට...හැබැයි ඒ ඇස් මාව හොයනවා හැමදාම ඉර පායපු අහස යට.....කලුවර අහසෙත් මන් ඉන්නවා කියල නොදැන වෙන්නැති....මගේ හිතට තරම් නන් ඒ ඇස් වලට කලබලයක් තිබුනෙම නෑ. ඒ තරු ඇස් වලට ඕන වෙලාවට මගේ ළඟටම එනවා එත් වෙලාවකට අයිමත් ඇත අහසටම පාවෙලා යනවා...

ම්ම්ම්...ඔව්....අදත් වෙනද වෙලාවටම මේ කලුවර වෙච්ච ලස්සන අහසයට...ඒ තරු ඇස් ආයිමත් පායලා....ටිකක් අෑතින් උනත් මගේ හුරු පුරුදු ඇස් පාරේ මන් ඒ බැල්කනියට එබෙනවා....පුරුදු වෙලාවටම ඇවිත් තරු ඇස් මුළු නුවර දිහාම නිවීහැනහිල්ලේ බලන් ඉන්නවා...හිතුවක්කාර මගේ හිතට වගේ කිසිම කලබලයක් නෑ ඒ ඇස් වලට...කොහොම ඉන්නවද ඔහොම...කලුවර වෙච්ච මේ අහස යට විතරයි හැමදාම මන් ඒ ඇස් මගේ හිතුමනාපෙට විදගත්තේ...ඉර පායපු අහසයට ඒ ඇස් දැක්කම මගේ හිත හරි කලබලයි...ඒ ඇයි...මන් දන්නේ නෑ....

"චුටි දෝනි මොකද්ද මේ සීතලේ බැල්කනියේ ඉදන් කරන්නේ එන්න ඇතුලට.."

"එනවා අම්මා..."

අම්මගේ ආදරේ පිරුන ඒ වචන මගේ ළඟ නතරවෙද්දී මන් අායෙමත්....ඔව්....අායෙමත් බැලුව ඒ තරු ඇස් දිහා...ඒ බැල්කනියේත් එළි නිවෙන කොට හෙමින්ම මාත් ඇස් පියාගත්තා...ඉර පායන අහස යට හෙට එන්න අයිමත්...

***********************

"කාවද හැමදාම බැල්කනියේ ඉදන් හොයන්නේ.."

වචන මගේ ළඟම ඇහෙද්දී මගේ කලබල ඇස් ඒ පැත්තට හැරුනේ හරි ඉක්මනට..තරු ඇස්..ඔව්...කතා කරන්නත් පුළුවන් ඒ තරු ඇස් වලට....ඉර පායපු අහස යට...

"ඔයාගේ ලොකු ඇස් කාවද හොයන්නේ හැමදාම...මට පේනවා කළුවරේ උනත් හොදට..."

"මන්...මන් කතා කරන තරු ඇස් දෙකක් හොයනවා...හැමදාම කළුවර අහස යට...එත් ඔයා....?"

"මන් මගේ පුංචි සුරංගනාවීව හොයනවා...එයා කිසිම කලබලයක් නැතුව අහසේ තටු ගහන්නේ කළුවර උනාම විතරයි..."

"ඒ අැයි...???"

"එළිය දෙන අහස යට එයා හරි කලබලයි...ඒ වෙලාවට මන් එයාව බලන්නේ හුඟක් අෑතින්.."

"කතා කරන්නේ නැද්ද එයා එක්ක...?මන් නං මගේ තරු ඇස් එක්ක හැමවෙලේම මගේ හිතින් කතා කරනවා..."

"නෑ... මන් එයාව මුළු හිතින්ම මගේ දවස පුරාම විදිනවා...රෑට එයා තටු ගහන්නේ හෙමිට... මන් අාස උනේ එහෙම එයාව බලන්න...එත් දැන්...."

"එත් දැන්......."

"පුංචි සුරංගනාවී කලබලෙන් එලිය දෙන අහසේ තටු ගැහුවට එයාගේ කවි බිචිය හිතට ලොකු වෙනසක්..."

"වෙනසක්....."

"ඔව්...කතා නොකර මන් විඳපු සුරන්ගනාවිට වඩා කිචි බිචි ගාන සුරන්ගනාවිට දැන් මගේ හිත ආසයි..."

"ම්ම්ම්...කොහෙද ඔයාගේ සුරන්ගනාවී ඉන්නේ...?"

"එයා ඉන්නේ කළුවර අහස යට...ඈත තියන බැල්කනියක..."

ඉතින් දොඩමලු වෙච්ච තරු ඇස් ගැන මගේ හිත කලබල උනේ නෑ අායෙමත් කවදාවත්...ඒ තරු ඇස් මේ පුංචි සුරන්ගනවිගේ නිසා...


