Tuesday, December 11, 2018

බලාපොරොත්තුව




හිමි නොවන හුරුපුරුදු බැඳීමක
හිමිකමක් නොසොයාම
අයිතියක් නොකියාම
නුඹේ සුරතෙ එල්ලෙමින්
අපේ ඇස් කිවු කතාවක
හිස්තැනක් ගළපාන
ආදරය හැමදාම
මගබලනව සොඳුර
හෙටත් මේ බංකුව මතම....


12/12/2018
~ගිම්මි~

Wednesday, November 28, 2018

ප්‍රේමය හමුවීම




ගෙවුණු විසිතුන් වසක් පුරා
මම ප්‍රේමය සොයා ගියෙමි
දුටු තැනක ප්‍රේමය ඇත්දැයි
අකුරු කියවා බැලූයෙමි
හමුවුණු ඇතැමුන් ළග
ප්‍රේමය ඇතිදැයි විමසුවෙමි
නමුදු ඒ කොතැනවත් නැති 
ප්‍රේමය දැනුනි වින්දෙමි
අයිතියක් නැති නුඹට පෙම්කර.... 


2108/11/27
~ගිම්මි~


Wednesday, October 24, 2018

දැවෙනවද...නිවෙනවද....





කොළඹ අහස හිරුගේ අයිතිය සඳුට පවරන්නට සූදානම්...ඒ අයිති හුවමාරුව  හැමදාම පුරුද්දට වුනත් මට පුළුවන් ද නුඹට හැර මගේ අයිතිය වෙන කෙනෙකුට පවරන්න..තාමත් මම අර සිමෙන්ති බංකුව උඩ...අපි කන්න ගත්තු වඩේ උරය භාගයයි හිස්වුනේ...මට තිබුනෙ ඒක ඉවර වෙනකන්වත් ඒ ගැන නුඹෙන් අහන්නෙ නැතුව ඉන්න...මොකද නුඹ අද ආවෙත් වෙනදා විදියටම ආදරෙන් ඉන්න...ඒත් මම ආවෙම ගින්නකින් ඇවිලෙමින් ඒ ගින්නෙන් නුඹ ද පිච්චෙන්නෙ මම ද පිච්චෙන්නෙ කියලවත් හිතාගන්න බැරිව....ඉතින් වෙනදට නුඹටත් වඩා ආදරෙන් මේ හමුව බලාපොරොත්තු වෙන මට අද මේ හමුව තවත් කල් ගියා නන් හොදෙයි කියල හිතුනු වාර ගණන අනන්තයි....මොකද නුඹ නොදන්නවට මම දැනගෙන හිටිය මේ අවසානය මොකක් වුනත් අද මට විදගන්න වෙන බව....ඒ මොනව වුනත් පුරුද්දට නුඹට ගේන රෑ බත් පාර්සලය මගේ අත් බෑගයෙ බලා ඉන්නව නුඹේ අත් අතරට මැදිවෙලා යන්න....

"මේ...අර කෙල්ල මොකද එච්චර ඔයාගෙ ඇගේ එල්ලෙන්නෙ..."

"කව්ද...?"

"අර හැමදාම ඔයා ළගින්ම ඉදගන්නෙ....."

"අපෝ....එයා මහ වදයක්...."

නුඹ එදා ඉදන්ම කිව්වෙ ඒක...අදත් කිව්වෙ ඒකමයි...."ඒකි මහ වදයක්..."
ඒත් මගේ හිත තාමත් උත්තර නැති ප්‍රශ්න වැලකින් පැටලි පැටලි යනව...ඒ පැටලුම අවසානෙ මහ විසාල ගින්නක් වෙන්න කලින්ම නිවා දමන්නයි අවැසි මට....ඒත් මට තරමටම නුඹට ඒ ගින්න දැනෙනවද...නුඹට ඒක නිවන්නට අවැසිද යන්න මේ දැනුත් මම හිතනව මෙතන මෙහෙමම ඉදගෙනත්....අනේ මන්ද....නුඹත් මේ හැන්දෑවෙ අහස වගේ....නුඹේ හැඟීම් නුඹ හරි ඉක්මටනට වෙනස් කරනව...මේ දැන් තැඹිලි පාටයි නන් අහස තව මොහොතකින් දම් පාට වෙනනත් පුළුවන්...අළු පාට වෙන්නත් පුළුවන්....නුඹ හරියටම අන්න ඒ වගේ...මේ මොහොතකට කලින් දොඩමළුයි මට ඇසිපිය වත් හෙලන්න නොදි නුඹ ළග තියාගන්න තරමටම...ඒත් ඊළග මොහොත නිහඬයි මට නුඹෙන් ඈතටම දුවන්න හිතෙන තරමටම...ඇයි ඒ.....හ්ම්ම්....මම දන්නව නුඹ ගැන...නුඹ වුවමනාම දේ විතරක් කතාකරන,හැම හැඟීමක්ම නුඹේ හිත ඇතුළෙම තියාගෙන රසවිදින එහෙමත් නැත්නම් විදවන අමුතු ආදරවන්තයෙක්...මට ඕන වුනෙත් නුඹ වගේ පිරිමියෙක්....ආඩම්බරකාර ආදරවන්තයෙක්....ඒ දැන දැනත් මම මෙහෙම ඉන්න එක හරිද....සිමෙන්ති බංකුව උඩ තාමත් වඩේ උරය.... විසික් කරනවද....අරගෙන යනවද....

"ඇයි ඔයාට කියන්න බැරි...."

"මොකද්ද...."

"ඔයාගෙ ඇගේ එල්ලෙන්න එපා කියල..."

"මේ අහන්න....ඔයාම කියන්නකො ඔයා ඉස්සරහම මම දවස් කීයක් බැනල ඇතිද...."

