Sunday, May 20, 2018

වැස්ස



වැස්ස කියන්නෙම
කල්පනා කරන්නම
හිත හීන දකින දවසක්....


පුංචි වැහි බිංදු අතරම
මට ඔහේ දඟලන්නම 
අවසර හොයන දවසක්.....


කෝපි උගුරක රස්නෙම
දෙතොලේ ගල්වන්නම
ඉඩ හදන දවසක්....


Thursday, May 17, 2018

ඉතින් මේ මොකද්ද?


මෙහෙම වැස්ස වැටෙන හැම රෑකම මගේ හිත කාටවත් කියාගන්න බැරි, නමක් නැති අමුතුම හැඟීම් රෑනකින් වැහිල යනව.ඒ හැඟීම් අතර හැමදාමත් නුඹේ නමත් හරි හරියට අනිත් හැඟීම් යටපත් කරගෙන උඩුදුවනව....ඉතින් මම කල්පනා කරනව..වෙලාවකට නුඹව හිත යටම හිර කරන් අනිත් හැම හැඟීමක් ගැනම....ඒත් තව වෙලාවකට නුඹ යටපත් කරනව ඒ හැඟීම් රෑනම...ඉතින් මම නුඹ ගැනම හිතනවද...නැතිනම් නුඹ මගේ හිතට බලෙන්ම එනවද...හිතාගන්න අමාරුයි...කොහොම වෙතත් අන්තිම ජය ගන්නෙ නුඹ...වෙන කරන්නම දෙයක් නෑ...අවසානෙදි මම නුඹ ගැනම හිතනව....

නුඹ ගැනම හිතනව...මොනවද මම හිතන්නම ඕන...මොනවද මට තව අලුතින්ම හිතන්න තියෙන්නෙ...හැම මොහොතකම හැම හැඟීමකම නුඹ ඉන්නව....ඉතින් මේ වැස්ස දිහා බලාගෙන කළුවරෙත් හරි හරියට නුඹ මගෙ හිතට ඔච්චම් කරනව...කරදරයක්...ඇත්තටම...මහා කරදරයක්...විදගන්නව ඒත් මම ඒ කරදරකාර හැඟීම විදවීමක් නැතුවම....

නුඹත් මේ විදියටම මම ගැන හිතනවද...මම වෙලාවකට කල්පනා කරනව....

"අනේ මන්දා"

මගේ හිත මටම දෙන උත්තරය...මමත් භාරගන්නවා ඒ උත්තරයම....ඒත් මගේ හිත කැමතිත්,හොයන්නෙත්,

 "මටත් වඩා නුඹ මම ගැන හිතනව" කියන උත්තරය...

ඒත් ඇත්තටම නුඹ මගේ ගැන හිතනවද...නුඹට මාව නැතුවම බැරිවෙයිද...එකින් එක එකින් එක හැඟීම් රෑනක් මගේ හිත වෙලාගන්නවා...ඒ හැඟීම් දිගේම ඈතටම අෑතටම ඔහේ පාවෙවි මගේ හිත නිදහසේ පියාඹනව...‍තව නුඹ ගැනම පුංචි පුංචි බලාපොරොත්තු...ඔව් අර හැඟීම් වලම එල්ලිලා හිතට ඇතළුවෙන බලාපොරොත්තු....

"කවද්ද ආයෙමත් ඔය රෑපෙ හිතේ හැටියට මගේ ඇස් ළගම තියාගෙන විදින්නෙ..."
පුංචි බලාපොරොත්තුවක්...

"අනේ මන්ද..."

මගේ හිත මට කියන එපාම කරපු උත්තරය...ඒත් එක්කම කලින් මට හිතුනු දේට අලුත් උත්තරයක් මගේ හිතම මට දෙනව...

"ඔයා තරමටම එයා ඔයා ගැන හිතන්නෙ නැද්ද කොහෙද..."
ඒකත් කොයිම දෙයක් වත් හිතාගන්න බැරි මහ විකාර හැඟීමක්...