Wednesday, January 20, 2016

SMS

"ළමයි අද මන් ගිය සතියේ ටෙස්ට් එකේ ලකුණු දැම්ම බලාගන්න පුළුවන්... ලොකු වෙනසක් වෙලා තියනව මේ පාර ලකුණු වල...තිබුනේ ලේසි පේපර් එකක්..... "

ළමයි 2000ක් විතර ඉන්න පන්තියේ සර් කියනකොට මගේ ඇස් දෙක සර් දිහා බලන්න බැරුව අසරණ උනා.මන් දන්නවා ඒ ඇයි කියල ඒත්....

"සියපත් පන්ති ඉවර වෙලා ඇවිත් මාව හම්බ වෙන්න...මට දැනගන්න ඕනේ තිබුන හැම ටෙස්ට් එකකම හිටපු පළවෙනිය කොහොමද පනස් වෙනියා වෙනකන් ගියේ කියල.."

සර් මගේ ළඟට ඇවිත් කතා කලත් මගේ ඇස සර් දිහා බලන්න බැරි තරම් බොඳ වෙලා තිබුනේ.

සියපත්....සියපත් සූරියබණ්ඩාර.තාත්ත නැති උන දවසේ ඉදන් මගේ, අක්කගේ හැම දේම හොයල බලල කලේ මගේ අම්මා.තාත්ත නිසා ලැබෙන පෙන්‍ෂන් එක, කලින් ගත්ත ණයත් ගෙවන ගමන් අපි කන්න බොන්න උගන්නන්න හැම දේටම වියදම මදි.අපේ අම්මා මහා පාන්දර ඇහැරගෙන කෑම හදල කඩ වලට දාල තමයි යන්තන් ජිවිතේ ගෙනිච්චේ.අක්ක කැම්පස් ගිය දවසේ අම්මගේ සතුට දැකපු මට හිතුනේ මාත් අනිවාර්‍යෙන්ම කැම්පස් යනවා කියල.හැබැයි කාලයක් යනකොට මගේ වගේම මගේ අම්මගේ අක්කගේ ගුරුවරුන්ගේ යාලුවන්ගේ හැමෝගෙම අාසව උනේ මන් රෑන්ක් එකක් ගන්න.අපේ සර් මාස තුනෙන් තුනට accounts වලට ටෙස්ට් තිබ්බා.වැඩිම ලකුණු ගන්න කෙනාට සර් ආයිමත් මාස තුනකින් ටෙස්ට් තියනකන් පන්ති ගාස්තු ගත්තේ නෑ.මේ තරම් කාලයක්ම මන් පන්ති ආවේ වැඩිම ලකුණු නිසා පන්ති ගාස්තු නොගත්ත එකට සර්ට පින් සිද්ද වෙන්න.ටෙස්ට් එකක් තියන සතියෙම මන් බැහැල වැඩ කරනවා,යාලුවෝ එක්ක කලින් කොච්චර වල බැස්සත් ඒ සතිය මන් උපරිමයෙන් වැඩ කරනවා.ඔය කාලෙට අපේ එවුන්ට ඉන්න එකම ගැලවුම්කාර දෙවියා මන්.එත් නොහිතපු කෙනෙක්..නොහිතපු විදියට මගේ පාර හරස් කරලා කියල මට හිතෙනවා.මන් මේ සතියම හිටියේ ගිණුම් එක්ක නෙමෙයි,නෙතුගේ සමස් අතරේ....ඔව් නෙතු...මන් ආදරේ කරන්න පටන් අරන් ද මේ තරම් ඉක්මනට...එතකොට මගේ ටාර්ගට් එක....හ්ම්ම්ම්...මතකයි සතියක් පරණ උන ඒ අතීතය.

"ටීක් ටීක් "

කවුද මේ මහා රෑ..විශේෂයෙන් කියල කෙනෙක් නැති එකේ ඕකත් නිකන් අපේ එකෙක් අාතල් එකට එවපු එකක් වෙන්නැති කීයල වැඩේ කරන්න ගත්තත් මොකක් හරි අවුලක් ද දන්නෑ නේ බලමුකෝ...

"හායි සියපත් ඔයා වැඩ ද"

කවුද මේ... මන් දන්නෙ නෑනේ මේ නම්බෙර් එක...වැඩක් නෑ..අපේ එකෙක් වෙන්නැති...

"ඔයාට රිප්ලයි කරන්න බැරි තරම් වැඩ ද?"

"පුදුම අහංකාර කමක්නේ"

එක පිට එක මස් එනවා මේ වැඩේ හරියන්න නෑ..

"ඔව් අහන්කාරයි තමයි,මොකද්ද දැන් වෙන්න ඕනේ"

"ඇති යන්තන්..."

"ඇයි මොකද?"

"ඔයා මව දන්නවද"

"මන් කොහොමද දන්නේ?"