"හ්ම්ම්....."

ඇත්ත....නුඹ මගේ ඉදිරියෙම ඇයට තියා මටවත් දරාගන්නට අසීරු වදන් වැල් ඇයට දමා ගැසුව වාර අනන්තයි...ඒ කවදත් මම නුඹව සන්සුන් කරගත්තෙ මගේ එක බැල්මකින් විතරයි....

මේ එකම දේ මම අහන්නෙ අදට හරියටම තුන් මාසයයි දින එකොළහක් පුරාවටම.....ඒ මූසල හැන්දෑවක විසකුරු හැපින්නක් මගේ හිතේ අවුළුවා ලු ගින්න....එහෙත් මේ මගේ ගින්නටත් වඩා වේගෙන් බුර බුරා නැගෙන නුඹේ තරහව...ඒ ගිණි කන්දක්....හැමදාම මම එතනදි පරාදයි කියල නුඹට අගවනව....නුඹ හරි වුනත් වැරදි වුනත්....ඇයි ඒ...මට වත් හිතා ගන්න බෑ තාමත් ඒ මොන හේතුවක්ද...ඇත්තටම මේ ආදරය රැකෙන්නෙම අපේ නිහඬබවින්....මම ගිනිගනිද්දි නුඹ මටත් වඩා ගිනි පුපුරු විසුරුවා හරිනව....ඉතින් මම නි⁣විය යුතුමයි....හේතුව....මගේ හිත කොයිවෙලෙත් කොනිත්ත කොනිත්ත මතක් කරනව....මොකද්ද...

"උඹට එයා නැතුව බෑ....උඹ කවදාවත් එයා ඉස්සර කරන්න කැමති නෑ...උඹ පරාදයි...."

ඔව් එහෙම වෙන්නැති....එහෙනන් අද මොකද්ද මේ වුනේ....ඉස්සර කරන්න අකමැතිම රේඛාව  මතයි මම අද හිටගෙන ඉන්නෙ...ඔහුත් එතැනමයි....එහෙනම් කවුරු මේ රේඛාව ඉක්මවා යා යුතුද...."මම"....තීරණය බර වැඩිම ඒ පැත්තට...මේ ගින්නෙන් ඒ තරමටම මම හෙම්බත් වෙලා....ඒත් නුඹ පඬුපැහැ හිස් කඩදාසික් වගේ...කිසිම හැඟීමක් ලියවිලා නැති නුඹේ වත මාව බලාපොරොත්තු වෙනවද....නැතිනම් මම රේඛාව ඉක්මවන තුරු බලා ඉන්නවද....අව්ව නැති එකත් හොදයි...නැත්තනම් මෙහෙම කල්පනා කරන්නත් අමාරුයිනෙ....ඒ අහුමුළුවලින් මට ඒවත් හිතෙනව...මේ හැමදේම තුන් මස් එකොළොස් දිනක් මම අහපු වගෙම නුඹ මට කියු ⁣දේ.....ඒත් මේ අද මම අවුළුවා ගත්තු ගින්න....මරණීය විස දළ වලින් පිරුණු ගින්නක්....

"මේ බලන්න...මේ බලන්න....එයා කියනව ඔයා එයාට ආදරෙයි කිව්වලු....ඔයා එයාව හම්බවෙලත් තියනවලු....."

අද මේ ගින්නට ඇවිලෙන්න දුන්නු ඉන්ධන...විසකුරු හැපින්න  අතිශෝක්තියෙන් කියපු හැමදේම මගේ දුරබණුවෙ සටහන් වෙලා....ඉවසිය නොහැකි තවත් මට....ඉතින් තවත් මගේ රේඛාව රැකගන්න අවැසිද...නැතිනම් අදත් පරදිනවද...

"පිස්සුද අනේ....හරි නල්ලමලේ බඩ්ඩනෙ ආදරේ කියල ගිහින් හම්බවෙන්න....ඔයත් කාගෙ හරි කුණු ටිකක් ඔළුවෙ දාගෙන මාත් එක්කම කියවගෙන එනව....ඒකිට තියෙන්නෙ ඉරිසියාව...ඔයාට තේරුම් ගන්න මොළයක් නැද්ද....කට වහගන්නව දැන් ඇති හොදටම....අනික ඔයත් හාර හාර අවුස්සන හින්ද තමයි ඕකි කියවගෙන එන්නෙ ඔයා එක්ක....."

"ඔයා කියන්නෙ තමන්ගෙ මනුස්සයා ගැන වෙන එකියක් ඇවිල්ල  කියද්දි බකන්නිලන් ඉන්න කියලද.....මට ඕන ඇත්ත දැනගන්න...."

අද මමත් පරදින්න සූදානමින් නෙමෙයි ආවේ....ඉතින් කොහොම හරිම නුඹෙන් මෙය දැනගත යුතුමයි මම....නුඹට වෙනව මේ හැමදේම අකුරක් නෑරම මට කියන්න.....නැතිනම් මම ගෙදරින් එළි බහිද්දිම ගත්තු තීරණය,දැකපු  අවසානය මා භාරගත යුතුමයි....නුඹේ ඔය නිහඬ පිළිවෙත තමයි මගේ  හිතුවක්කාරකම අවදි කරවන්නෙ.... ඒත් කවදත් නුඹව තරහ ගස්සන මගේ හිතුවක්කාරකම නුඹ එක සතයකටවත් මායිම් කළේ නෑ අදත්....ඉතින් මගේ ගැහැණු හිත අසරණයි...හිතන්නත් කලියෙන් මගේ කඳුළු ඇහි පිය වැට පනිද්දි නුඹේ දඩබ්බර පිරිමි හිත සසල වුනා නොහිතපු ලෙසකට....

"හරි මම කියන්නන්....."