" ඉතින් ඔයා දන්නවනෙ එයාට ඉක්මනටම එන්න බැරි හේතුව..."
"හ්ම්ම්..."

මගේ හිතම දෙපැත්තට බෙදිල නුඹ ගැන අරගල කරනව...නුඹව සාධාරණය කරනව...මට...ඔව් මට කරන්න දෙයක් ඇත්තෙම නෑ...මම අහන් ඉන්නව...හුග වෙලාවට මේක තමයි මම කරන්නෙ...අහගෙන ඉන්නව...මගේ හිතම නුඹ ගැන හිතන හැම දෙයක්ම අකුරක් නෑරම....ඒකත් ඇත්තටම මම ආසම කරන දේවල් අතරට දැන් එකතු වෙලා...

"දෝණී....මේ සීතලේ මොකෙද කරන්නෙ...ජනේලෙ වහල නිදගන්න..."

බෙල්ල විතරක් හරවල දොර දිහා බලපු මම ආයෙත් බැලුවේ...වැස්ස...අහස අඬලත් ඉවරයි...ඒත් නුඹ එහෙමමයි.....ජනේලය වහනවද....නෑ...සීතල නුඹ ඇතුලෙම මගේ හිත අතරමං කරයි...ඉතින් මේ මොකද්ද....ඔව්...ඇත්ත ඒක...

❤මම නුඹට ඇබ්බැහි වෙලා...❤


Sunday, May 13, 2018

අමාවක වු සඳ

"මනූ උඹ වැරදි බන්"

"ඔව් මන් දන්නවා බන්...ඒත්..."

"ඒත් නෙමෙයි...අහසක තියෙන්නෙ එක හඳයි...උඹ හඳක් වෙන්න හදන්නෙ අනුන්ගෙ අහසක..."

"මම...ඒත්  මට කලින් එහෙම කිසිම වුවමනාවක් තිබුනෙ නෑනෙ බන්...එයාමයි...."

"උඹ කියන දේ මට තේරෙනවා...ඒත් උඹ දිහා ඈතින් ඉදන් බලන එවුන්ට ඒක තේරෙන්නෙ නෑ..."

"හරි උඹම කියපන්...අහස ඉඩ දෙන්නෙ නැතුව මට හඳක් වෙන්න පුලුවන් ද...එයා එයාගෙ අහසෙ ඉඩ දුන්න නිසයි මන් හදක් වෙන්න හිතුවෙ..."

"ඒත් උඹ හිතන්න තිබුනා...ඒ තවත් හඳක්...ඇරත් අපි හොදටම දන්න කෙනෙක්...කොහොමද ඔය පව්කාරකම කරන්නෙ...."

"හිතට එන හැඟීමකට කොහ‍ොමද මන් සීමා මායිම් දාන්නෙ...."

"හිතට ආවයි කියලා හැම හැඟීමක්ම එළියට දාන්න බෑනෙ...අනික උඹෙ හිත පාලනය කරන්න ඕන උඹම මිසක් අපි නෙමෙයි..."

"මට නොතේරෙනවා නෙමෙයි බන්...ඒත් මට දැන් මේ ජීවිතේ එළියක් හොයාගන්න බෑ...."

"මොකද්ද...ඇයි දැන් එළියක් නැති වෙන්න තරම් උඹට මොනා වෙලාද..."

"හ්ම්ම්...කවුරුවත් කතා කරන්නෙ නෑ...මූණ බලන්නෙ නෑ...මන් දිහා බලන්නෙ හරියට ජරා සතෙක් දිහා බලනව වගේ...."

"මේ මමත් උඹ දිහා බලන්නෙ එහෙමද මනූ..."

"අනේ නෑ කෙල්ලෙ උඹ නොහිටින්න මන් කැම්පස් ගමනත් නවත්තලා...මන් වැරදි තමයි බන්...මන් ඒක පිළිගන්නවා...මන් ආයි ඒ අහසට හදක් වෙන්නෙ නෑ...ඒත් කවුරුවත් මාව පිළිගන්නෙ නෑ...."

