Thursday, June 22, 2017

නුඹ මගේ ප්‍රේමයයි

සංසුන්ව ඈත සඳ දෙස බලාගෙන හිතන්න තියන හුඟක් දේවල් අතරින් මට නුඹ ගැනම හිතන්න මගේ හිත බලකරනවා.ජීවිතේ විඳපු සොඳුරුතම හැඟීම නුඹ වෙද්දි වරෙක මගෙ ජීවිතය එපාම කරපු හැඟීම වෙන්නෙත් නුඹම විතරයි.දවසකට මගේ ජීවිතය ඉහළින්ම තියන්න උදව් කරපු නුඹ දවසක මට දරාගන්න බැරි තරමටම වේදානාවන්,රිදවීම් ගෙනත් දුන්නා.ඒ හැමදේම අැතුලතින් නුඹ ලොකුම ලොකු කතාවක් මට කියල දුන්නා වැටුනත් නැගිටින්න මගේ හිත ශක්තිමත් කියල.

දවසක මට නුඹව සුන්දර පින්තාරුවක් දිහා බලද්දි දැනෙන හැඟීම් රෑනක් එක්ක විදින විට, තවත් දවසක කන් අඩි පුපුරන තරම් සද්දෙන් එන අකුණක් තරම්ම මගේ හිත බය කරන්න නුඹට පුලුවන් වුනා.මම හැමදාම හිතුවෙ මගෙ හැඟීම් සියල්ලම එකින් එක කියන්න පුලුවන් කෙනෙකු ඉන්නව නන්,ඒව දන්න හඳුනන කෙනෙකු ඉන්නවනන් ඒ නුඹම විතරක්ම බව.ඇත්තටම මම නුඹට ආදරය කරනව,ඒ ආදරේදි මම නුඹව උදේම හීනියට ඇවිත් අපේ වටේ එතෙන සිසිලස වගෙ විදිනව.මල් පෙති උඩ තියෙන පුංචි පිණි බිංදුවක් වගෙ ආදර දෑසින් විදගන්නව.

මට හිතෙනව නුඹ සත්තකින්ම වැස්සක් වගෙයි.වැස්සෙ තියන ඇගම හිරිවට්ටන සීතලත් එක්ක තියන සොඳුරු හැඟීම වගෙම අකුණු ගහද්දි ඇහෙන කන් පුපුරන සද්දෙත් එක්ක දැනෙන භයංකර බවත් මම නුඹෙන් දකිනව.ඒ හැමදේම මම නුඹ ළඟදි විදිනව.
ඒත් තවත් වෙලාවකට නුඹ සිහින් ස්වර තියන ගීතයක් තරමටම මගේ හිත භාවනාවකට ගෙනියනවා.ඒ හැමදේටම වඩා මම හරි මෙහෙම කිව්වොත් නුඹ ගැන....."නුඹ නේක පැහැ මල් පිරුණු මල් කළඹක් තරමටම පාට පාට හැඟීම් රෑනක් එකතු වුනු කළඹක්".

ඉතින් මම අද ඉදන් නුඹේ නම වෙනස් කරනව.හැමෝම කියන නම කියන්න මගේ හිත කැමති නෑ.ඒ ඇයි දන්නවද මගේ ජීවිතය ජීවත් කරන්න ඇත්තටම වැඩිම සුව පහසුවක් ළං කරන්නෙ ආදරණීය නුඹ නිසා.

"නිහඬබව"ඉදින් සත්තකින්ම නිහඬ නොවු නුඹට ප්‍රේම කරන්නියක්ව සිටිමි දැන් මගේ සිත.

ඇගේ දිනපොත.
22/07/2017

Wednesday, April 5, 2017

නුඹ මගේ නම්...

මගේ මිතුරියක් වෙනුවෙන්ම මා ඇගේ සිතැඟි අමුණා තබමි.

මගේ සිත දරාගත නොහැකි තරමටම රිදුම් දී හමාරය.ඉදිරියටත් එසේ රිදුම් දේවි.අතීතය තරම්ම වර්තාමානයත් මගේ සිත ඉඳිකටු තුඩු දහස් ගනනකින් සූරනවාය.ඒ මගේ මතකයයි.වෙන කිසිවක්වම නොව මගේ ආදර මතකයයි.