නුඹ ලෑස්ති පරදින්න....මම හිතින් හිතුව මීට ⁣මිනිත්තු කීපයකට පෙරම...ඒත් කව්ද දැන් පරදින්නෙ අදත්...මගේ හිතේ සිහින් ඉදිකටු තුඩු දහස් ගාණක් ඇනෙමින් හිරිවට්ටවනවද මන්ද....මොනව කියයිද නුඹ....

"එයාව අදුරන්නෙ මම ටික කාලෙකට කලින් ඉදන්......."

එතනින් පටන් ගත්තු  නුඹ, ඇය නුඹෙන් ඉල්ලුව සුළු සුළු උදව් උපකාර නුඹ ඇයත් සමග කළ අතමාරු පහුවෙන්න ඇය නුඹෙන් ආදරය බලාපොරොත්තු වුනු විදිය මේ හැමදේම එකින් එක කියද්දි මගේ ගින්න නිවෙන බව දැ⁣නීම වැඩි වෙනව වගෙයි....ඒත් මට ඕනම පිළිතුර මම ම ගත යුතුයි....

"එතකොට ඔයා ආදරෙයි කිව්වෙම නෑ කියලද කියන්නෙ...."

"ඔව් ඔව් සිංහල තේරෙනවනෙ...."

"හොදටම විස්වාසයිනෙ...."

"මේ ඔයත් මගෙන් බැණුම් අහන්න හදන්නෙ....එක එක #%&*@* අහල....ඔයාට ඕන දෙයක් හිතාගන්නව මාව විස්වාස නැත්තන් මන් යනවා...."

ඔව් නුඹ ගියා රේඛාව මතට....නුඹෙත් ඉවසීම් කඩඉම මම තුන් මසක් එකොළොස් දිනක් තිස්සෙම පිරික්සනව.....එකම ගින්න වෙනස් විදි කීපයකටම දල්වල බැලුව.....ම්හ්ම්....නුඹ එකම තැන එක ඉස්පිල්ලක් පාපිල්ලක් වෙනස් නොවී එකම විදියයි....එහෙත් අර හැපින්න ඒ හැම දවසක්ම මට දුන්නු විස විවිධාකාරයි.....ඉතින් දැන් තීරණය ගත යුතුමයි...නුඹේ අර ගිනි කන්ද පුපුරන්න තව තත්පර ගාණයි....එහෙත් යනව කියල ගිය නුඹ මාව නොදකින්න මුහුද දෙසම බලාගෙන නැවතිල්ලෙ...දැන් තමයි වෙලාව....මම අත ගෑව සිමෙන්ති බංකුව..සීතලයි....එතකොට මේ වඩේ උරය.....ඒක අරන්ම යනව....

"මාත් එනව....මට විස්වාසයි ඔයාව....ඔයා නැතුව බෑ...."

අදත් රේඛාව මතින් මම පසුබැස්සා....වඩේ උරයත් අරන් මම එල්ලුනා ඒ සිහින් දිග අතක...රෑ බත් පාර්සලයත් හරි ඉක්මනට පැන්නා ඒ දෑත් අතරට.....

"මම ආදරෙයි....."

ඒ නුඹෙන් මම අහන්න කැමතිම...නුඹ නිරන්තර නොකියනම වචනය......



Saturday, September 22, 2018

ඒ තරුවක්...



"හරි රස්නෙයි...."
මේ ඉරෙන් හරි කරදරයි....
අයින් කරන්න එහෙනන්
මුළු අහසින්ම.....


"බැරි දේවල් කියන්නෙපා"
කොහොමත් ඉන්නම වෙනව...
දරාගන්න එහෙනන්
අකමැත්තෙන්ම හරි....


"තරුවක් වෙනවද..."
ඉරක් තරමට කරදර නැති...
ඊටත් වඩා එළියක් දෙන...


"පුළුවන්..."
තරුවට පුළුවන්ද හෙට
නවතින්න මහ දවල්ටත්....


"නතර කරගන්නම්...."
 ඒත් ඉරක් මැ'යි පිළිගනිවිද....
මොන දේ කළත්....
ඒ තරුවක්....

Wednesday, June 27, 2018

නුඹ කිනම් පැහැයක්ද......- 2

"අයියෙ මේක ඔයාට..."

"මොකද්ද..."

"මගෙ වෙඩින් එක..."

ඔව්...නුඹ නිවැරදි...එදා මගේ හදවත අඳුරුම අඳුරු අළු පැහැයක්...නිකන්ම නෙමෙයි මහා සද්දෙන් අකුණු වදින මූසලම වුනු සැන්දෑවක්....ජීවිතය යථාර්ථයත් සිහිනයත් අතර කටුකබව විදගත් වේදනාන්මක හෝරාවක්...නුඹ මාව ලා රක්තයෙන් සායම් කරද්දි මට නොහැකි නුඹ ලා රත් පැහැයක් නොවේ යැයි කියන්න...ඒත් මම කියන්නෙම ඒ මළ සැදෑව ලා තැඹිලි පාටයි....ඒ මම කියන්න ආසම පාට කාලයකදි...ඒත් දැනුත් දෛවයේ මොකක්දෝ සරදමකට කැමැත්තක් ඇතුවත් නැතුවත් මට කියන්න වෙන්නෙත් මේ මළ සැදෑව ලා තැඹිලි පාටයි.....