"කියනව බලන්න"

"මම නෙතු ආකර්‍ෂා"

"ඉත්තින් මට මොකද"

මේ විදියට දිගටම ඇදිල ගිය SMS කෙරිල්ල නැවතුනේ පාන්දර 3ත් පහු වෙලා.ගිණුම් අතර අතරමන් වෙලා හිටපු මගේ ඇස දෙකට බර වැඩි වෙලා තිබුන නිදිමත අහලකවත් නෑ දැන් නන්..මොන උනත් කටකාර කෙල්ලෙක්,පාලු නෑ..
ඔව්ව්..හැමදාම...ඉතුරු දවස් තුන හතරම.... මේ නොදන්නා නෙතුගේ SMS අතර අතරමන් වෙලා ඔහේ ගලාගෙන ගියා.උදේ පටන් ගන්න SMS නවතින්නේ මහා පාන්දර.මොන කරන්නද අතාරින්නත් බෑ,බනින්නත් ලෝබයි....

"අඩෝ තෝ කොහෙද ඉන්නේ?මන් මසග්ගේ කියක් එව්වද "

"සිරා... මන් දැක්කේ නෑ බන්.මොකද්ද හදිස්සිය තොට "

ඇත්තටම මන් SMS දැක්කා... ඒත් නෙතුගේ සමස් බැලුව මිසක් මට අනිත් එකෙක්ගෙවත් SMS බලන්න උවමනාවක් තිබුනේ නෑ.

"හදිස්සිය දැන් ද අහන්නේ?හෙට ටෙස්ට් එක යකෝ...අර මගුල් කල් බද්ද මට තේරෙන්නෑ බන්..උදේ අපේ ගෙදර ඇවිත් යමන්කෝ පන්තියට "

දෙයියනේ හෙට නේද ටෙස්ට් එක මට මතක් උනේම නෑ නේ,නෙතු මව කොයි තරම් නන් පිස්සු වට්ටලද...ඇත්තටම මන් දැන් මේ කෙල්ලට ආදරේ කරනවද කොහෙද....

"මොකද ගස් ගෙම්බෝ සද්දයක් නැත්තේ? තෝ එනවද මන් එන්නද නැත්තන්?"

"අාහ් හරි බන් මන් එන්නන්."

මොනා උනත් මගේ ටර්ගේට් එක අමතක කරන්න බෑ.අද නං ගානක් හදන්න ඕනේ...මේ දවස් ටිකම අර පිස්සු කෙල්ල එක්ක කියෙව්ව මිසක් වැඩ මතක් උනාද?

"ටීක් ටීක්"

මේ පිස්සු කෙල්ල නං වැඩක් කරන්න දෙන්නෙම නෑ නේ.

"මේ ඔයා හැමදාම පන්තියේ 1ස්ට් ප්ලේස් නේද?"

"අහ්හ් ඔයා කොහොමද එක දන්නේ?"

"උවමනාව තියනවනං මොනාද හොයාගන්න බැරි?"

"පණ්ඩිත කෙල්ල"
ඔයා විදියට පටන් ගත්ත SMS නැවතුනේ පාන්දර 4ට විතර.

උදේම එනවා කිව්වට ආශානයගේ ගෙදර යනකොට 11ටත් ළඟයි.හොද සුද්ද සිංහල වචන ටිකක් අහගෙන ගියත් මන් හිටියේ නෙතුගේ ලෝකේ.
එදා හවස පන්තියේදී පේපෙර් එක ලිව්වේ කාලයක් ලියපු මතකෙට මිසක් අසාවෙන් වත් උවමනාවෙන් වත් නෙමෙයි.එත් එදා මන් හිතා ගත්ත කෙල්ලෙක් නිසා මගේ ටාර්ගට් එක අමතක කරන්න බෑ කියල.එත් නෙතුත් මට අදරේ කරනවා ඇති...මන් එයාට තේරුම් කරලා දෙනවා....

"මොකද යකෝ මේ පාර තොට උනේ?"

"බලහන් ඔච්චර පහළට ගියේ කොහොමද "

"අපි වල බැස්සේ එකට,අපි හැමෝටම වඩා මීටරේ උඹ,මොකද්ද මේ පාර උනේ?"

"අපේ සෙට් එකම පළවෙනි 20 ඇතුලේ ඉන්නව,උඹ කොහොමද 50 උනේ?"

අපේ එවුන් වට කරගෙන අහන ප්‍රශ්න වලින් මාව හෙම්බත් වෙලා හිටියත් මන් නෙතු ගැන කිසිදෙයක් කිව්වේ නෑ.

"මගේ ඔලුව රිදෙනවා බන්,මන් ගෙදර යනවා,සර්ට කියපන් මචන්"

"අඩෝ...මේ අහපන්...."

තවත් මොනාද මන්ද අපේ එවුන් කිව්වත් මන් ෆෝන් එකත් ඔෆ් කරන් ගෙදර ඇවිත් ඇඳට වැටුනා.

"පුතේ..නැගිටින්න දැන්...ඇඟ හෝදගෙන කන්න එන්න"

අම්මගේ ආදරේට මගේ ඇස වලට ආයිමත් කදුළු ආව..අයිමත් කවදාවත් මෙහෙම වෙන්න දෙන්නෑ අම්මේ මන්.....
ෆෝන් එක තාමත් ඔෆ් කරපු ගමන්...මන් ෆෝන් එක ඔන් කරලා අද උඩට විසික් කළේ තාම මගේ හිතේ නිදහසක් නැති නිසාමයි.