අතීතය තුළ රැදුණු මතකය ඒ ආදරය තවමත් මගේ හිත හොයනව.ඉල්ලනවා.ඒත් ඒ හදවතට මට දැනුදු එක අංශු වක තරම් අයිතියක් නොමැත.ඒ අයිතිය සුළඟේ ගසා ගෙන ගොස් අදට හරියටම අවුරුදු තුනාහමාරකි.මේ හදවත තවත් එකම වතාවකට හෝ නුඹ එතැයි මග බලනවාය.දන්නවද නුඹ එක් වරක් මගේ ජීවිතයට ආවොතින් මන් කොයිතරම් දේවල් කියයි කරයිද කියල....නෑ නුඹට හිතාගන්නවත් බැරිවේවි මගේ මේ පිස්සුවක් වුන ආදරයේ තරම.

දැනිල තියනවද නුඹට ජීවිතේ එක් වරක් හරි තමන්ගෙ ආදරේ නැතුව දහස් ගානක් මිනිස්සු අතරම අතරමන් වුනු හැඟීමක්.මන් ඒ හැඟීම ජීවිතය තුළ අඩුවක් නැතුවම විදිනව.නුඹට කියන්න නුඹෙන් අහන්න සීයක් දේ මගේ හිත තුළම තියාගෙන නුඹ නැතුවම මන් තනියම ලෝකෙත් එක්ක හිනාවෙනව.ආදරේ කියන්නෙ මොකද්ද මන් අදටත් හොයනව.ඒත් හිමිවීම ආදරේ කියන්න මන් උත්සහ කරන්නෙ නෑ කවදාවත්ම.මොකද මන් ආදරේ කරන්නෙ තාමත් අහිමි හදවතකට.

හුඟක් අය තමන්ගෙ ආදරේ පේන දුරින් ඉන්නවට,ඒ හුස්ම වල දැවටෙමින් ඉන්නයි ආස කරන්නෙ.එදා නිතරම අපි කියෙව්වට පැය ගණන් එත් අද මන් එක ඇමතුමක් අරන් නුඹේ හුස්ම අහන් ඉදල හිත හදාගත්ත වාර අනන්තයි.නුඹයි මමයි අත් දෙක අල්ලගෙන ගිය පාරවල් දිහා බලාගෙන අපේ ආදරේ මතක් කර කර අඬපු වාර නුඹට නම් හිතා ගන්නවත් බැරිවේවි.සුදු ගවුමට එදා හැඩ වුනු මගේ රුව නුඹට අද ඒ තරම්ම හැඩ නොවුනට නුඹව තාමත් එදා තරමටම මට විදින්න පුලුවන්.හැමදාම ඔය ඇස් එක්ක ගෙවුන අතීතයේ සුවඳ එක දැන්  දවසක් මට නුඹව ඈතින් දැකලා විදගන්න පුලුවන් තරමටම මගේ හිත මට කීකරු වෙලා.ඒත් මගේ ඇස් ඉවරයක් නැතුවම තාමත් අඩවන්න ඉස්සරම වගෙ තාමත් ඔයාට පුලුවන්.

නුඹේ ආදරේ අස්සෙ මන් අතරමන් වෙලාද බලෙන්ම අතරමන් වුනාද කියන්න මට වත් නොතේරෙන දෙයක්.දැනෙනව විටෙක මටත් ආදරයක් ඕනෙමයි නුඹ එන්නෙ නෑ කියල.ඒත් මගේ ඇස් හොයන්නෙ නුඹ වගේ රුවක්,හිත හොයන්නෙ නුඹේ ආදරේ.මන් හුගක්ම උත්සාහ කලා නුඹ වගෙම තවත් හිතක් ලංකරගෙන ආදරේ විදින්න ඒත් මට බැරි වුනේ තාමත් ඔයා මගෙ හිත ඇතුලෙන් තාමන් හෙමිහිට අඩි තියන් ඇවිදින නිසාමයි.මට ආදරේ ලැබෙද්දිත් ඒ හැමදේම මගහැරගෙන මන් ඔයාව අවුරුදු තුනාහමාරක් තිස්සෙ හොයනව.නුඹට හිතාගන්නවත් බැරව ඇති මන් ඒ තරම්ම නුඹට ආදරේ ඇයි කියන්න.ඒක මටත් තවමත් උත්තර නොමැති ප්‍රශ්නයක්.මේ තරම්ම මන් ආදරේ ඒ අහිමි නුඹේ හදවතට.