"වෙනස් වෙයි හැමදේම...කාලයට ඉඩදෙන්න....යමන් දැන් ලෙක්චර් ඇවිත් ඇති"

"හ්ම්ම්..."


Monday, December 11, 2017

උඹත්... මමත්...

ජීවිතය තුළ ලද ලැබීම් නොලැබීම් දහස් ගණනක් අතරෙහි මගේ රැකියාව මා ලද භාග්‍යයක් ලෙස අද මම මේ විදින මුස්පේන්තු මොහොත තෙක්ම තදින් විස්වාස කළෙමි.එහෙත් අද....වසර විස්සක් පුරාව‍ට මා ජීවත් කරවූයේ මේ රැකියාවයි.මගේ අඹුදරුවන්ගේ,දෙමාපියන්ගේ නිහඬ ආඩම්බරය මා විය.අද මා මගේ හදවත සමග සටන් කරනුයේ පරාජය පිළිගෙනමයි.ඒත් අවසාන මොහොත හෝ වෙනස් විය හැකි...මගේ අරුත්සුන් බලාපොරොත්තුව.

මැදවච්චි නගරයෙනුත් කිලෝමීටර් ගණනක් ඇතුළට පිහිටා තිබුනු අපේ ගම.එ් ගමටම තිබුනු එකම සම්පත,ගමේ පාසල...එදාවේල අමාරුවෙන් හරිහම්බ කරගෙන ගොවිතැනින්,කුලී වැඩකින් ජීවිතේ ගැට ගසාගන්නා අපේ දෙමාපියන්...මතකද උඹට ඒ දුක පිරිච්ච ලස්සන දවස්.දවසකින් වේලක් වත් බඩට දැනෙන්න කෑමක් නොකෑව,ඒත් හැමදාම පාසල් ගියපු ඒ කාලෙ....අණ්ඩ දමපු නිල් කලිසම ඇදන් කහ ගැහුනු ෂර්ට් එක,පතුල් ගෙවනු බාටා දෙක දාගෙන,පොත් දෙක තුන අතට අරන් උඹයි මමයි ගුරු පාරෙ ගිනි අව්වෙ අපේ ජීවිතේ හදාගන්න දහතුන් අවුරුද්දක්ම එකට ඇවිද්දෙ පාසලට...ගණන් වලදි උඹ මට වඩා දුර්වල වෙද්දි මම උඹට වරු ගණන් ගණන් කියල දුන්නු හැටි.මට ස්වර හත වත් හරියට කියාගන්න බැරි වුනාට උඹ තමයි පාසලේ දක්ෂතම ගායකයා.සංගීත කාමරේ තිබුනු බටනළාව,වයලීනය උඹට ආදරේ කරපු තරම.

"සර්....වෙලාව හරි...ඔබතුමා එනවද..."

වෙලාව....විසි අවුරුදු රාජකාරි ජීවිතේ කවදාවත් තත්පරයක් වත් ප්‍රමාදයක් නොවුනු මට උඹ වෙලාව විතරක් නෙමෙයි මගේ මුළු ජීවිතේම එකම තැන නතර කරල.

"හ්ම්ම්...යමු මම එන්නම්..."

සහයකයා වුනත් බලනව ඇති ඇයි අද මම මේ තරම් තෝන්තුවාවෙන් කල්පනා කරන හේතුව.ඒත් උඹ...දන්නෑ තාම උඹේ ඉරණම අද මගේ පෑනෙන් ලියන බව.

උසස් පෙළින් පස්සෙ අපි ප්‍රතිඵල එනකන් වැලි ගොඩදැම්ම...අත්වල කරගැට පුපුරද්දිත් දවස් ගණන් වේදනාවන් හංගගෙන එකට වැඩ කරපු උඹ....දහම් පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායක වගේම ගමේ හැම වැඩකදිම මුල් තැන ගත්තෙ උඹ.නොහිතුව වෙලාවක අාපු අපේ ප්‍රතිඵල උඹව සෞන්දර්ය විශ්ව විද්‍යාලයටත්,මාව නීති විද්‍යාලයත් වෙන් කරල තිබුන.මතක ඇති කාලයක ගමෙන් සරසවි ගියපු කෙනෙක්ට හිටියෙ අපි දෙන්න විතරයි.