"ටීක් ටීක්"

හ්ම්ම් ආයිමත්..නෙතුද... නැත්තන් අපේ එකෙක්ද දන්නේ නෑ....

"නෙතු..."

"සියපත් මට සමාවෙන්න මන් නෙතු නෙමෙයි...ඔයාගේ පන්තියේ ගැණු ළමයෙක්.ඔයා හැමදාම පළවෙනිය ඉතින් අපේ යාලුවෝ සෙට් එක මට චැලේඤ් කලා ඔයාගේ ලකුණුයි ප්ලේස් එකයි වට්ටන්න කියල.එකයි මන් ඔයා එක්ක ගිය සතියෙම SMS කලේ,කෝල් කළේ...මන් දන්නවා ඔයා මට ආදරෙත් කරනවා ඇති සමහරවිට..එත් එපා...මන් නෙතු නෙමෙයි,අනික ළමයි 2000ක් විතර ඉන්න පන්තියේ මාව හොයන්නත් එපා.මන් ඔයාගේ මාස තුනක ෆීස් ගෙවුව.ඊලග ටෙස්ට් එකේ හිටපු ප්ලේස් එකට අයිමත් එන්න.Good Luck."

"මේ නෙතූ......???"


Tuesday, January 19, 2016

යාලුකමද....ආදරේද...

"උඹ මෙහෙම ඉදපන් හැමදාම මගේ ළඟ....."

"මං ඉන්වනෙ හැමදාම උඹේ ළඟ...නොදන්නවා නෙමෙයිනෙ උඹ..."

"හ්ම්ම්...මං උඹට ආදරෙයි..."

"මොනවා...නෑ උඹ ආදරේ මාෂිට ඒක දැං තීන්දු වෙලත් ඉවරයි...මට කලින් උඹට මාෂිව හම්බුනේ...වෙච්ච වැරැද්දට සමාව දියං...ආයි යන එකක් නෑ ඒකි...."

"ඒත් උඹ මහ අමුතු කෙල්ලෙක්...ඒකිට දැනෙනවට වඩා හොඳට,හරි ඉක්මනට උඹට මාව දැනෙනවා....ඒ තරම්ම...නෑ...නෑ...ඊටත් වඩා උඹව මට දැනෙනවා..."

"හ්ම්ම්....උඹ මගෙ යලුවා...එච්චරයි....අපි අපිව තේරුම් ගන්නවා...හැබැයි මං උඹේ වෙන්නෑ කවදාවත්...."

"උඹ මට ආදරෙයිද.......? "

"දන්නෙ නෑ...."

"උඹ ඒක හංගනවා....ඒත් උඹ හැමවෙලේම හොයන්නෙ මාව....මාෂිට කලින් උඹව හම්බුනානන් මට...... "

"ඔව් මං හොයන්නෙ උඹව...ඒ මාව හොඳටම දන්න කෙනා උඹ නිසා...පුස්තකාලෙ ළඟ ඉඳන් කොටුවට යනකන් උඹ මගේ කතා අහගෙන අව්වට කුඩෙත් ඉහළන් පාර දිගේ හිනා වෙවී යනවා....මගේ හිතේ පොඩි දුකක් හරි උඹට තේරෙනවා....උඹ කෝච්චියට යන්නෙ හැමදාම මාව බස් එකට නග්ගලා.... තව කියන්න නන් දේවල් කොච්චරක්ද.....?ඉතින් උඹ තරම් මට ළඟ තව කෙනෙක් නෑ...."

"උඹේ කඳුලු මට බලන්න බෑ....ගිරවියෙක් වගේ උඹ කියවනවා,මං ආසයි උඹේ ඉවරයක් නැති කච කචේට..."

"උඹ මට අඬන්න දුන්නෑ කවදාවත්....වැරදි හිතකින් උඹ මගෙ දිහා බැලුවෙත් නෑ...උඹ මාව බලාගන්නෙ තාත්තෙක් වගේ..."

"හ්ම්ම්...මං නන් උඹට දෙන්නෙම වද...මාෂිගෙ ඉලව්වකට සැර වතුර බීලා බීලා හැමදාම කතා කරාම මුකුත් නොකියා රෑ එළි වෙනකන් හරි උඹ මං කියන ඒවා අහන් ඉන්නවා....උඹ ඇරෙන්න මගෙ හිත හදන්න පුලුවන් එකෙක් නෑ බං...."

"හ්ම්ම්...ඒත් උඹ මට ආදරේ කරන්නෙපා...."

"ඇයි....?උඹම හිතපන්... යාලුවා කියලා උඹයි උඹේ හිත රවට්ටන් ඉන්නෙ...."

"එතකොට මේ යාලුකමද....?නැත්තන් ආදරේද... ?උඹ තව හිතලා බලපන්..."

"මං දන්නෑ....කියපන් උඹ දන්වද මේ මොකද්ද කියලා...."



Monday, January 18, 2016

දවස් තුනක්...