මට ජීවිතේ සහයක් ලබාගන්නම ඇවැසි වුනත් මන් එවැනි බැඳීමකට යටත් වේවි.නුඹ එදාට සමහරවිට සිනාසෙයි.සමහරවිට නුඹ හඬාවි මන් තරමටම කඳුළු නාවත් හිතින් විතරක්ම හරි.ඒත් එදාටත් නුඹ තේරුම් නොගනීවි මගේ සිතේ නුඹ සිටින තැනට කිසිවෙකුට ළං විය නොහැකි බව.ජීවිතය දිගු නිසාම නුඹට අයිතිවාසිකමක් තිබු බව පමණක්ම සිතට තරවටු කොට සිහිකරවමි.නමුදු  නුඹ මගේ හද තුළ ජීවිතය පවතින තුරාවට සක්මන් කරන වග,නුඹේ ආදරය යදින වග කවදාම හෝ තේරුම් යාවි යැයි සිතමි.

Tuesday, February 14, 2017

වැලන්ටයින්...

ලුමිනස් රතු පාට
දිලිසෙන්න තරු කුඩු ඉහපු
සියදහස් හදවත්
.
තදම තද රතුපාට
කොළම කොළ නටු දිගැටි
පොකුරු මල් රෝස
.
ඉල්ලා ගත් දිනක් අපි
අනුන්ගෙන් අයිතිය කියන්
රතුම රතු හදවත් මතට
වෙන්දේසි දමනා වෙළෙන්දන්
.
අයිතිය කියන්නට හැකි
පණ ගැහෙන රතු හදවතක්
ඇති අය හෙමින්
සමරන සුපැතුමකින්වත්
.
තවම හමු නොවුනවුන්
අයිති රතු හදවතක්
දෙස් තියන දවසම
බොරු වැඩක් පිස්සුවක්
.
කොණකටවී මදහසක්
මේ දෙසට නංවන්
රතුම රතු මල් පෙත්තක
බලාහිදි නිහඬව
.
.
වැලන්ටයින්.

Thursday, February 9, 2017

හිසේ ඇම්ම


පෙම්වත් පිරිමි උරතලය මත
හිස ඇලව තියාගෙන
සිහින් දිගු ඇඟිලි තුඩු
ඇවිද යන සද ලතාවට
මුදාහැරි වරලස මතින්....

සීතලම සීතලට ගැහෙන
මල් පෙති ලවන් යුග
උණුසුම්වු අඬසඳ මතට
නිමේෂයකදි වඩින
ගමන මේ හෙමි හෙමින්....

තාලයට හීනියට හෙමිහිට
ඇසෙන නෑසෙන තරම්
සවන් පත ළඟ ළඟම
ඇහිදිනා ඇලපිලි අකුරු
මුමුණනා බරවූ ආදර වදන්...

හරියටම මොහොතකට පෙර
හීනියට ඇස් බරවු
අඬන නාඬන හඬින් කිවු
ආසාද්‍යම තත්වයෙන් වුන්
ඇගේ හොර හිසේ ඇම්ම
නිට්ටාවටම සුවයි දැන්....

#ගිම්මි#

Thursday, January 26, 2017

ලුහුබැඳීමි...

"සුමිත් මහත්තයා හැප්පිලා..එතනමලු...කෑලි කෑලි කියන්නෙ..."

"ඔය අර කෙල්ලට කරපු අපරාදෙ තමා පල දෙන්නෙ..."

"රබර් වත්ත ඉස්සරහමලු..."

තැනින් තැන ඇසෙන කතා අතරින් මන් හෙමි හෙමින් ඉදිරියට ගියෙ ඇත්තටම මට මේ තිරිසන් මිනිසාගෙ මුහුණ බැලීමට ඇති වුවමනාවකට නොව තවමත් ඔහු තුළ එකදු හුස්ම බිදුවක්වත් ඇත්දැයි සැක හැර දැනගැනීමටය.
ඒ මූසල රාත්‍රිය තුළ ඔහු කළ තිරිසන් ක්‍රියාවට නිසි දඬුවම් මගෙන් ලැබුනාදැයි තහවුරු කරගත් මගෙ ඉබාගාතේ සැරිසරන මනස අමතක කළ නොහැකි ඒ මුස්පේන්තු දිනයට ඇදීයන්නට විය.

