Tuesday, June 12, 2018

නුඹ කිනම් පැහැයක්ද....- 1




මළ හිරු බැස යන ලා දම් අහස දෙස කවුළුවෙන් එබී බලමි.ලා දම්...ලා දම් විතරමද අහසෙ තියන පාට දැන්...නෑ..ලා තැඹිලි වගෙම රක්ත ලා පැහැයකුත් අහස අරක්ගෙන ඉවරයි...ඉතින් මම ලා දම් කියන එකම විතරක් හරිද....ඒත් හැමෝම මේ මළ සැදෑවට දෙන්නෙ එකම පැහැයක්...ඒ තමන් වැඩිපුරම ඒ අහස පාට වෙලා තියනව දකින්න කැමතිම පාට...ඉතින් මම කියන්නෙත් ලා දම් අහස...ඒත් රක්ත ලා පැහැයත් මගේ නෙත සිත සොරකම්කරල ...එහෙනම් සාධාරණ ද මම ලා දම් අහස කියන එක....ඔව් ඉතින් මම ආසම පාට ඒ...ඒත් හිත හොරකම් කරපු ලා රක්තය....හ්ම්ම්....හරියටම නුඹ වගේමයි ලා රත් පැහැය...හිත හොරකම් කරගෙනම ඉවරයි...ඒත් බැල්මකින් වත් අයිතිවාසිකමක් මට දෙන්න බැරි වුනු මගේ හිතම වැට කඩුලු සීමා දමමින් ලොවට නොකියූ නොපෙන්නූ ලා රත් පැහැය නුඹ...

කාලයක් පුරාවටම මගේ හිත නමක් නැති හැඟීමෙන් නුඹව දකිද්දි සතුටින් කරනම් ගසද්දි,මගේ මොළය ඒ හැමවෙලේම මතක් කලේ මට අයිතිය කියන මගේ අයිතිය....එහෙමනම් මේ වැරද්දක්ද...අනේ මන්ද...වසරක් හමාරක්ම ඉදහිට දකින නුඹ දිහා බලාගෙන විතරක්ම මම කල්පනා කලේම නුඹේ රුව තුළ සැගවුනු හුරුපුරුදුබව...අසීමාන්තිකව නිදහසේ දුවන සිතුවිලි අතර මම නුඹට දෙන්න නමක් හෙව්ව... අදටත් හොයනව...හෙටත් හොයයි...නුඹ මගේ මනසෙන් අයින් වෙලා යන දවස වෙනකන්ම....

"මට පේන්නෙ නෑ මෙහෙට වෙන්න"

නුඹ මුවින් නොකියා දෑසින් දොඩමළු වු පළමු වදන් පෙළ...හුරුපුරුදු ආඩම්බරකම මුහුණෙ රදවගෙන බලන බැල්ම...කලාතුරකින් දකින නුඹේ සිනහව සිරකරගත්තු තදින් පියවුනු මුව....ඒ මුහුණ පුරා ඇදි ගණ රැවුල ...පළමුවෙනි වතාවට හිතේ තදින් ඇදි යද්දි...මගේ මොළය මතක් කරන අයිතියට වඩා මගේ හිත හොයන හුරුපුරුදු බව මාව පාලනයට නතු කරගෙන හමාරයි....එදා ඉදන්ම හැමදවසකම දකින නුඹේ රුව නිසාම මගේ හිත එක්ක මගේ මොළය රණ්ඩු සරුවල් වෙද්දි මගේ දෑස හිතේ හැටියට නුඹේ රුව වින්ද....ඇත්තටම ඇයි මට නුඹට දෙන්න නමක් නැත්තෙ....