සෙමෙස්ටරේ අන්තිමටම
විභාගෙ සැර වැඩි උනාම
උදේම good morning කියලා
දවසම කුප්පියක ඉඳන්
හවසට අර රගර් බෝලෙ
උස්සන් ප්‍රැක්ටිස් දුවල
හතට අටට රෑට කාල
බෝඩිමටම දුවන් අැවිත්
හදිස්සියෙන් කෝල් කරල
"පැටියෝ ඔයා ගෙදරද" අහලා
දවසේ විස්තරය කියන
යන්තන් අහු වුන වෙලාවේ
හිතුවක්කාරිගේ වල් පල්
රෑනක් අහගෙන හෙමීට
ආදරයෙන් කතා කරලා
බොරුවට තව සැරත් කරලා
පැය බාගයකට වැඩියෙන්
පැයකට අඩුවෙන් ඉඳලා
"තව ටික දවසයිනෙ බබෝ"
හෙමින් කියලා ආයේමත්
කුප්පියටම සෙට් වෙන මගෙ
කලබල හිතුවක්කාරයගේ
විභාග බිය දුරු වෙනකන්
බලන් ඉන්නෙ පාලුවෙන්ම
වෙනදා වගේ කියවන්නට
අත් අල්ලන් ඇවිදින්නට
මගේ පිස්සු කතා අහන්
මහා හයියෙන් හිනාවෙන්න
එහෙම්ම තව දවස් තුනක්
ඉන්න වෙනවා ආයෙමත්


Thursday, January 14, 2016

මල් සහ මයිනා

සෑහෙන්න කාලෙකට පස්සේ ආයිත් අපේ ඉස්කෝලේ කලේ වෙච්ච ඒකට ලස්සනයි කියන්නත් බෑ.... මොකද මේ සීන් කොන් එක වෙනකොට නං අපි හොඳටම බය වෙලා හිටියේ.මේකේ ඉතින් මල් සහ මයිනා කියල කිවුවට, ඇත්තටම මේකේ කුරුල්ලෝයි, මලුයි නෑ.මේකේ ඉන්නේ මගේ අතිජාත සුජාත මිත්තරියෝ දෙන්නෙක්.අනේ ඉතින් මොකට කියන්නද මගේ ජාතියම සමයන් තමයි හැමෝම.

මේ සීන් කෝන් එක වෙනකොට අපි 11 වසරේ හිටියේ,අනේ අර සා/පෙ නිසා හැම වෙලාවේම මිස්ල බලන්නේ පන්තියට කඩාපත් වෙන්න, වෙන කගේ හරි පිරියඩ් එකක් හරි කමක්නෑ.මන් මේ කියන දවසේ නං උදේම තිබුන පිරියඩ් දෙකම ෆ්‍රී.සෑහෙන්න කාලෙකින්නෙ ඕවගේ වාසනාවක් පල දෙන්නේ...කට්ටිය ඉතින් සතුටේ කිමිදිලා.ඕවගේ වෙලාවට ඉතින් කරන කියන දේවල් උගන්නන්න ඕනේ නෑ නේ.කට්ටියක් සංගීත පන්තිය පටං අරන්,තව කට්ටියක් ඊයේ දවසේ විස්තර,අනිත් අය රෝයිටර් සේවය...අපිත් ඉතින් හොඳ කෝප්පයක් හෝද හෝද ඉන්නකොට මලයි මයිනායි වෙනම කතාවක හිටියේ,කතාව මොකද්ද කියලා නං දැන් මතක නෑ ඉතින්.ඔන්න දෙන්නගේ කතාව ඉහළම ස්වරයට අැවිත්... දැන් අපි බලන් ඉන්නව මොකද මේ පැණි වරකා ගහට හෙන ගහල තියෙන්නේ කියලා...හාහ්හ් විනාසයි මලා ටැප් එක අැරගෙන දිවුවා පන්තියෙන් එළියට.ටිකක් වෙලා බලන් හිටපු මයිනා කියපි,
"ඔය ගියාට ආයි ඕකි එයි බන්,කොහෙ කියල යන්නද?"
අාහ් ඉතින් එහෙනන් අවුල්ක් නෑනෙ ආයි සෙට් උනා කස්ටිය තම තමන්ගේ කතා වලට.

අපේ පන්තියේ වම් පැත්තට ඩෙස් 5යි දකුණට 3යි ගානේ තමයි දාල තිබුනේ.දලා තිබුන කියන්නේ ඕක ඉතින් අපිම දාගත්ත එකක්.අපේ පේලිය හිටියේ මන් තුමී,හන්සි,සචි,මලා,සහ මයිනා... මෙන්න ටිකකින් මයිනා කියනවා

"ඒ මේ මලා තාම අාවේ නෑනේ හලෝ මොකද කරන්නේ"

ඔන්න එතකොටයි අපිට මතක් උනේ වෙලාව...මලා නෙන්නන් දෙවැනි පීරියඩ් එකත් ඉවර වෙන්න ළඟයි.ඊළඟට මැත්ස්...

"මේ අපි බලමුද හලෝ ගිහින් බයයිනේ,කොහෙට හරි වෙලා අඬනවද දන්නෑ නේ."