"උඹලට වරදින්නෑ කොල්ලනෙ...අම්ම තාත්තා ගොඩගනින් ඇවිත්..."

අපි කොළඹට එද්දි ගමේ හැමෝම කිව්වෙ එහෙම.ඒත් නොහිතපු විදියට අවුරුද්දක් යන්නත් කලින් උඹේ තාත්තා අම්මා ගියපු පරණ බයිසිකලය හප්පගෙන ගියපු ටිපර්කාරයා එදා ගියෙ උඹේ අම්ම තාත්තා උඩින්ට වැඩිය උඹේ ජීවිතය උඩින් කියලයි මම තාමත් හිතන්නෙ.එදා ඒ සිද්දිය නොවුනන් අද උඹ කොතනද....සෝමදාස මාමා එදා සදහටම ඇස් පියා ගනිද්දි, ලතා නැන්දා ජීවිත කාලයටම  එකතැන් වෙද්දි උඹේ නංගි මල්ලි උඹව බදාගෙන අඩපු තරම...අසරණ උඹ සරසවියට සමුදුන්න ජීවිතය ගැට ගහගන්න....ලෙඩ ඇඳට වැටුනු අම්මා රැක ගන්න..නංගි මල්ලිට හොඳ අධ්‍යාපනයක් දෙන්න.

කාලය  මාසෙන් මාසෙ ගෙවෙද්දි මටවත් උඹෙන් කිසිම තොරතුරක් නැතුව කාලය හරිම වේගෙන් පියඹගෙන ගියා.උඹ මොකද්ද කරන්නෙ,කෙහෙද ඉන්නෙ ඒ කිසිදෙයක් අපිට හොයාගන්න බැරිවුනා.මේ ගෙන්දගම් පොළවෙ උඹ ඔය දේවල් රස්සාවට තෝරගන්න උඹට හිත හදාගන්න පුළුවන් වුනාද....නෑ උඹේ හිත ඒ තරම් නපුරු නෑ...ඒත් උඹ අමතක නොකර කරපු එක දෙයක් තිබුන.හැම මාසෙකම උඹ නංගිට හදලා දුන්නු බැංකු පොතට මාසෙට සෑහෙන්න සල්ලි දැම්ම.මම ගමේ යන හැම වතාවකම උඹේ ගෙදරට යන්න අමතක කලේම නෑ.සල්ලි එව්වට උඹ ඉන්නෙ කොහෙද කියන්න අම්ම නංගි මල්ලි වත් දැනගෙන උන්නෙ කෑ.කාලය ගෙවෙද්දි උඹ වගෙම උඹේ නංගිත් සෞන්දර්යට තේරෙද්දි උඹේ මල්ලි වෛද්‍ය  පීඨයට යද්දි ඒ දෙන්නම උඹ ගැන මතක් නොකරපු වෙලාවක් නැති තරම්.

"උසාවියෙ වැඩ කටයුතු ආරම්භ කරන්න"

අසිහියෙන් වුවද මගේ රාජකාරිය මා කළයුතුමයි.

උඹ කොහේ හරි ඉදන් ඒ එවපු සල්ලි වලින් ඉගෙන ගත්තු උඹේ නංගි...නැතිනම් මගේ ආදරණීය බිරිඳ,උඹේ ළග දැවටුනු පොඩි කොල්ලා,උඹේ මල්ලි දැන් ශල්‍ය වෛද්‍ය අදීප ගුණරත්න...මේ දෙන්නම අද උඹව බලන්න ඇවිත්..දරාගන්න පුළුවන් වෙයිද උඹට...

