Thursday, January 26, 2017

ලුහුබැඳීමි...

"සුමිත් මහත්තයා හැප්පිලා..එතනමලු...කෑලි කෑලි කියන්නෙ..."

"ඔය අර කෙල්ලට කරපු අපරාදෙ තමා පල දෙන්නෙ..."

"රබර් වත්ත ඉස්සරහමලු..."

තැනින් තැන ඇසෙන කතා අතරින් මන් හෙමි හෙමින් ඉදිරියට ගියෙ ඇත්තටම මට මේ තිරිසන් මිනිසාගෙ මුහුණ බැලීමට ඇති වුවමනාවකට නොව තවමත් ඔහු තුළ එකදු හුස්ම බිදුවක්වත් ඇත්දැයි සැක හැර දැනගැනීමටය.
ඒ මූසල රාත්‍රිය තුළ ඔහු කළ තිරිසන් ක්‍රියාවට නිසි දඬුවම් මගෙන් ලැබුනාදැයි තහවුරු කරගත් මගෙ ඉබාගාතේ සැරිසරන මනස අමතක කළ නොහැකි ඒ මුස්පේන්තු දිනයට ඇදීයන්නට විය.

"අනේ ලොකු මහත්තයා මන් දරුවෙක් ලැබෙන්න ඉන්න අම්ම කෙනෙක්...මට කරදරයක් නන් කරන්නෙපා...මන් පුංචි මහත්තයා අමතක කරල අම්ම එක්ක ඈතක ගිහින් ජීවත් වෙන්නන්....අනේ මාව අතරින්න මහත්යො..."

වේලාවටත් වඩා මූසල අඳුරක් රජකරපු ඒ පාලු රබර් වත්ත මැද්දෙ මහ වැස්සට යටින් මගෙ අදෝනාව අහන්න කෙනෙක් හිටියෙ නෑ.උදේ හවස වදින දෙවියන්ටවත් මට පිහිට වෙන්න හිතක් නැති වුනෙ මගේම කාළකන්නි කමට වෙන්නැති.මගේ කුස තුළ හුස්ම ඇහිදින ලේ කැටිය බේර ගන්න පටාචාරාවක් මෙන් හතරඅත දුවපු දුර කිසිම වැදගැම්මකට නැති වුනේ,ලොකු හාමුගෙ වේගෙන් ආපු රෝද හතරෙ මාළිගාව නිසා.

අල්ලන්න බැරි විසල් වෘක්ෂයක් බව දැන දැනම බිම එතෙන්න නියමිත වෙලා තිබ්බ කේඩෑරි වැලක් ඒ වෘක්ෂය මතම වෙලුනෙ ආදරය කියන අත්වැල ඒ ගහෙන් ලැබුනු නිසාමයි.සුළං,වැහි වැනි දහසකුත් බාධක තරණය කරන් ආදරය ඇතුළින් කාලයත් එක්ක සරුවට ඇදී ගියපු ලියවැල මල් පිපිලා පල දරන්න කල් බැලුවේ නොසිතූ වෙලාවක.තමාගෙ සිරුරෙ එතීවුන් ලිය විසිකර නොදා ඒ විසල් වෘක්ෂය තවත් අතු පතර විහිදුවමින් කාටත් හොරෙන්ම නීතියෙන්ම ඒ මල් පිපුණු ලිය තමාගේම කරගත්තා.විදවන්නටම නියමිත වූ ඒ ජීවිත ඇතුලෙ රහසක් විදියට තියාගන්නට හදපු දේ වැඩිකල් නොයාම විසල් වෘක්ෂයෙහි උරුමක්කාරයගෙ දෙසවන වැටී තිබුනා.එදා සිට දේව වේෂයෙන් සිටි මේ නරුම හිත තුළ කැකෑරුනු වෛරය අඳුරු මුසල රැයක එළියට ඇදිල ආවෙ නොසිතූ විලසකට...

"උඹව අතැරියත් අපේ එකා අනිවාර්යයෙන්ම උඹව හොයන් එනවා.මට මගේ එකා නැති කරගන්න බෑ...උඹ මේ ලෝකෙන්ම තොලොංචි වෙලා පලයන්..."