ලා රත් පැහැය මගේ සිත සොරකම් කරලම නැද්ද....මම මේ තරම් කාලයකට දැනුනත් නොදැනුනා මෙන් සිටිය නුඹ ගැන විදගත් හැඟීම් රෑන...ඉතින්...මම වැරදි...මට කවමදාවත් කියන්නට නොහැකි ලා රත් පැහැය මගේ නෙත සිත සොරකම් නොකල බව....මේ මගේ යැයි කියන්නට අයිතියක් ලබා දිය නොහැකි නුඹ දුටුව පළමු දවස...මගේ ආඩම්බර විදගත් නුඹත් නුඹේ ආඩම්බර විදගත් මමත් හැගීම් විරහිත මුහුණෙන් ,කතා කරන දෑසින්, දොඩමළු හදවතින් මුළු ලොවකට රහසින් අපි අපිට ලංවෙලා....හැඟීම් විරහිත මුහුණින්....ඔව්...ඒ මම ම විතරයි....නුඹේ මුහුණ හැඟීම් සාගරයක්....ඇසිල්ලෙන් වෙනස්වන නුඹේ වුවනත හැඟීම් මගේ හදවතේ රළු බව සෝදා දමන අපූරුව....නිරන්තර සිනහවෙන නුඹේ දෑස්...දොඩමළු නුඹේ මුව අමතක කරනව මට මගේම අයිතිය....නුඹට කාලයක්ම හිතාමතාම වසන් නොකෙරුව එහෙත් වසන් වී තිබුනු සත්‍යයි එය....

"ඔයා මම එව්ව වීඩියෝ එක බැලුවද..."

"හ්ම්ම්...ඔව්...."

"ඉතින්....තේරුනේ නැද්ද...."

"හිතාගන්න බෑ..."

"එයා ඔයා වගේ...."

නුඹ තවම පුංචි සමනළියක්....අහස පුරාම ලා රක්තය තවරගෙන තටු ගැහුවත්...මේ අහසට බලා හිදිනව හැරෙන්නට තටු ගහන්න අවසර ලියා දිය නොහැකි...ඉතින් නුඹේ බොහෝ ඉඟි ළග මගේ මුව මුනිවත රකිනව....ඒත් මගේ හිත...තව තවත්...තව තවත් ඉල්ලන්නෙම නුඹේ බොළද කටකාරකම්....සතුටින් කරනම් ගසන මගේ හිතේ එක පැත්තකට අනෙක් පැත්තෙන් ලැබෙන්නෙම රැවුම් ගෙරවුම් විතරමයි...නුඹට වගෙම මටත් විකල්ප නැති එකම මගක් පමණක්ම ඇති මාවතක අපි අපි දිහාම බලාගෙන විදිනවද...විදවනවද...නුඹට වගෙම මටත් තේරුමක් නෑ...නුඹ ආසම මගේ ආඩම්බරකමට...ඒත් මම ආසම නුඹේ....ඇත්තටම....හැමදේටම....එකම එක දෙයක් කියල කියන්න පුළුවන්නන්....එහෙනම් නුඹ ගැන දැනෙන මේ හැඟීම් රෑනටත් නමක් දෙන්න තිබුන හරි ඉක්මනටම....නුඹට වගෙම මටත්....මට වගෙම නුඹටත්....
මේ තියෙන්නෙ නමක් ගමක් ලියාගන්න බැරි අයිතියක් නැති නිර්නාමික බැදීමක්...ඇයි අපි ඒකට ආදරය කියන්නෙ නැත්තෙ....නුඹ වගෙම මමත් භයයි අපි කැමතිම පැහැයෙන් මිදෙන්න...හිත සොරකම් කරන පැහැය ළග නවතින්න...භයයි...කාටද...අනේ මන්ද....

"ඒ කවිය ඔයාට නෙමෙයි...."

"මේ ඇහුනද....ඒක වැරදුනා මට...ඔයාට නෙමෙයි එවන්න ඕනෙ..."

"හ්ම්ම්...."

"ඔයාට කවි ලියන්නෙ මොකටද මම....."

මම දන්නව නුඹේ කවි වල මම ඉන්න බව....ඒත් නුඹේ කවි අයිති මට නෙමෙයි...ඒ බව නිරන්තර නුඹේ මුවින් ගිලිහෙද්දි...ඒ කවි වල සින්නක්කරම අයිතිය වෙන කෙනෙකුගෙ කියද්දිත් මට දැනුනා නුඹේ කවි වල මමත් ඉන්න බව....ඒත් නුඹ නොපෙන්නා ඉන්න හැදුව කවියත්....මම නොදැනුනා ලෙස විදින කවියත් නුඹත් මමත් වසන් කරන එකම පැහැයක්...ආයෙමත් නුඹේ ඉඟි ළග මම අසරණයි....මට දැනෙනව...නුඹත් නුඹේ හිත ළග අසරණයි....නුඹ වගෙම මගේ අයිතියත් මම සින්නක්කරම ලියා අවසන්.....එහෙනම් මොන කරුමක්කාර බැඳීමක්ද මේ....මට මමත් නුඹත් මේ ලෝකයත් මේ දෛවයත් වෙනස් කරන්න පුළුවන් වුනානම් එක මොහොකට...

"එකාතකින් මට නුඹව මුණනොගැසී මගහරින්නත්....එහෙමත් නොවුනිනම් සදාකාලික අයිතිවාසිකම ලියාදෙන්න හෝ තිබුනා මට..."

ඇරඹුම කවාදාදැයි නොදන්නා මේ බැඳීමක පෙන්නූ හැඟීම් වලටත් වඩා නොපෙන්නූ හැඟීම් නුඹ දෙසට දරුණු ලෙසම බලපෑම් කරද්දිත් මට මාවම සඟවන්න ඕනි වුනා...වෙන කිසිවමක්ම නොවෙයි ඒ නුඹත් ලෝකයට තවත් අසම්මතයක් වේ යැයි බියෙන්..නුඹේ ගැන මගේ හිත පුරවගත්තු බරැති හැඟීම් රෑන වගෙම මට නිරන්තර වදදෙන හැඟීම...මම නිසාම නුඹ වරදකාරියක් වෙයිද....ඉතින්...නුඹේ දෑස් ඒ සිනහව කිසිම විශේෂයක් නොමැති බව මගේ මුවින් පවසද්දිත්...නුඹ නෙදෙැක ගෙවුනු හෝරාවට මගේ සිත නුඹ සොයන තරමත්....මගේ සිහිනවල නුඹ නොමැති බව පවසදදිත්....සිහිනයත් නුඹවම පතන බවත් නුඹ දන්නවනම්....කරන්නම දෙයක් තියනවද...ඒ දැනගත්තත්...

