Monday, November 14, 2016

ඇය හා අපි

තැඹිලි පාට වෙච්ච අහසින් ඈතින් මළ හිරු බැසයනව...ඒත් ඒ ඉරෙත් මට නෝක්කාඩු කියන කලු ගැහුනු සේයාවක් තැවරිලා තිබුනා.ඇත්ත මේ ඉර හඳ ගහ කොළ වුනත් මට නෝක්කාඩු කියයි.මන් වචනයකින් වුනත් ඒ කලේ මහම මහ නැහැදිච්ච වැඩක්...ඇරත් මන් නොදැනුවත්ව හරි මට හුස්ම ගන්න ඉඩ හදපු කෙනා ඒ...ඒ නැතත් වෙද නළාව අතේ තියන් ඉන්න මට මනුස්සකම ගැන හිතන්න තිබුනා.පුහු උඬගුකම,මාන්නය වෙද නළාව එක්කම මගේ ඇගට ඇවිත් ඒ වෙලාවෙ මන් කරපු දේ..මගේ හදවතම මට ලැජ්ජ කරනවා,නින්දා කරනව...

රත් පැහැ ගිනිදැල් අහස දිහාවට ඇදිලා යද්දි නිසලව ඇය ඒ මැද සැතපිලා ඉන්නවා...මට වඩා දස වසරක් බාල වුනත්, ඇගේ රැකියාව මගේ වෙද නළාවට වඩා දස ගුණයක් පහළින් තිබුනත් ඇය මනුස්සකම අතින් මට වඩා දහස් ගුණයක් ඉහළින්...අැගේ නමට මගේ නෙත කඳුළු ආයෙත් අලුත් වෙනකොට මගේ හිත ආයෙත් මටම බනින්න ගත්තා...ඔව් මන් ඒ වෙලාවෙ වචනෙන් හරි මේ කෙල්ලට කලේ මොකද්ද...
**************************

"පහන් ඔයා මොකද්ද මේ කරන්න හදන්නෙ...."

"ඇයි නිසලි මොකද්ද??? "

"මොකද්ද අහන්නෙ මගෙන්ද?ඇයි මේ ගෑණිගෙ භාරකරත්වය ඔය‍ා ගත්තෙ..."

"හ්ම්ම්...ඒකද?ඉතින් බබා කාත් කවුරුවත් නැති මේ ලෙඩාව අපි භාරගමු..."

"මොකක්...ඔයා දන්නවද පහන් මෙයා සල්ලි වලට තමන්ගෙ....."

"ඔව්....මන් දන්නවා...නිසලි දැන් ඇති..අපි මේ ලෙඩාව භාරගන්නව එච්චරයි..."

"පහන්...ඒ කියන්නෙ දැන් ඔයාට මට වඩා මේ නන්නත්තාරෙ ගිය එකී ලොකු වුනා..."

"මොනාද නිසලි මේ කියන්නෙ...ලැජ්ජාවක් නැද්ද...ඔයත් ඩොක්ට කෙනෙක් නේද?ඇරත් ඔයත් ගෑණියෙක් නෙ..."

"ලැජ්ජාව මට තමයි...හොස්පිට්ල් එකේ ඔක්කොම අහනව ඩොක්ට පහන් මොකද අර ගෑණිට ඔච්චර අනුකම්පා කරන්නෙ කියල...මන්නෙ ඕවට උත්තර දෙන්න....."

"නවත්තනවා නිසලි....මෙතන පිස්සුවෙන් වගේ දගලන්නෙ නැතුව...දැනගන්නවා පිස්සෙක් වගේ මන් පාරක් පාරක් ගානෙ ඇවිදල මගෙ ජීවිතෙ හොයද්දි මට ජීවිතේ දුන්නෙ මේ කෙල්ල..."

"මො...මොකද්ද ඔ... ඔයා...කියන්නෙ පහන්...."

"හ්ම්ම්....ඔව්...ඔයාගෙ තාත්තගෙ සල්ලි වලට...අපේ මේ රස්සාවට බැරි වුනා එදා ඔයා හුස්ම අදිද්දි ඔයාගෙ ජීවිතේ බේරගන්න...මන් අසරණ වුන තරම කොයිතරම්ද කියල දන්නවද නිසලි ඔයා..."

"ඒත්....පහන්...මේ..."

"එදා අහම්බෙන් වගේ මට මේ කෙල්ලව හම්බුනෙ...එයා කැමති වුනා ඔයාට වකුගඩුවක් දෙන්න...අපි ක‍ොච්චර හෙව්වත් ඔයාට ගැලපෙන වකුගඩුවක් හම්බුනෙ නෑ...ඒත් මේ කෙල්ලගෙ වකුගඩුව ඔයාට ගැලපුනා...මන් දන්නෙ නෑ මේ තත්වෙට දැන් මේ කෙල්ල කොහොම වැටුනද කියන්න...ඒත් මට ඕන ඔයාගෙ ජීවිතේ බේරපු මේ මනුස්සයට අන්තිම මොහොතෙ හරි උදව් කරන්න..."

"එතකොට...මේ...මම....ජීවත් වෙන්නෙ..."

"ඔව් ඒ කෙල්ල නිසා...එතකොට අද මේ කෙල්ල හුස්ම අදින්නෙ ඉතුරු වෙලා තිබුන වකුගඩුවත් නරක් වෙලා නිසා...මන් කොච්චර හෙව්වත් මේ කෙල්ලව මට හොයාගන්න බැරි වුනා..."