කුස මතට අතහැරි ඒ දරුනු පහරත්,කුසට එක පිට එක එල්ලවු පිහි පරවල් නිසාම මම කපා හෙලු කෙසෙල් කඳක් මෙන් රබර් කොළ මතට ඇදවැටිනි.මගේ කුස දරාගත නොහී වේදනා දෙනවිට කුස තුළ වු ලේ කැටියා එළියට ඇද දමන්නට තරම් තිරිසන් හදවතක් ඔහු සතු විය.එයින් නොනැනවති දහසකුත් එකක් වද හිංසා මත ජීවිතය ඉල්ලා හැඬූයෙමි,විලාප තැබූයෙමි.නැත...ඒ අසන්නට කිසිවෙකුත් එදා සිටියෙ නැත.

සාක්ෂි කියා පෙන්නන්නට දෙයක් ඉතුරු වී නොතිබුනත් යක්ෂයාගෙ ඉව වැටී සිටි මගේ ආදරණීය සැමියා සාධාරණ ඉල්ලා අරගල කරන්නට විය. ආදරය නාමයෙන් තිළිණ වු උරුමය දකින්නට සිහින මත සිහින  ගොඩනැංවූ මගේ විදත් පොලිස් පොතේ තමාගේම පියාට විරුද්ධව අත්සන් තැබීය.එහෙත් නීතිය අවනීතිය වූ කලක සාධාරණයක් බලාපොරොත්තු විය හැකිද....

"නිවසේ මෙහෙකාර සේවය සදහා සිටි නිසංසලා නම් සිව්මස් ගැබිණියට දරුනු වද හිංසා කොට ඝාතනය කිරීම සම්බන්ධව සැකපිට අත්තඩංගුවට පත් ව්‍යාපාරික සුමිත්  වර්ණකුලසූරිය මහතා නිදොස් කොට නිදහස් කරන ලෙස ගරු අධිකරණය නියෝග කරයි"

ඒ මුස්පේන්තු අඳුරු දවස නිමවී හත් දොහක් යන්නට මත්තෙන් කාසි කොළ වල බලය පෙන්නමින් සත්‍ය වලදැමීම අපුරුවට  කලු කෝට් බෑය තුල රිංගා සිටින මිනිසුන් යැයි කියාගන්නා අධම වෘක්කයන්ට පහසුවෙන් කල හැකි විය.
ඉතින් මට වූ අසාධාරණයට මගේම කුස තුළ පණ ගැහුනු ඒ ලේ කැටියා එළියට ඇද දමන්නට තරම් තිරිසන් මානසිකත්වයක් ඇති ඔහුට මා විසින්ම දඬුවම් නියම කළෙමි.එය වරදක්ද,පාපයක්ද මා සිතිය යුතු වුවත් එය මගහැර මට මේ පොළව මත අයිති ඉඩ සොයා ඔහේ සැරිසැරුවෙමි.ඒ යන මග අතර තවමත් සුදු කොඩිය ඉබාගාතේ පැද්දෙමින් මගේ නිවස ඉහළින් රැදිනි.ටකරන් මඩුව යට කීපදෙනෙකුගේ ඡායවන් දුටු අතරම මගෙ ආදරණීය අම්මාගෙ කඳුළු වෙලි නොගිය ගිලුනු ඇස් දෙස නිරුත්තර මනසින් ඔහේ බලා සිටියෙමි.

"මගේ ආදරණීය නිසංසලාට මින් මතු කිසිම භවයක මෙවන් විපතක් නොවේවා...!!මෙපින් බලයෙන් ඇයට සුගතියක්ම වේවා...!!"

මගේ කුස ගැහුනු ඒ ලේ කැටියාගෙ උරුම කරයා වුනු මගේ ආදරණීය පුංචි මහත්තයා විදත්....ඒ හඬට මන් ආයෙත් බෝධි මලුව දෙසට හෙමි හෙමින් ඇදී යන්නට විය.

11 comments:

  1. නියමායි X 2.
    ++++++++++++++++++++

    ReplyDelete
  2. තිරිසනුන් ගැන අනුකම්පා භිතෙනව වෙලාවකට .
    නියමායි 3

    ReplyDelete
  3. නීතියෙන් නිදහස් වුනත්, ඒවට දඬුවම් කොහේ හරි තියෙන බව මම විශ්වාස කරනවා.

    ReplyDelete
  4. සූපර් මචී...
    පට්ට කෙටිය ඈ...

    ReplyDelete
    Replies
    1. මහේෂ්....ඔබ නැති ලෝකය අඳුරුයි පාලුයි...උඹ ලියන්න ඕන. උඹ මාව කියවපු එකෙක් නිසා, මට ඒක තේරෙනව. ආපහු පටන් ගන්න.

      Delete
    2. ස්තූති හොද්..:-)

      අන්න ඒක තමා ඔය මහේස් මහතාට අපිත් කියන්නෙ

      Delete