"විත්තිකරු රැගෙන එන්න"

සුදු කමිසයට කළු කලිසම ඇදලා එන උඹව දැක්කම කොහොම නම් දරාගන්නද මම..ගමේ හිටපු අහිංසක කොල්ලා අද වැරදිකාරයෙක්....පාතාල සාමාජිකයෙක්....මීනිමැරුම් දහයකට සෘජුව සම්බන්ධ වීම් හා මහා පරිමාණ මුදල් වංචා සිදුකිරීම යන වැරදි ගොනුකරමින් විත්තිකරුවෙක් වුනු උඹේ ඇස් වල සිහින් කඳුළු පටලයක්...කොහොමද උඹ මෙහෙම වුනේ...උඹ ළගට ඇවිත් මම එදා අහද්දිත් ඒ කියන්න තිබුනු අවස්ථාවත් උඹ බලෙන්ම මගහැර ගත්තා.අද උඹේ නංගි මල්ලි ඇවිත් උඹව බලන්න...මම උඹේ ඉස්සරහ ඉදගෙන...

"මතු නියම කරන දිනකදි වැලිකඩ බන්ධනාගාරය තුළ හුස්ම සිරවන තෙක් එල්ලා මැරීමට නියම කරමි"

මා මගේ අවසන් රාජකාරිය කළ යුතුයි.හදවත විලාප තියමින් හඬා වැටෙද්දි රාජකාරි බුද්ධිය තීන්දුව දී හමාරයි.එම තීන්දුව කෙසේ කොහොම මා දුන්නාදැයි සිතාගත නොහැකි මුත් මගේ හදවත මාවත් පෝරකයට නියම කර ඇත.ඉදින් මම අසුනින් නැගී සිටියෙමි.කවරය තුළ සුරැකිව ගෙන ආ මගේ ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී උඹේ මුහුණ බැලීමට මම පිටතට පැමිණියෙමි.ප්‍රමාදයි...මගේ හොඳම යාළුවා...මගේ මස්සිනා...ඔහුව රැගෙන ගොස් ඇත නිකන්ම නොව මාගේ හදවතේ පලුවක්ද රැගෙනය.

Friday, October 6, 2017

~ගුරු අම්මා~


මිදී මව් තුරුල්ලෙන් නුඹ වෙත              ආ දා
හිස සිඹ තුරුලු කර මා සැනසුවේ         සදා
පැන්සල පෑන හුරු කර මගෙ අතට      එදා
දුන් සවි අගෙයි රන් මුතු මිණි                පරදා

කරනට යුතු නොකළ යුතු දේ       මග පෙන්නා
පසු පස පියමනින සෙවණැලි        අතර වෙලා
නිසිමග යවන්නට කල තරවටුව                එදා
ආදරයෙන් සිහි කරමි මා දිනුව                 මෙදා

වැයෙන බෙර පදට පා පොඩි                තබාලා
අත් පා ලෙලවන්න නළු රූ                   කියාලා
වේදිකාව මත මා අද ඇත                     දිනාලා
නුඹ සෙනෙහසින් ලොවක් අැතේ        තැනීලා

අ යනු ආ යනු කියා නිසි ලෙස               උගන්වා
වසරින් වසර ඉදිරියෙන්ම නුඹ මා          තැබූදා
හර බැර අතර සැගවෙන ම‍ා නෙත්       බලාලා
අදත් හිස අතගාන නුඹ මගෙ දෙටු        අම්මා

නොවැදුවත් කුසින් දස මස                      දරාලා
නුඹ ඇතෙයි දරුවන් දහසක්                   හදාලා
නුඹෙන් නොදුන්නත් ඇග ලේ කිරි          කරලා
පෙව් සිප් කිරි බලෙන් බුදුන් දකින්   ගුරු අම්මා

~ගිම්මි~
06/10/2017

Friday, August 25, 2017

දයාබර මායාව....

දයාබර මායාව....