පෙර ඉදහිට දුටු නුඹව දැන් දැන් උදේ සවස දකිද්දි මගේ දෑස වගෙම හිතත් ගැස්සෙන්නෙ නෑ කිව්වොත් ඒ බොරුවක්...ඒත් ඒ හැමදාම මොළය මගේ හිතට රවමින් ඔරවමින් රිද්දන වාර ගණන වැඩි මිස අඩු නම් නැතුව ඇති....කාලයත් එකක්ම මගේ රුව නුඹේ දෑසෙහි නිරන්තරයෙන් ගැටෙද්දි ඔය මුවේ ඇදුනු හීන් හසරැල්ල ...හසරැල්ල...ඒකට එහෙම කියන්න පුළුවන්ද...?අනේ මන්ද...ඒක මන් ආසම විදිය...නුඹට ආවේණිකම වුනු විදිය...

"අද කොහෙද ගියෙ..වැඩ නැද්ද..."

"ගියා..ඔෆිස් එකේ වැඩකට ආවා..."

හැමදාම දකින හීන් හිනාවට වැඩියෙන් එහෙත් සීමාන්තිකව සිනහවක් නුඹ එදා දෙද්දි,මට නුඹෙන් මගේ දෑස ගලවගන්න ඒ තරම්ම අමාරු වෙයි කියන්න මම දැනන් නොහිටින්න ඇති...කොයිතරම් වෙලාවක්ද....මට මතක නෑ...නුඹේ රුව සෙනග අතුරින් වැසී යනකන්ම මම නුඹ දිහාම බලන් හිටිය....
දවසකට එක පාරක්වත් නුඹේ හිනාව දකින්න මම ලෝබ වුනා....මම හරිද....වැරදිද....දන්නෙ නෑ තව....

"උඹ ඔය මනුස්සයා දිහා ඔහොම බලන් හිටිය කියල මොනව කරන්නද...ඕක එච්චර හොද ලෙඩක් නෙමේ..."

"මුකුත් නෑ..."

මගේම යෙහෙළියක් මගෙන් අහපු දරුණු ප්‍රශ්නය...ඇයට ගැඹුරක් නොවුනු උත්තරය මගේ හිත ගැඹුරින්ම ඇයට විස්තර කර දෙන්න මට ඕන වුනා....ඒත් ඒ ඇස් ළග මම නිහඬයි...

ඇත්තටම මොනව කරන්නද නුඹ දිහා බැලුවට...අයිතිකරගන්න....නෑ මගේ අයිතිය මම දීල ඉවරයි සින්නක්කරම...බාගදා නුඹත් කාගේම හෝ සින්නක්කරම අයිතිකරුවෙක් වෙන්න ඇති....මම කරන්නෙම නුඹේ ඇස් දිහා බලාගෙන ඔහේ ඉන්න එක...පැහැදිලිම කඩදාසියක් වගේ තියන නුඹේ ඇස් වල මම දකින හුරුපුරුදු බැඳීම ගැන කල්පනා කරන එක....ආදරයක්ද ඒක....මම හිතන්නෙ ආදරයකටත් එහා ගිය බැඳීමක් වෙන්න ඇති....ආයෙමත් මට හිතෙන්නෙම මේ දැනුත් නුඹේ රුව දකින්න තිබුනනන්....

තවත් කාලයක් යද්දි මට දැනෙනව ලා රක්තයට තව හුගක් අය ආසයි....හැබැයි ඒ හැමෝටම ඕනෙ අහසට ලා රත් පැහැ කියල කියන්නම විතරයි.....නුඹට අයිතිය කියන්න විතරමයි....මට ඕන නෑ එහෙම...ඒත් නුඹව ඈත් කරගන්න හිත එකග නැති පාටයි...ඒත් ඉවසීමෙන් නුඹේ රුව විදපු මගේ සිතට නෙතට ඒ ඉවසීම නැති කරපු දවස....ඇසිල්ලෙන් උඩු දුවන නුඹේ තරහවට මම කවදත් බය වෙනව....ඒත් මට එද‍ා නුඹව සිනහ ගස්සන්නම  ඕන වුනා....