"මේ ඉක්මනට යන එහෙනන් අපිට ටයි නැති එකේ මේකි බෙල්ට් එකෙන් වත් බෙල්ලේ වැල දාගෙන ද දන්නෑනේ "

කවුරු උනත් ඒ කියපු කතාවට අපිට හීන් දාඩිය දැම්මා.මොකද ඔය කාලේ අර අපේ ළඟ පාත ඉස්කෝලෙක දැරිවියක් ටයි පටියෙන් බෙල්ලේ වැල ගෙන තිබුනනේ.අපේ ගවුමේ ඉතින් ටයි නෑ බෙල්ට් එක විතරනේ.කියන්න බෑ නේ ඒත් කාලේ හැටියට.

දැන් නං කට්ටිය මුළු ඉස්කෝලේ පුරාම දුවනවා නිකන් භූමිතෙල් ගෑවිච්ච ගැරඬි වගේ.වොෂ් රූම්,ජිම් එක,ස්පෝර්ට්ස් රූම්,ලැබ් එකී මෙකි නොකී හැම තැනම හෙවුවත් ම්හ්ම් මේකි අා ගිය අතක් නෑ,ඔය අස්සේ ලයිබ්‍රි එකට දිවුවා ජඩේ.. එකේවත් ඉන්නවද දන්නෑනේ,අනේ ඉතින් එකෙත් නෑලු..... අපේ බලාපොරොත්තු සුනු විසුනු කරගෙ ජඩේ කියනව "බයෝ කරන අක්කල වගයක් නං හිටිය අනේ එච්චරයි."

අන්තිමට අපි ඉස්කෝලේ තිබුන ඩස්බින් වලත් හෙවුවා,කියන්න බෑ නේ ඕක ඇතුලට හරි බැහැල හිටියොත් එහෙම....ටීචර්ස්ලගේ ක්වාර්ටස් පැත්තෙත් රවුමක් දාල බැලුවා ම්හ්ම් නෑ නේ මේකි... වාෂ්ප වෙලාද?කරන්නම දෙයක් නෑ අපි අපේ සයන්ස් මිස්ට විස්තරේ වාර්තා කරලා ආයිත් එකා දෙන්නා ගානේ ගියා පන්තියට.... මලා අාවම හොඳට සලකන්න බලාගෙන ආයි ඔහොම නොකරන්න.....ගහෙන් වැටුන මිනිහට දේවාලෙත් කඩා පාත් වෙනවා වගේ පන්තියේ මැත්ස් මිස්.....
අම්මෝ.... කටේ සද්දේ සෑහෙන්න දුරට විහිදිලා යන හරිම මිහිරි වොයිස් එකක් අප්පා එයාට තියෙන්නෙ,දැන් ඉතින් දීපන්කො උත්තර....

"කොහෙද ළමයි ඕගලන් ගිහින් එන්නේ සැරින් සැරේ....,ඇයි විභහගෙට තව අවුරුදු කියක් තියනව කියලද හිතන් ඉන්නේ "

"එන්නෑ පන්තිය ඇතුළට කියනව කොහෙද ගියේ?"

"මිස් මේ... මේ.. වොෂ් රූම් ගියා"

"දැන් අාපු ඔක්කොම වොෂ් රූම් ඉදන් අාවේ මේ පන්තියේ ළමයින්ට දියවැඩියාවද?"

අනේ ඉතින් මිස් ඔයාට අපිට කියන්න පුළුවන් කතාවක් නෙමෙයිනෙ මේක...

"එනව එනවා ඇතුළට"

ඇති යන්තන්.... ඇත්තනෙ යකු ඉතින් පීරියඩ් එකක් ඉවරවෙනකන් වොශ් රූම් ඉන්න රටක් තියනවද?
තව ඉන්ටෙවෙල් එකටත් විනාඩි 15ක් වගේ.... තාමත් නෑනෙ මේකි.මැත්ස් නං මෙලෝ දෙයක් තේරෙන්නෑ පාවෙනවා ඉලක්කන්....ලස්සන....

"අාහ් ඔන්න එනව තව එක්කෙනෙක්,ඔයත් වොෂ් රූම් එකේ ඉදන් එන ගමන් වෙන්නැති"

ඒ කාටද දෙයියනේ මේ කෑගහන්නේ,හාහ් මේ අැවිත් තියෙන්නෙ.... ඕකිට නං කෑගහන්න නෙමෙයි තියෙන්නෙ..අපු දෙන්කො.... මෙත්නටනේ එන්නේ වාඩිවෙන්න.....හරි අහිංසක විදියට එන හැටි විතරක්...එනවකො.... මිස් යනකන් ඉන්නව ටිකක්.....මලා අැවිත් වාඩි උනා විතරයි එහෙන් මෙහෙන් වටේ ඉන්න එවුන් කසු කුසු ගගා බනිනවා.පිටිපස්සේ එවුන් කකුලෙන් ප්‍රහාර දියත් කරලා දැන්මම.