සිනමාව ගීතය ඇතුළින් එකතු වන බොළද ආදර කතාවක් ලෙසම අපේ කතාවත් මේ බැඳීමත් එකතු වෙනවනන්....නුඹට වඩා වයසින් මුහුකුරා ගිය මමත් දැන් නුඹ තරමටම බොළද හැඟීම් ළග මංමුලා වෙනවද මන්ද....කොයිතරම් නුඹ ළග කඩා නොවැටී ඉන්නට වෙර දැරුවත් අසාර්ථකයි මම...නුඹේ එක කෙටි පණිවුඩයකට වත් පිළිතුරු නොලියන මම වරින් වර දුරබණුව බලන්නෙත් නුඹේ කෙටි පණිවුඩයක්....නෝක්කාඩුවක් බලාපොරොත්තුවෙන්....ඒත්...නුඹට මගේ පිළිතුරක් නොලැබෙන තරම්....නුඹ පුරුද්දටද මන්ද නොක්කාඩුවක් හරි කෙටි පණිවුඩයකට අමුණල එවද්දි මගේ හිත කරනම් ගසන තරමක්...ඒ දැනෙන හැඟීම්....කුමක්ද කියල පහදන්න පුළුවන් නම් නුඹට මම බොහෝ දේ පවසා අවසන් වෙන්නත් තිබුනා .....


"ඇයි ඒක ඇන්දෙ නැත්තෙ...."

"හරි මම හෙට අදින්නන්...."

"ඕනි නෑ මම තරහයි...."

මට මගේ හිතත් එක්කම දරාගන්න නොහැකි තරමට දැනෙන විරසකයන් මැද ඇයි මම නුඹට අවනත....නෑ මම නුඹෙන් ඈතට යනව....පුළුවන්ද....මම නුඹට දනවනව එහෙමත්....ඒත් මගේ හිත කඩාවැටෙනව නුඹ ළගදි.....මටත් අවැසි මම කැමති දේ නුඹ ලෙසම පවසන්න....නුඹ මම කැමතිම විදියට දකින්න....ඒත් මම මාවම සඟවනව...නුඹ නුඹව සගවනවටත් වඩා හරි ඉක්මනට.....අපි අපිවම සගවල සොයා යන්නෙ මොනවාද...වෙලාවකදි මම හිතනව...ඒත්.. නුඹටත් වඩා බැමි වලින් බැදුණු මම නුඹව අතරමං කරනවනන්....ඒ පවක් මම මටම කරගන්න....

"තාත්ති අපි ලෑස්ති...."

අද මේ මොහොත...නුඹ එදා දුන් ඇරයුමට සාධාරණය තුරුලු කරන් මගේ හැඟීම් සුපුරුදු ලෙසම වළ දමා සූදානම් වෙමි....නුඹ අද වෙනදටත් වඩා සුන්දර බව මෙනෙහි වන වාරයක් පාසාම හිතට දැනෙන බර හැඟීම...එ් මොකද්ද....පිරිමි පපුවක් හැඟීම් කියන්නෙත් කලාතුරකින්....ඉතින් අදත් මම නිහඬයි....අහස ලා රත් පැහැයක්...නිවුනා සේ පෙනෙන මළගම් නොයන සැදෑවක්....ඒත් මේ ලා තැඹිලි පැහැ අහසක්....ඒ අහසෙ රැකවරණයෙන් සාරය ලැබු පුංචි වළාකැටි දෙකක්....ඉතින් මම එනව හැඟීම් වළදමා බලා හිදින්නට සුපුරුදු ලෙසම නුඹ දෙස....වළාකැටිත් දෑතට රැගෙන.....

"බලා සැනසෙමි නෙළාගනු බැරි
හන්තාන සිහිනේ....."

කොහේ හෝ ඈතක මගේ හද ගීය මටම ඇසෙන්නට වැයෙන අපූරුව....


(ඔහුගෙන් ඇයට)


Thursday, June 21, 2018

නිමිත්ත


කවියක් ලියවෙන්නෙම
වේදනාවක් තදින්ම 
හිත අස්සට රිංගන දවසට...


පණ ගැහෙන සියුම් නහරකම
ලේපාටටත් වේදනාවන්
උඩුදුවන ගොම්මනක.....


කඳුළු පොකුරු දෑසින්ම
පොරෝනාව තෙත් කරන
කළුවරම රෑකට....

ඉතින්.....

කවියක් ලියවෙන්නෙම 
කවියක් කියන්නෙම
වේදානාවක අංශුවට....