"මොකද අනේ ඔහොම රවන්නෙ...."

ඒ ක්ෂනයෙන් නැතත් මම යනව කියද්දි නුඹේ මුවේ පැතිරුණු පුළුල් සිනහව......නුඹට පුළුවන් සිනහවෙන්නත්....මම මටම කියාගත්තා....නුඹට මම හුරුවෙන්න හුරුවෙන්න නුඹේ නුහුරු ගති ඈතට යද්දි මට හැමදාම හීන් හිනාවක් හරි දෙන්න නුඹේ හිත නැමුනු හැටි නම් පුදුමයක්....ඒත් මේ සමහර දවසට නුඹ අදුරුම අඳුරු අළු පැහැයක්...හීන් හිනාවවත් නැති අඳුරුම දවස්....ඒ කිසිම දවසක මට හොයාගන්න බැරිවුනු එකම දේ....නුඹේ රුව මට මතක් කරන බැඳීම....නුඹේ ඇස් වලින් මට කියන දේ....පැහැදිලි....ඒ අයිතිවාසිකම් කියන්නවත් සාමාන්‍ය සුහදතාවක් වත් නම් නෙමෙයි ....ඒක....තවම මම හිතනව....

ආයෙමත් මගේ දෑස අහස දෙසටම ඇදෙද්දි ලා රක්තය සෑම අහුමුල්ලකම පැතිරිලා ඉවරයි...ඒත් මම දැනුත් කියන්නෙ මේ මළ සැදෑව ලා දම් පාටයි....ඒත් මට කියන්න ඕනම....මට තේරමක් නෑ...මේ අහසට අයිති ලා දම් පැහැයම විතරයි.....ඉතින් මම ඉදිරියට යා යුතුමයි....

"අයියෙ මේක ඔයාට..."

"මොකද්ද..."

"මගෙ වෙඩින් එක..."

පළවෙනි වතාවට නුඹේ ඇස් ඇතුලෙන් මගේ ඇස් වලට විදුලි සැර වැදුනා....දැන් අඳුරුම අළු පාටයි අහස....

(මිතුරියක් වෙනුවෙන් ලියා තැබීමි...)


12 comments:

  1. ගලාගෙන යන අපුරුව.හරිම ලස්සනයි.ජය වේවා !

    ReplyDelete
    Replies
    1. සාදරෙන් පිළිගන්නව මේ පැත්තට....බොහොම ස්තූති....

      Delete
  2. නපුරු මිතුරියක් වෙනුවෙන්.. :/

    ReplyDelete
  3. අපිට අහස නිල් පාටට පේනවා. ඉතින් අපි කියනවා අහස නිල් පාටයි කියලා. තව එකෙක්ට ඒක රතු පාටට පේනවා. ඒත් ඌ කියන්නෙත් අහස නිල් පාටයි කියලා. මොකද ඌ බයයි, නිල් පාටට පේන බහුතරය අස්සේ ලැජ්ජ වෙන්න. ඒ නිසාම හැමදාම පේන රතු පාට අහසට ,නිල් පාට අහස කිය කියා ඌ, ඌවම රවට්ටගන්නවා. ඕවා ඔහොම තමා රංජනී. වට් ටු ඩූ?

    ගොඩ කාලෙකින් ආපහු ට්‍රැක් එකට වැටිලා. කවුරු වෙනුවෙන් ලිවුවත් හිත ඇතුලේ කැකෑරෙන්නම ඕනේ, මේ විදිහට ලියන්න. නියමයි.
    ජයවේවා...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්....

      ඔවු අප්පා ඔයැයිගෙන් බැනුම් අහලම ට්‍රැක් එක අල්ල ගත්තා ආයිත්...

      Delete
  4. සතුටුයි ආයෙමත් ගිම්ම් ස්ටයිල් එක අපිට කියවන්න සැලැස්සුවට

    ReplyDelete