"අනේ ලොකු මහත්තයා මන් දරුවෙක් ලැබෙන්න ඉන්න අම්ම කෙනෙක්...මට කරදරයක් නන් කරන්නෙපා...මන් පුංචි මහත්තයා අමතක කරල අම්ම එක්ක ඈතක ගිහින් ජීවත් වෙන්නන්....අනේ මාව අතරින්න මහත්යො..."

වේලාවටත් වඩා මූසල අඳුරක් රජකරපු ඒ පාලු රබර් වත්ත මැද්දෙ මහ වැස්සට යටින් මගෙ අදෝනාව අහන්න කෙනෙක් හිටියෙ නෑ.උදේ හවස වදින දෙවියන්ටවත් මට පිහිට වෙන්න හිතක් නැති වුනෙ මගේම කාළකන්නි කමට වෙන්නැති.මගේ කුස තුළ හුස්ම ඇහිදින ලේ කැටිය බේර ගන්න පටාචාරාවක් මෙන් හතරඅත දුවපු දුර කිසිම වැදගැම්මකට නැති වුනේ,ලොකු හාමුගෙ වේගෙන් ආපු රෝද හතරෙ මාළිගාව නිසා.

අල්ලන්න බැරි විසල් වෘක්ෂයක් බව දැන දැනම බිම එතෙන්න නියමිත වෙලා තිබ්බ කේඩෑරි වැලක් ඒ වෘක්ෂය මතම වෙලුනෙ ආදරය කියන අත්වැල ඒ ගහෙන් ලැබුනු නිසාමයි.සුළං,වැහි වැනි දහසකුත් බාධක තරණය කරන් ආදරය ඇතුළින් කාලයත් එක්ක සරුවට ඇදී ගියපු ලියවැල මල් පිපිලා පල දරන්න කල් බැලුවේ නොසිතූ වෙලාවක.තමාගෙ සිරුරෙ එතීවුන් ලිය විසිකර නොදා ඒ විසල් වෘක්ෂය තවත් අතු පතර විහිදුවමින් කාටත් හොරෙන්ම නීතියෙන්ම ඒ මල් පිපුණු ලිය තමාගේම කරගත්තා.විදවන්නටම නියමිත වූ ඒ ජීවිත ඇතුලෙ රහසක් විදියට තියාගන්නට හදපු දේ වැඩිකල් නොයාම විසල් වෘක්ෂයෙහි උරුමක්කාරයගෙ දෙසවන වැටී තිබුනා.එදා සිට දේව වේෂයෙන් සිටි මේ නරුම හිත තුළ කැකෑරුනු වෛරය අඳුරු මුසල රැයක එළියට ඇදිල ආවෙ නොසිතූ විලසකට...

"උඹව අතැරියත් අපේ එකා අනිවාර්යයෙන්ම උඹව හොයන් එනවා.මට මගේ එකා නැති කරගන්න බෑ...උඹ මේ ලෝකෙන්ම තොලොංචි වෙලා පලයන්..."

කුස මතට අතහැරි ඒ දරුනු පහරත්,කුසට එක පිට එක එල්ලවු පිහි පරවල් නිසාම මම කපා හෙලු කෙසෙල් කඳක් මෙන් රබර් කොළ මතට ඇදවැටිනි.මගේ කුස දරාගත නොහී වේදනා දෙනවිට කුස තුළ වු ලේ කැටියා එළියට ඇද දමන්නට තරම් තිරිසන් හදවතක් ඔහු සතු විය.එයින් නොනැනවති දහසකුත් එකක් වද හිංසා මත ජීවිතය ඉල්ලා හැඬූයෙමි,විලාප තැබූයෙමි.නැත...ඒ අසන්නට කිසිවෙකුත් එදා සිටියෙ නැත.

සාක්ෂි කියා පෙන්නන්නට දෙයක් ඉතුරු වී නොතිබුනත් යක්ෂයාගෙ ඉව වැටී සිටි මගේ ආදරණීය සැමියා සාධාරණ ඉල්ලා අරගල කරන්නට විය. ආදරය නාමයෙන් තිළිණ වු උරුමය දකින්නට සිහින මත සිහින  ගොඩනැංවූ මගේ විදත් පොලිස් පොතේ තමාගේම පියාට විරුද්ධව අත්සන් තැබීය.එහෙත් නීතිය අවනීතිය වූ කලක සාධාරණයක් බලාපොරොත්තු විය හැකිද....