Tuesday, June 12, 2018

නුඹ කිනම් පැහැයක්ද....- 1




මළ හිරු බැස යන ලා දම් අහස දෙස කවුළුවෙන් එබී බලමි.ලා දම්...ලා දම් විතරමද අහසෙ තියන පාට දැන්...නෑ..ලා තැඹිලි වගෙම රක්ත ලා පැහැයකුත් අහස අරක්ගෙන ඉවරයි...ඉතින් මම ලා දම් කියන එකම විතරක් හරිද....ඒත් හැමෝම මේ මළ සැදෑවට දෙන්නෙ එකම පැහැයක්...ඒ තමන් වැඩිපුරම ඒ අහස පාට වෙලා තියනව දකින්න කැමතිම පාට...ඉතින් මම කියන්නෙත් ලා දම් අහස...ඒත් රක්ත ලා පැහැයත් මගේ නෙත සිත සොරකම්කරල ...එහෙනම් සාධාරණ ද මම ලා දම් අහස කියන එක....ඔව් ඉතින් මම ආසම පාට ඒ...ඒත් හිත හොරකම් කරපු ලා රක්තය....හ්ම්ම්....හරියටම නුඹ වගේමයි ලා රත් පැහැය...හිත හොරකම් කරගෙනම ඉවරයි...ඒත් බැල්මකින් වත් අයිතිවාසිකමක් මට දෙන්න බැරි වුනු මගේ හිතම වැට කඩුලු සීමා දමමින් ලොවට නොකියූ නොපෙන්නූ ලා රත් පැහැය නුඹ...

කාලයක් පුරාවටම මගේ හිත නමක් නැති හැඟීමෙන් නුඹව දකිද්දි සතුටින් කරනම් ගසද්දි,මගේ මොළය ඒ හැමවෙලේම මතක් කලේ මට අයිතිය කියන මගේ අයිතිය....එහෙමනම් මේ වැරද්දක්ද...අනේ මන්ද...වසරක් හමාරක්ම ඉදහිට දකින නුඹ දිහා බලාගෙන විතරක්ම මම කල්පනා කලේම නුඹේ රුව තුළ සැගවුනු හුරුපුරුදුබව...අසීමාන්තිකව නිදහසේ දුවන සිතුවිලි අතර මම නුඹට දෙන්න නමක් හෙව්ව... අදටත් හොයනව...හෙටත් හොයයි...නුඹ මගේ මනසෙන් අයින් වෙලා යන දවස වෙනකන්ම....

"මට පේන්නෙ නෑ මෙහෙට වෙන්න"

නුඹ මුවින් නොකියා දෑසින් දොඩමළු වු පළමු වදන් පෙළ...හුරුපුරුදු ආඩම්බරකම මුහුණෙ රදවගෙන බලන බැල්ම...කලාතුරකින් දකින නුඹේ සිනහව සිරකරගත්තු තදින් පියවුනු මුව....ඒ මුහුණ පුරා ඇදි ගණ රැවුල ...පළමුවෙනි වතාවට හිතේ තදින් ඇදි යද්දි...මගේ මොළය මතක් කරන අයිතියට වඩා මගේ හිත හොයන හුරුපුරුදු බව මාව පාලනයට නතු කරගෙන හමාරයි....එදා ඉදන්ම හැමදවසකම දකින නුඹේ රුව නිසාම මගේ හිත එක්ක මගේ මොළය රණ්ඩු සරුවල් වෙද්දි මගේ දෑස හිතේ හැටියට නුඹේ රුව වින්ද....ඇත්තටම ඇයි මට නුඹට දෙන්න නමක් නැත්තෙ....

පෙර ඉදහිට දුටු නුඹව දැන් දැන් උදේ සවස දකිද්දි මගේ දෑස වගෙම හිතත් ගැස්සෙන්නෙ නෑ කිව්වොත් ඒ බොරුවක්...ඒත් ඒ හැමදාම මොළය මගේ හිතට රවමින් ඔරවමින් රිද්දන වාර ගණන වැඩි මිස අඩු නම් නැතුව ඇති....කාලයත් එකක්ම මගේ රුව නුඹේ දෑසෙහි නිරන්තරයෙන් ගැටෙද්දි ඔය මුවේ ඇදුනු හීන් හසරැල්ල ...හසරැල්ල...ඒකට එහෙම කියන්න පුළුවන්ද...?අනේ මන්ද...ඒක මන් ආසම විදිය...නුඹට ආවේණිකම වුනු විදිය...

"අද කොහෙද ගියෙ..වැඩ නැද්ද..."

"ගියා..ඔෆිස් එකේ වැඩකට ආවා..."

හැමදාම දකින හීන් හිනාවට වැඩියෙන් එහෙත් සීමාන්තිකව සිනහවක් නුඹ එදා දෙද්දි,මට නුඹෙන් මගේ දෑස ගලවගන්න ඒ තරම්ම අමාරු වෙයි කියන්න මම දැනන් නොහිටින්න ඇති...කොයිතරම් වෙලාවක්ද....මට මතක නෑ...නුඹේ රුව සෙනග අතුරින් වැසී යනකන්ම මම නුඹ දිහාම බලන් හිටිය....
දවසකට එක පාරක්වත් නුඹේ හිනාව දකින්න මම ලෝබ වුනා....මම හරිද....වැරදිද....දන්නෙ නෑ තව....

"උඹ ඔය මනුස්සයා දිහා ඔහොම බලන් හිටිය කියල මොනව කරන්නද...ඕක එච්චර හොද ලෙඩක් නෙමේ..."

"මුකුත් නෑ..."

මගේම යෙහෙළියක් මගෙන් අහපු දරුණු ප්‍රශ්නය...ඇයට ගැඹුරක් නොවුනු උත්තරය මගේ හිත ගැඹුරින්ම ඇයට විස්තර කර දෙන්න මට ඕන වුනා....ඒත් ඒ ඇස් ළග මම නිහඬයි...

ඇත්තටම මොනව කරන්නද නුඹ දිහා බැලුවට...අයිතිකරගන්න....නෑ මගේ අයිතිය මම දීල ඉවරයි සින්නක්කරම...බාගදා නුඹත් කාගේම හෝ සින්නක්කරම අයිතිකරුවෙක් වෙන්න ඇති....මම කරන්නෙම නුඹේ ඇස් දිහා බලාගෙන ඔහේ ඉන්න එක...පැහැදිලිම කඩදාසියක් වගේ තියන නුඹේ ඇස් වල මම දකින හුරුපුරුදු බැඳීම ගැන කල්පනා කරන එක....ආදරයක්ද ඒක....මම හිතන්නෙ ආදරයකටත් එහා ගිය බැඳීමක් වෙන්න ඇති....ආයෙමත් මට හිතෙන්නෙම මේ දැනුත් නුඹේ රුව දකින්න තිබුනනන්....