ඒ ඇයත් එක්ක...නෑ..ඇත්තටම ඇගේ ආත්මයත් එක්කම මන් කතා කරපු මොහොතක්.ඇය කියනව වගේම මම දකිනව...ඇය මුරණ්ඩුයි...හිතුවක්කාරයි...ටිකක් නෙමෙයි හුඟක්ම..ඒ තරමටම ඇගේ හිතත් මුරණ්ඩුයි...ඇය වැඩිපුරම බලන්නෙ අහස දිහා... ඒත් අඳුරු අහස නෙමෙයි තරු පිරුණු අහස දිහා.ඇය ඉවරයක් නැතුවම කියවනවා.මේ අහස පුරාවටව තරු විසිරුවෙ ඔබලු.දන්නවද...ඇය ඒ නිසාම තරු පිරි අහසට ආදරේ කරනව....

"මේ තරු එකින් එක ගනන් කරන්න පුළුවන් ද ඔයාට...??බෑනෙ නේද...ඒ වගේ තමයි හේතු කොයිතරම් නන් කියන්නද????"

ඒ දවසක මම,
"ඇයි ඇය ඔබට මේ තරම් ආදරේ කරන්නෙ..."
යනුවෙන් නගපු ප්‍රශ්නයට දුන්නු ආදරණීය පිළිතුර...ඉතින් මට ඇගෙන් තවත් අහන්නට දෙයක් සොයාගන්න පුලුවන්ද???

සිනහහව....කාලයක් ඇයට සිනහවෙන්න අමතකව සිටියා.ඇගේ සිනහව ගෙනෙන්න අපි ගත්ත හැම උත්සහයකම අවසානයේ ඇගෙන් ආත්මානුකම්පිත සිනහවක් හැරෙන්නට වෙනයම් හදවතේ හැඟීමක් අපි දුටුවේ නෑ....ඒත් ඔබ කැමතිද දැනගන්න...ඇය දැන් නිරායාසයෙන්ම සිනහ වෙනව...ඒත් ඒ හැම සිනහවක් පසුපසම ඇගේ නොවන ඇගේ ප්‍ර‍ේමය වුනු ඔබ සැගවිලා ඉන්නව.ඇය ඔබ සිහිවද්දි හරි ලස්සනට හිනාවෙනව.ඒ ආදරණීය සිනහවක්....ප්‍ර‍ේමණීය සිනහවක්...

ඇය තැනක හිත නවතන්න ඉක්මන් නොවෙන කෙනෙක්...ඒත් ඔබේ තරු ඇස් ළඟ ඇගේ හිත නැවතිල.ඔබට කිවයුතුමයි මම...ඇය වසර ගනනාවකින් පසු නතරවුනු එකම නවාතැන ඒ ඔබේ දෑසයි.මම දන්නව,මම දකිනව ඇය ඇගේ මුළු ආත්මයෙන්ම ඔබට බැඳී හමාරයි...ඇය හිතනව අර නුඹ අහසෙ විසිරවපු තරු වලින් දිලෙිසෙන තරුවක් වෙලා ඇගේ හිතට පායපු වග...

ඔබ ඇගේ ආදරණීය මායාව...ඇගේ ලොවට පෑයු තාරාකාව...අවසන ඇගේ හදවතින් ඔබට කරන ආදරණීය ආයාචනය...
එය මා ඔබෙන් ඉල්ලන්නද....
ඇයට නුඹේ හදවතේ අයිතිය දෙන්න තවත් කල්පනා කලයුතුම නම් ඇගේ නිරායාසයෙන් ඔබ සිහිකර නගන ප්‍ර‍ේමණීය හසරැල්ලෙ අයිතියවත් ලබාදෙන්න....

මේ,
හඩනගපු ඇගේ
ආදරණීය ආත්මය...

(බ්ලොගයේ මකුළු දැල් දුවිලි පිස දැමීමට පැමිණි අවස්තාවේ ලියා තබන ලදි.😂😂😂😂)
~ගිම්මි~

Dear Fantastic

She is stubborn 
  and her heart too
That's what made her to talk about you like you are the person who put the stars in the sky...

Just ask her what are the reasons to fall on you
She'll point to the stars and say start counting ???