"ඔයාගෙ තාත්තලගෙ සල්ලි මේ කෙල්ලගෙ නම ගම රස්සාව හංගල ඒ පිනට මොණර කොළ හිලව් කලාට, එක රුපියලක දෙයක් වත් මේ මනුස්සය ගත්තෙ නෑ....දන්නවද එදා මේ මනුස්සය කියපු දේ..."

"මහත්තය මන් ඇග විකුණල තමයි ජීවත් වෙන්නෙ...ඒත් මේ මන් කලේ පණ අදින කෙනෙක්ට ජීවිතේ දීපු එක...ඒකටත් ගණන් හිලව් තියල මේ කරුමක්කාර ජීවිතේට තව පව් පුරවගන්න බෑ මහත්තය...මන් මේක කලේ මනුස්සකමට....ඔය සල්ලි වලිනුත් මේ නෝනට ඕන දේවල් ගන්න..."

එදා ඒ වෙලාවෙ මන් ඉන්න තැන කරන දේ අමතක වුනා.පිස්සියෙක් වගේ මන් නැවතුනේ හුස්ම අදින ඇගේ ඇඳ ළග...නිමාවක් නැති කඳුළු මගේ ඇස් වලින් කඩන් වැටෙද්දි ඒ දුකක්ද,පසුතැවීමක්ද නැත්තන් මන් ගැනම ඇති වෙච්ච ලැජ්ජාවක් ද කියන්න මට අදටත් තේරුමක් නෑ...ඒත් එකම වතුර පොදක් පොවනව ඇරෙන්න මට ඇගේ හුස්ම රැකගන්න අංශු මාත්‍රෙක දෙයක් කරගන්න බැරි වුනා.ඇගේ අන්තිම හුස්ම පොද මගේ දෑත උඩම ගිලිහිල යද්දි මන් මොකන්දෝ මන්ද නාම විරහිත හැඟීමක ඔත්පල වුනා....
*************************

"නිසලි අපි යමු....දැන් හුඟක් හවස් වෙලා..."

කතාවක් නැතුවම පහන්ගෙ උරහිසට බරවුණු මට ඇගේ දැල්වෙන සෙහොන අතරින් ඇය අන්තිමට කිව් වචන ආයෙ ආයෙත් දෝංකාර දුන්නා...හිසේ සිට යටිපතුල තෙක් ඇදි යන හිරියක් වේදනාවක් එක්ක මන් ආයෙත් ඒ වචන මතක් කලා....

"මන් නිසා මගේ මේ පව්කාර රස්සාව නිසා හුගක් පවුල් ජීවිත හැඩි වුනා නෝනා....ඒත් මන් නිසා අද සතුටින් ජීවත් වෙන එකම පවුල නෝනයි මහත්තයයි...මට ඒ දේ ඇති න‍ෝනා ...සතුටින් ඉන්න හැමදාම..."

ඇය කිසිම කෙනෙක්ට ඇගේ අන්තිම හුස්ම පොද ගිලිහෙද්දි වත් දොසක් නැගුවෙ නෑ...ඇයද අපිද මේ ජීවිතේ පහත් කියල හිතද්දි පහන්ගෙ හඬ හීනෙන් වගේ ඇහුනා...

"හුඟක් සුදු පිරුවට පෙරවගෙන තමන් උපාසිකා කියල කියාගෙන ගඳ ගහන ජීවිත තියෙන හුඟක් ගෑණුන්ට වඩා අයාලේ ඇවිද්දත් මේ මනුස්සය ළඟ මනුස්සකම ඕනවට වඩා තියෙනව නිසලි...."

ඔව් ඇත්ත...

Sunday, November 6, 2016

මං ආදරෙයි

මන් නුඹට ආදරය කරමි
නුඹෙන් ලද සිනහවට
දඟකාර කතාවට
හිතුවක්කාර ගති වලට
ඇදී ගිය මගේ සිත
ඒවාට පමණක්ම
ආදරය කරමි.....

නුඹ ලස්සනයි ඇත්තටම
ඒ ලස්සන නැති වුනත්
ගත සවිය නැති වුනත්
මන් ආදරෙයි හැමදාම
නුඹ හිතනවාටත් වඩා වැඩියෙන්....

මොණරු පසුම්බිය පිරෙන්නට
මන් දන්නවා ඒත්
පසුම්බිය සිල්ලර විතරක්ම
පාලු මකන දාටත් මන්
ආදරෙයි අද තරමටම....

මට දේවි සැප සම්පත්
යහමින් නුඹට ඇති දාට
ඒත් ආවොතින් අඳුරු වළාවක්
සහය වන්නම් නුඹට
එළියක් සොයන්නට
අදටත් වඩා ලෙන්ගතුව
ළග හිදන් ආදරෙන්....

හ්ම්ම්...සැකයි ද නුඹට
එ් මගේ ආදරය
නුඹට පමණක්ම පේවුනු
අහිංසක ආදරය
අම්මා තරමටම ස්නේහය
නුඹට සදන්නට වෙර දරන
මේ මගේ හිත
අවිස්වාසයිද....

එන යන අය අතර
නවතින්නට ඉඩ සෙවු
මේ මගේ ආදරය
නුඹ මහමග වැටී සිටියද
පොල්අතු අතර අහස සෙව්වද
නුඹේ ළග නුඹේ තනියට
හැමදාම හිදිනු ඇත
මේ මගේ ආදරය....