"නිවසේ මෙහෙකාර සේවය සදහා සිටි නිසංසලා නම් සිව්මස් ගැබිණියට දරුනු වද හිංසා කොට ඝාතනය කිරීම සම්බන්ධව සැකපිට අත්තඩංගුවට පත් ව්‍යාපාරික සුමිත්  වර්ණකුලසූරිය මහතා නිදොස් කොට නිදහස් කරන ලෙස ගරු අධිකරණය නියෝග කරයි"

ඒ මුස්පේන්තු අඳුරු දවස නිමවී හත් දොහක් යන්නට මත්තෙන් කාසි කොළ වල බලය පෙන්නමින් සත්‍ය වලදැමීම අපුරුවට  කලු කෝට් බෑය තුල රිංගා සිටින මිනිසුන් යැයි කියාගන්නා අධම වෘක්කයන්ට පහසුවෙන් කල හැකි විය.
ඉතින් මට වූ අසාධාරණයට මගේම කුස තුළ පණ ගැහුනු ඒ ලේ කැටියා එළියට ඇද දමන්නට තරම් තිරිසන් මානසිකත්වයක් ඇති ඔහුට මා විසින්ම දඬුවම් නියම කළෙමි.එය වරදක්ද,පාපයක්ද මා සිතිය යුතු වුවත් එය මගහැර මට මේ පොළව මත අයිති ඉඩ සොයා ඔහේ සැරිසැරුවෙමි.ඒ යන මග අතර තවමත් සුදු කොඩිය ඉබාගාතේ පැද්දෙමින් මගේ නිවස ඉහළින් රැදිනි.ටකරන් මඩුව යට කීපදෙනෙකුගේ ඡායවන් දුටු අතරම මගෙ ආදරණීය අම්මාගෙ කඳුළු වෙලි නොගිය ගිලුනු ඇස් දෙස නිරුත්තර මනසින් ඔහේ බලා සිටියෙමි.

"මගේ ආදරණීය නිසංසලාට මින් මතු කිසිම භවයක මෙවන් විපතක් නොවේවා...!!මෙපින් බලයෙන් ඇයට සුගතියක්ම වේවා...!!"

මගේ කුස ගැහුනු ඒ ලේ කැටියාගෙ උරුම කරයා වුනු මගේ ආදරණීය පුංචි මහත්තයා විදත්....ඒ හඬට මන් ආයෙත් බෝධි මලුව දෙසට හෙමි හෙමින් ඇදී යන්නට විය.

Monday, November 14, 2016

ඇය හා අපි

තැඹිලි පාට වෙච්ච අහසින් ඈතින් මළ හිරු බැසයනව...ඒත් ඒ ඉරෙත් මට නෝක්කාඩු කියන කලු ගැහුනු සේයාවක් තැවරිලා තිබුනා.ඇත්ත මේ ඉර හඳ ගහ කොළ වුනත් මට නෝක්කාඩු කියයි.මන් වචනයකින් වුනත් ඒ කලේ මහම මහ නැහැදිච්ච වැඩක්...ඇරත් මන් නොදැනුවත්ව හරි මට හුස්ම ගන්න ඉඩ හදපු කෙනා ඒ...ඒ නැතත් වෙද නළාව අතේ තියන් ඉන්න මට මනුස්සකම ගැන හිතන්න තිබුනා.පුහු උඬගුකම,මාන්නය වෙද නළාව එක්කම මගේ ඇගට ඇවිත් ඒ වෙලාවෙ මන් කරපු දේ..මගේ හදවතම මට ලැජ්ජ කරනවා,නින්දා කරනව...

රත් පැහැ ගිනිදැල් අහස දිහාවට ඇදිලා යද්දි නිසලව ඇය ඒ මැද සැතපිලා ඉන්නවා...මට වඩා දස වසරක් බාල වුනත්, ඇගේ රැකියාව මගේ වෙද නළාවට වඩා දස ගුණයක් පහළින් තිබුනත් ඇය මනුස්සකම අතින් මට වඩා දහස් ගුණයක් ඉහළින්...අැගේ නමට මගේ නෙත කඳුළු ආයෙත් අලුත් වෙනකොට මගේ හිත ආයෙත් මටම බනින්න ගත්තා...ඔව් මන් ඒ වෙලාවෙ වචනෙන් හරි මේ කෙල්ලට කලේ මොකද්ද...
**************************

"පහන් ඔයා මොකද්ද මේ කරන්න හදන්නෙ...."

"ඇයි නිසලි මොකද්ද??? "

"මොකද්ද අහන්නෙ මගෙන්ද?ඇයි මේ ගෑණිගෙ භාරකරත්වය ඔය‍ා ගත්තෙ..."