"ඒ පාර ආයිත් සද්දේ ඇයි එයා මේ පන්තියේ නෙමෙයිද, ඔහම බලන්නේ"

ආයි මිස්ගේ ටින් ටින් වොයිස් එක ඇහෙනවා,මිස්ට කියන්නද ඉතින් මු මෙච්චර වෙලා ආගිය අතක් නැතුව හිටිය,මුව හොයන්න අපි පිස්සු හැදිලා වගේ දිවුව කියල.

දෙයියනේ කියලා මිස් ගියා....හරි දැන් තමයි වෙලාව මයිනා හැරුන මලාගේ පැත්තට,

"කියනවා මොන ලෝකෙද ගිහින් හිටියේ,අපි ඉස්කෝලේ පුරාම ගියා කොහෙද යකු හිටියේ"

මෙන්න මෙකි හිනා වෙනවා... හරියන්නෑ... පන්තියෙන් බාගයක් දන් වැඩේට සෙට් වෙලා."කියනව" ඔන්න ඉතින් කට්ටියගේ සද්දේ ආයි වැඩි වෙනවා.

"මන් ලයිබ්‍රි එකේ හිටියේ."

"මොකක් මන් ගියානේ ලයිබ්‍රියට,ඇත්ත කියනවා කොහෙද ගියේ"

දැන් නං මලා බය වෙලා සැහෙන්න "නෑ මන් ඇත්ත කියන්නේ,මන් ලොකු බයෝ පොතක් පෙරලගෙන අර ලයිබ්‍රි එකේ අන්තිමටම තියන ඇතුලේ මෙසේ වාඩි වෙලා හිටියෙ,හැබැයි පොතෙන් මුණ වහගෙන හිටියේ"

"අාහ් ඇත්තද......."

මයිනගෙන් පටන් අරන් ඔක්කම ටික ඉතින් අපේ මලාට සෑහෙන්න හොදට සැලකුව....ඔව්ව්ව්...බොරු නෙමෙයි ඩෙස් එක අස්සට යනකන්ම සැළකුව...අන්න එහෙමයි කරන්න ඕනේ...
මෙන්න මේකි යන්තන් ඔලුව උස්සල ආයිත් අපෙන් අහනව

"ඕගලන් බය උනාද මන් නැතුව?හානේ... හැමතනම හෙවුවද මාව හරි ෂෝයිනෙ,මරු...මන් ආයිත් හැන්ගෙනවා..... "



Wednesday, January 13, 2016

නුඹ....



ලියන්නට අවැසි
දාහක් දේ අතර
කියන්නට අවැසි
වදන් ගොන්නක් අතර
සිතන්නට ඇවැසි
නේක හැඟුමන් අතර
තවම මං ලොවට
නොකී නොලියූ
මගේ හැඟුමන් සොයන
සොඳුරු සිත් කවිය නුඹ....




Monday, January 11, 2016

"විඳිනවද? විදවනවද?"

විඳින්න තියන ජිවිතේ විදවන්නේ නැතුව ගෙවාගන්න අපි හැමෝම හුඟක් උත්සහ කරනවා.හැබැයි ඔය විදවනවා කියන තැන ඇතුළේ ජිවිතේ විදින්න පුළුවන් පුංචි පුංචි ලස්සන ලස්සන දේවල් කොයි තරම් තියනවද?හැබැයි අපේ තියන කරුමෙට ඒවා කිසි දෙයක් පේන්නේ නෑ.ඇත්තටම අපි ඒවා පෙනුනත් ගණන් ගන්න කැමති නැතිකම තමයි තියෙන්නේ.එහෙමයි කියල හමදේම කරුමෙට බාරදීලා අපි බුම්මගෙන පැත්තකට වෙලා ඉන්න එකේ තේරුමක් තියනවද?

ජිවිතේ එකම තැන විදවන්න ගියොත් තමන්ට තමන්වත් එපා වෙන්වා දවසක.ඔයා හැමදාම මුණ එල්ලගෙන අනිත් අයට ඔයාගේ දුක කියා කියා ඉන්න ගියොත් ඔයාව දකින අනිත් අයටත් ඒගොලන්ගේ ජිවිත තෝන්තු වෙනවා.ඔයා හැම දේටම මුණ එල්ලගෙන මේ ජිවිතේ ප්‍රශ්න විතරයි කියල අඬ අඬ ඉන්න ගියොත් වටේ ඉන්න අය දවසක් දෙකක් ඔයාව සනසවයි,හැබැයි ඒගොලන් හැමදාම ඔය ළඟ ඉන්නේ නන් නෑ.මොකද දන්නවද හැමෝටම ප්‍රශ්න තියන කාලෙක ඔය ඔයාගේ ප්‍රශ්නත් කියා කියා අඬන්න ගියොත් ඔයාව නිකන්ම ඒ අයට එපා වෙනවා.එහෙම හැමදාම ඔයා අඬනවා බලන්න කැමති කෙනෙක් ඉන්නවනං ඒ ඔයාට ඇත්තටම හිතවත් කෙනෙක් නං නෙමෙයි එක මතක තියාගන්න.