තවත් කාලයක් යද්දි මට දැනෙනව ලා රක්තයට තව හුගක් අය ආසයි....හැබැයි ඒ හැමෝටම ඕනෙ අහසට ලා රත් පැහැ කියල කියන්නම විතරයි.....නුඹට අයිතිය කියන්න විතරමයි....මට ඕන නෑ එහෙම...ඒත් නුඹව ඈත් කරගන්න හිත එකග නැති පාටයි...ඒත් ඉවසීමෙන් නුඹේ රුව විදපු මගේ සිතට නෙතට ඒ ඉවසීම නැති කරපු දවස....ඇසිල්ලෙන් උඩු දුවන නුඹේ තරහවට මම කවදත් බය වෙනව....ඒත් මට එද‍ා නුඹව සිනහ ගස්සන්නම  ඕන වුනා....

"මොකද අනේ ඔහොම රවන්නෙ...."

ඒ ක්ෂනයෙන් නැතත් මම යනව කියද්දි නුඹේ මුවේ පැතිරුණු පුළුල් සිනහව......නුඹට පුළුවන් සිනහවෙන්නත්....මම මටම කියාගත්තා....නුඹට මම හුරුවෙන්න හුරුවෙන්න නුඹේ නුහුරු ගති ඈතට යද්දි මට හැමදාම හීන් හිනාවක් හරි දෙන්න නුඹේ හිත නැමුනු හැටි නම් පුදුමයක්....ඒත් මේ සමහර දවසට නුඹ අදුරුම අඳුරු අළු පැහැයක්...හීන් හිනාවවත් නැති අඳුරුම දවස්....ඒ කිසිම දවසක මට හොයාගන්න බැරිවුනු එකම දේ....නුඹේ රුව මට මතක් කරන බැඳීම....නුඹේ ඇස් වලින් මට කියන දේ....පැහැදිලි....ඒ අයිතිවාසිකම් කියන්නවත් සාමාන්‍ය සුහදතාවක් වත් නම් නෙමෙයි ....ඒක....තවම මම හිතනව....

ආයෙමත් මගේ දෑස අහස දෙසටම ඇදෙද්දි ලා රක්තය සෑම අහුමුල්ලකම පැතිරිලා ඉවරයි...ඒත් මම දැනුත් කියන්නෙ මේ මළ සැදෑව ලා දම් පාටයි....ඒත් මට කියන්න ඕනම....මට තේරමක් නෑ...මේ අහසට අයිති ලා දම් පැහැයම විතරයි.....ඉතින් මම ඉදිරියට යා යුතුමයි....

"අයියෙ මේක ඔයාට..."

"මොකද්ද..."

"මගෙ වෙඩින් එක..."

පළවෙනි වතාවට නුඹේ ඇස් ඇතුලෙන් මගේ ඇස් වලට විදුලි සැර වැදුනා....දැන් අඳුරුම අළු පාටයි අහස....

(මිතුරියක් වෙනුවෙන් ලියා තැබීමි...)


Tuesday, June 5, 2018

තනිකම





පණ ගැහෙන දහස්
හදවත් අතරෙහිද
මගේ හදවත විතරක්ම
පණ ගැහෙන හුදකලාවකද....


නුඹ,
අවසරයක් නැතුවම 
මට ඕනම වෙලාවටත්
මට එපාම වෙලාවටත්...


මම,
සොයන්නෙත් නුඹ 
වරෙක වේදනාවක්...
ආයෙමත් වරෙක 
හැඟීම් පිරි රසකැවිල්ලක්....


ඒත්,
බොහෝ නිහඬයි
තනිකම නුඹ....





Sunday, May 20, 2018

වැස්ස



වැස්ස කියන්නෙම
කල්පනා කරන්නම
හිත හීන දකින දවසක්....


පුංචි වැහි බිංදු අතරම
මට ඔහේ දඟලන්නම 
අවසර හොයන දවසක්.....


කෝපි උගුරක රස්නෙම
දෙතොලේ ගල්වන්නම
ඉඩ හදන දවසක්....


Thursday, May 17, 2018

ඉතින් මේ මොකද්ද?


මෙහෙම වැස්ස වැටෙන හැම රෑකම මගේ හිත කාටවත් කියාගන්න බැරි, නමක් නැති අමුතුම හැඟීම් රෑනකින් වැහිල යනව.ඒ හැඟීම් අතර හැමදාමත් නුඹේ නමත් හරි හරියට අනිත් හැඟීම් යටපත් කරගෙන උඩුදුවනව....ඉතින් මම කල්පනා කරනව..වෙලාවකට නුඹව හිත යටම හිර කරන් අනිත් හැම හැඟීමක් ගැනම....ඒත් තව වෙලාවකට නුඹ යටපත් කරනව ඒ හැඟීම් රෑනම...ඉතින් මම නුඹ ගැනම හිතනවද...නැතිනම් නුඹ මගේ හිතට බලෙන්ම එනවද...හිතාගන්න අමාරුයි...කොහොම වෙතත් අන්තිම ජය ගන්නෙ නුඹ...වෙන කරන්නම දෙයක් නෑ...අවසානෙදි මම නුඹ ගැනම හිතනව....