"හ්ම්ම්...ඒකද?ඉතින් බබා කාත් කවුරුවත් නැති මේ ලෙඩාව අපි භාරගමු..."

"මොකක්...ඔයා දන්නවද පහන් මෙයා සල්ලි වලට තමන්ගෙ....."

"ඔව්....මන් දන්නවා...නිසලි දැන් ඇති..අපි මේ ලෙඩාව භාරගන්නව එච්චරයි..."

"පහන්...ඒ කියන්නෙ දැන් ඔයාට මට වඩා මේ නන්නත්තාරෙ ගිය එකී ලොකු වුනා..."

"මොනාද නිසලි මේ කියන්නෙ...ලැජ්ජාවක් නැද්ද...ඔයත් ඩොක්ට කෙනෙක් නේද?ඇරත් ඔයත් ගෑණියෙක් නෙ..."

"ලැජ්ජාව මට තමයි...හොස්පිට්ල් එකේ ඔක්කොම අහනව ඩොක්ට පහන් මොකද අර ගෑණිට ඔච්චර අනුකම්පා කරන්නෙ කියල...මන්නෙ ඕවට උත්තර දෙන්න....."

"නවත්තනවා නිසලි....මෙතන පිස්සුවෙන් වගේ දගලන්නෙ නැතුව...දැනගන්නවා පිස්සෙක් වගේ මන් පාරක් පාරක් ගානෙ ඇවිදල මගෙ ජීවිතෙ හොයද්දි මට ජීවිතේ දුන්නෙ මේ කෙල්ල..."

"මො...මොකද්ද ඔ... ඔයා...කියන්නෙ පහන්...."

"හ්ම්ම්....ඔව්...ඔයාගෙ තාත්තගෙ සල්ලි වලට...අපේ මේ රස්සාවට බැරි වුනා එදා ඔයා හුස්ම අදිද්දි ඔයාගෙ ජීවිතේ බේරගන්න...මන් අසරණ වුන තරම කොයිතරම්ද කියල දන්නවද නිසලි ඔයා..."

"ඒත්....පහන්...මේ..."

"එදා අහම්බෙන් වගේ මට මේ කෙල්ලව හම්බුනෙ...එයා කැමති වුනා ඔයාට වකුගඩුවක් දෙන්න...අපි ක‍ොච්චර හෙව්වත් ඔයාට ගැලපෙන වකුගඩුවක් හම්බුනෙ නෑ...ඒත් මේ කෙල්ලගෙ වකුගඩුව ඔයාට ගැලපුනා...මන් දන්නෙ නෑ මේ තත්වෙට දැන් මේ කෙල්ල කොහොම වැටුනද කියන්න...ඒත් මට ඕන ඔයාගෙ ජීවිතේ බේරපු මේ මනුස්සයට අන්තිම මොහොතෙ හරි උදව් කරන්න..."

"එතකොට...මේ...මම....ජීවත් වෙන්නෙ..."

"ඔව් ඒ කෙල්ල නිසා...එතකොට අද මේ කෙල්ල හුස්ම අදින්නෙ ඉතුරු වෙලා තිබුන වකුගඩුවත් නරක් වෙලා නිසා...මන් කොච්චර හෙව්වත් මේ කෙල්ලව මට හොයාගන්න බැරි වුනා..."

"ඔයාගෙ තාත්තලගෙ සල්ලි මේ කෙල්ලගෙ නම ගම රස්සාව හංගල ඒ පිනට මොණර කොළ හිලව් කලාට, එක රුපියලක දෙයක් වත් මේ මනුස්සය ගත්තෙ නෑ....දන්නවද එදා මේ මනුස්සය කියපු දේ..."

"මහත්තය මන් ඇග විකුණල තමයි ජීවත් වෙන්නෙ...ඒත් මේ මන් කලේ පණ අදින කෙනෙක්ට ජීවිතේ දීපු එක...ඒකටත් ගණන් හිලව් තියල මේ කරුමක්කාර ජීවිතේට තව පව් පුරවගන්න බෑ මහත්තය...මන් මේක කලේ මනුස්සකමට....ඔය සල්ලි වලිනුත් මේ නෝනට ඕන දේවල් ගන්න..."