හිතුවක්කරිටත් කොච්චර මොන ප්‍රශ්නයක් තිබුනත් හුඟක් වෙලාවට ඒවා කාටවත් පේන්නේ නෑ.අනේ ඉතින් දකින මිනිස්සු හිතන්නේ එයාට මොන ප්‍රශ්නද කියල.ඔයාගේ ඔලුවේ ප්‍රශ්න කෝටියක් තිබුනත් ඒවා අනිත් අය එක්ක කියා කියා අඬනවට වඩා ඒ වෙලාවට ඉන්න කෙනෙක් එක්ක කතා කරලා හිනා වෙලා ඉන්න.කතා කරන්නම බැරි නං අඩුම තරමේ කියන දේකට හිනාවත් වෙන්න.අන්න ඒ වෙලාවට ඔයාගේ ළඟට අැවිත් කවුරුහරි ඇහුවොත් ඔයා අද අවුලකින් නේද ඉන්නේ හිනා වෙලා හිටියට කියල,අන්න එයා එක්ක ඔයාගේ ප්‍රශ්නේ බෙදාගන්න, මොකද එයා ඇත්තටම ඔයාව තේරුම් ගන්න පුළුවන් කෙනෙක්.ඔයා ගේ හිනාවට යටින් තියන කඳුලු එයාට පේනවා.හැබැයි එහෙමයි කියලා හැමෝම එක්ක ඕව කියන්නත් යන්න එපා,මොකද ඔයා වටේ ඉන්න අයගේ හැටි දන්නේ ඔයානේ.

ඔයාට හිනා වෙන්න පුලුවන්නන් ප්‍රශ්න තියෙද්දීත් ඔයාට ටිකෙන් ටික ප්‍රශ්න අමතක වෙනවා වගේම කාලය ඔයාට නොදැනෙන්න ඒවාට උත්තරත් හොයල දෙනවා.හැමදාම ප්‍රශ්න ප්‍රශ්න අරක නෑ, මේක නෑ,අරයා ගිය ,එයා කතා කරන්නේ නෑ ඕව මේවා කියා කියා විදවන්නේ නැතුව තියන දේවල් එක්ක ඉන්න අය එක්ක ජිවිතේ විදින්න.

හැමදාම හැමෝම කියනවා, හැබැයි ඉක්මනට අමතක කරනවා අපි ජිවිතේ විදින්න ඕනේ කියන එක.අලුත් අවුරුද්දක් පටන් ගත්තා...ඉතින් අලුත් විදියට හිතන්න.ජිවිතේ විඳින්න... තමන්ට පුංචි පුංචි අාබාධ තියන අයත් ලස්සනට ජිවිතේ විඳිනවා.හැමදේම තිබිලත් ඇයි අපි ජිවිතේ විදවන්නේ.වෙනස් වෙන්න ඕනේ තමන් තමන්ට කැමති විදියට මිසක් අනුන්ට ඕන විදියට නෙමෙයි.මේක තමන්ගේ ජිවිතේ මිසක් අනිත් අයගේ නෙමෙයි.



Friday, January 8, 2016

අවසරයි එහෙනන්...

පුංචි එකෙක් ඉස් ඉස්සෙල්ලාම ඉස්කෝලෙට භාර දුන්න දවසෙ හොරෙන් බල බල පන්තියට යනවා වගේ ඔන්න හිතුවක්කාරි මේ බ්ලොග් ලෝකෙට අඩිය තිබ්බ විතරයි.බස්සි,නුවර කුමාරි,අටම්පහුර වගේ ලොකු අක්කලා අයියලගෙ බ්ලොග් කියවලා මගේ පරණ උණ උත්සන්න වෙලා ඔන්න හැදුවා මේ බ්ලොග් කොටේ....අඩව්ව බයි රස්තියාදුකාරයට ස්තූති වේවා සියලු උදව් වලට.තාම ඉතින් පොඩි එකා නිසා ලොකු අයියල අක්කලා නැන්දලා මාමාලා හිතුවක්කාරිගෙ වැරදි ඇතොත් පෙන්නලා ගලක් වුනත් මලක් වුනත් කමක්නෑ එවන්න මේ පැත්තට. ඒවගේම තමයි හිතුවක්කාරිගෙ හිතුවක්කාර අදහස් වලට කාගෙ හරි හිතක් පෑරුනොත්නන් ඉතින් සමාවෙන්න ඕන...ස්තූතයි කියලා, සමාව අරන් දැන් ඕං ඉතින් දෙයියනේ කියලා හිතුවක්කාරිගෙ හිතුවක්කාරකම් වලට අවසර....



හිතුවක්කාරි



එක තැනක
එක මොහොතක්
නැවතිල්ලෙ
ඉන්නෙ නැති
හතර අත දුවන
අඬන කදුලටත්
ඔච්චම් කරන
කලින්ම
මං විඳින
හැමදේම
පස්සෙ තනියම
උඹ විදවන
සීමා රහිත
පුංචි හිතුවක්කාරි
මගේ හිත....