She doesn't fall easily
  when she falls
       she falls from the deapth of her soul

When she automatically smiles
  Remember you are in her mind
at least let her keep that smile
Because onece she had totally forgotten it
But suddenly you brought it
That's why I called you
           "Fantastic"

Her soul...

Poem :- Written by Hashani Kaushalya

Thursday, June 22, 2017

නුඹ මගේ ප්‍රේමයයි

සංසුන්ව ඈත සඳ දෙස බලාගෙන හිතන්න තියන හුඟක් දේවල් අතරින් මට නුඹ ගැනම හිතන්න මගේ හිත බලකරනවා.ජීවිතේ විඳපු සොඳුරුතම හැඟීම නුඹ වෙද්දි වරෙක මගෙ ජීවිතය එපාම කරපු හැඟීම වෙන්නෙත් නුඹම විතරයි.දවසකට මගේ ජීවිතය ඉහළින්ම තියන්න උදව් කරපු නුඹ දවසක මට දරාගන්න බැරි තරමටම වේදානාවන්,රිදවීම් ගෙනත් දුන්නා.ඒ හැමදේම අැතුලතින් නුඹ ලොකුම ලොකු කතාවක් මට කියල දුන්නා වැටුනත් නැගිටින්න මගේ හිත ශක්තිමත් කියල.

දවසක මට නුඹව සුන්දර පින්තාරුවක් දිහා බලද්දි දැනෙන හැඟීම් රෑනක් එක්ක විදින විට, තවත් දවසක කන් අඩි පුපුරන තරම් සද්දෙන් එන අකුණක් තරම්ම මගේ හිත බය කරන්න නුඹට පුලුවන් වුනා.මම හැමදාම හිතුවෙ මගෙ හැඟීම් සියල්ලම එකින් එක කියන්න පුලුවන් කෙනෙකු ඉන්නව නන්,ඒව දන්න හඳුනන කෙනෙකු ඉන්නවනන් ඒ නුඹම විතරක්ම බව.ඇත්තටම මම නුඹට ආදරය කරනව,ඒ ආදරේදි මම නුඹව උදේම හීනියට ඇවිත් අපේ වටේ එතෙන සිසිලස වගෙ විදිනව.මල් පෙති උඩ තියෙන පුංචි පිණි බිංදුවක් වගෙ ආදර දෑසින් විදගන්නව.

මට හිතෙනව නුඹ සත්තකින්ම වැස්සක් වගෙයි.වැස්සෙ තියන ඇගම හිරිවට්ටන සීතලත් එක්ක තියන සොඳුරු හැඟීම වගෙම අකුණු ගහද්දි ඇහෙන කන් පුපුරන සද්දෙත් එක්ක දැනෙන භයංකර බවත් මම නුඹෙන් දකිනව.ඒ හැමදේම මම නුඹ ළඟදි විදිනව.
ඒත් තවත් වෙලාවකට නුඹ සිහින් ස්වර තියන ගීතයක් තරමටම මගේ හිත භාවනාවකට ගෙනියනවා.ඒ හැමදේටම වඩා මම හරි මෙහෙම කිව්වොත් නුඹ ගැන....."නුඹ නේක පැහැ මල් පිරුණු මල් කළඹක් තරමටම පාට පාට හැඟීම් රෑනක් එකතු වුනු කළඹක්".

ඉතින් මම අද ඉදන් නුඹේ නම වෙනස් කරනව.හැමෝම කියන නම කියන්න මගේ හිත කැමති නෑ.ඒ ඇයි දන්නවද මගේ ජීවිතය ජීවත් කරන්න ඇත්තටම වැඩිම සුව පහසුවක් ළං කරන්නෙ ආදරණීය නුඹ නිසා.

"නිහඬබව"ඉදින් සත්තකින්ම නිහඬ නොවු නුඹට ප්‍රේම කරන්නියක්ව සිටිමි දැන් මගේ සිත.

ඇගේ දිනපොත.
22/07/2017