එදා ඒ වෙලාවෙ මන් ඉන්න තැන කරන දේ අමතක වුනා.පිස්සියෙක් වගේ මන් නැවතුනේ හුස්ම අදින ඇගේ ඇඳ ළග...නිමාවක් නැති කඳුළු මගේ ඇස් වලින් කඩන් වැටෙද්දි ඒ දුකක්ද,පසුතැවීමක්ද නැත්තන් මන් ගැනම ඇති වෙච්ච ලැජ්ජාවක් ද කියන්න මට අදටත් තේරුමක් නෑ...ඒත් එකම වතුර පොදක් පොවනව ඇරෙන්න මට ඇගේ හුස්ම රැකගන්න අංශු මාත්‍රෙක දෙයක් කරගන්න බැරි වුනා.ඇගේ අන්තිම හුස්ම පොද මගේ දෑත උඩම ගිලිහිල යද්දි මන් මොකන්දෝ මන්ද නාම විරහිත හැඟීමක ඔත්පල වුනා....
*************************

"නිසලි අපි යමු....දැන් හුඟක් හවස් වෙලා..."

කතාවක් නැතුවම පහන්ගෙ උරහිසට බරවුණු මට ඇගේ දැල්වෙන සෙහොන අතරින් ඇය අන්තිමට කිව් වචන ආයෙ ආයෙත් දෝංකාර දුන්නා...හිසේ සිට යටිපතුල තෙක් ඇදි යන හිරියක් වේදනාවක් එක්ක මන් ආයෙත් ඒ වචන මතක් කලා....

"මන් නිසා මගේ මේ පව්කාර රස්සාව නිසා හුගක් පවුල් ජීවිත හැඩි වුනා නෝනා....ඒත් මන් නිසා අද සතුටින් ජීවත් වෙන එකම පවුල නෝනයි මහත්තයයි...මට ඒ දේ ඇති න‍ෝනා ...සතුටින් ඉන්න හැමදාම..."

ඇය කිසිම කෙනෙක්ට ඇගේ අන්තිම හුස්ම පොද ගිලිහෙද්දි වත් දොසක් නැගුවෙ නෑ...ඇයද අපිද මේ ජීවිතේ පහත් කියල හිතද්දි පහන්ගෙ හඬ හීනෙන් වගේ ඇහුනා...

"හුඟක් සුදු පිරුවට පෙරවගෙන තමන් උපාසිකා කියල කියාගෙන ගඳ ගහන ජීවිත තියෙන හුඟක් ගෑණුන්ට වඩා අයාලේ ඇවිද්දත් මේ මනුස්සය ළඟ මනුස්සකම ඕනවට වඩා තියෙනව නිසලි...."

ඔව් ඇත්ත...

Sunday, November 6, 2016

මං ආදරෙයි

මන් නුඹට ආදරය කරමි
නුඹෙන් ලද සිනහවට
දඟකාර කතාවට
හිතුවක්කාර ගති වලට
ඇදී ගිය මගේ සිත
ඒවාට පමණක්ම
ආදරය කරමි.....

නුඹ ලස්සනයි ඇත්තටම
ඒ ලස්සන නැති වුනත්
ගත සවිය නැති වුනත්
මන් ආදරෙයි හැමදාම
නුඹ හිතනවාටත් වඩා වැඩියෙන්....

මොණරු පසුම්බිය පිරෙන්නට
මන් දන්නවා ඒත්
පසුම්බිය සිල්ලර විතරක්ම
පාලු මකන දාටත් මන්
ආදරෙයි අද තරමටම....

මට දේවි සැප සම්පත්
යහමින් නුඹට ඇති දාට
ඒත් ආවොතින් අඳුරු වළාවක්
සහය වන්නම් නුඹට
එළියක් සොයන්නට
අදටත් වඩා ලෙන්ගතුව
ළග හිදන් ආදරෙන්....

හ්ම්ම්...සැකයි ද නුඹට
එ් මගේ ආදරය
නුඹට පමණක්ම පේවුනු
අහිංසක ආදරය
අම්මා තරමටම ස්නේහය
නුඹට සදන්නට වෙර දරන
මේ මගේ හිත
අවිස්වාසයිද....

එන යන අය අතර
නවතින්නට ඉඩ සෙවු
මේ මගේ ආදරය
නුඹ මහමග වැටී සිටියද
පොල්අතු අතර අහස සෙව්වද
නුඹේ ළග නුඹේ තනියට
හැමදාම හිදිනු ඇත
මේ මගේ ආදරය....