නුඹ ගැනම හිතනව...මොනවද මම හිතන්නම ඕන...මොනවද මට තව අලුතින්ම හිතන්න තියෙන්නෙ...හැම මොහොතකම හැම හැඟීමකම නුඹ ඉන්නව....ඉතින් මේ වැස්ස දිහා බලාගෙන කළුවරෙත් හරි හරියට නුඹ මගෙ හිතට ඔච්චම් කරනව...කරදරයක්...ඇත්තටම...මහා කරදරයක්...විදගන්නව ඒත් මම ඒ කරදරකාර හැඟීම විදවීමක් නැතුවම....

නුඹත් මේ විදියටම මම ගැන හිතනවද...මම වෙලාවකට කල්පනා කරනව....

"අනේ මන්දා"

මගේ හිත මටම දෙන උත්තරය...මමත් භාරගන්නවා ඒ උත්තරයම....ඒත් මගේ හිත කැමතිත්,හොයන්නෙත්,

 "මටත් වඩා නුඹ මම ගැන හිතනව" කියන උත්තරය...

ඒත් ඇත්තටම නුඹ මගේ ගැන හිතනවද...නුඹට මාව නැතුවම බැරිවෙයිද...එකින් එක එකින් එක හැඟීම් රෑනක් මගේ හිත වෙලාගන්නවා...ඒ හැඟීම් දිගේම ඈතටම අෑතටම ඔහේ පාවෙවි මගේ හිත නිදහසේ පියාඹනව...‍තව නුඹ ගැනම පුංචි පුංචි බලාපොරොත්තු...ඔව් අර හැඟීම් වලම එල්ලිලා හිතට ඇතළුවෙන බලාපොරොත්තු....

"කවද්ද ආයෙමත් ඔය රෑපෙ හිතේ හැටියට මගේ ඇස් ළගම තියාගෙන විදින්නෙ..."
පුංචි බලාපොරොත්තුවක්...

"අනේ මන්ද..."

මගේ හිත මට කියන එපාම කරපු උත්තරය...ඒත් එක්කම කලින් මට හිතුනු දේට අලුත් උත්තරයක් මගේ හිතම මට දෙනව...

"ඔයා තරමටම එයා ඔයා ගැන හිතන්නෙ නැද්ද කොහෙද..."
ඒකත් කොයිම දෙයක් වත් හිතාගන්න බැරි මහ විකාර හැඟීමක්...

" ඉතින් ඔයා දන්නවනෙ එයාට ඉක්මනටම එන්න බැරි හේතුව..."
"හ්ම්ම්..."

මගේ හිතම දෙපැත්තට බෙදිල නුඹ ගැන අරගල කරනව...නුඹව සාධාරණය කරනව...මට...ඔව් මට කරන්න දෙයක් ඇත්තෙම නෑ...මම අහන් ඉන්නව...හුග වෙලාවට මේක තමයි මම කරන්නෙ...අහගෙන ඉන්නව...මගේ හිතම නුඹ ගැන හිතන හැම දෙයක්ම අකුරක් නෑරම....ඒකත් ඇත්තටම මම ආසම කරන දේවල් අතරට දැන් එකතු වෙලා...

"දෝණී....මේ සීතලේ මොකෙද කරන්නෙ...ජනේලෙ වහල නිදගන්න..."

බෙල්ල විතරක් හරවල දොර දිහා බලපු මම ආයෙත් බැලුවේ...වැස්ස...අහස අඬලත් ඉවරයි...ඒත් නුඹ එහෙමමයි.....ජනේලය වහනවද....නෑ...සීතල නුඹ ඇතුලෙම මගේ හිත අතරමං කරයි...ඉතින් මේ මොකද්ද....ඔව්...ඇත්ත ඒක...

❤මම නුඹට ඇබ්බැහි වෙලා...❤


Sunday, May 13, 2018

අමාවක වු සඳ

"මනූ උඹ වැරදි බන්"

"ඔව් මන් දන්නවා බන්...ඒත්..."

"ඒත් නෙමෙයි...අහසක තියෙන්නෙ එක හඳයි...උඹ හඳක් වෙන්න හදන්නෙ අනුන්ගෙ අහසක..."

"මම...ඒත්  මට කලින් එහෙම කිසිම වුවමනාවක් තිබුනෙ නෑනෙ බන්...එයාමයි...."

"උඹ කියන දේ මට තේරෙනවා...ඒත් උඹ දිහා ඈතින් ඉදන් බලන එවුන්ට ඒක තේරෙන්නෙ නෑ..."

"හරි උඹම කියපන්...අහස ඉඩ දෙන්නෙ නැතුව මට හඳක් වෙන්න පුලුවන් ද...එයා එයාගෙ අහසෙ ඉඩ දුන්න නිසයි මන් හදක් වෙන්න හිතුවෙ..."

"ඒත් උඹ හිතන්න තිබුනා...ඒ තවත් හඳක්...ඇරත් අපි හොදටම දන්න කෙනෙක්...කොහොමද ඔය පව්කාරකම කරන්නෙ...."

"හිතට එන හැඟීමකට කොහ‍ොමද මන් සීමා මායිම් දාන්නෙ...."

"හිතට ආවයි කියලා හැම හැඟීමක්ම එළියට දාන්න බෑනෙ...අනික උඹෙ හිත පාලනය කරන්න ඕන උඹම මිසක් අපි නෙමෙයි..."

"මට නොතේරෙනවා නෙමෙයි බන්...ඒත් මට දැන් මේ ජීවිතේ එළියක් හොයාගන්න බෑ...."

"මොකද්ද...ඇයි දැන් එළියක් නැති වෙන්න තරම් උඹට මොනා වෙලාද..."

"හ්ම්ම්...කවුරුවත් කතා කරන්නෙ නෑ...මූණ බලන්නෙ නෑ...මන් දිහා බලන්නෙ හරියට ජරා සතෙක් දිහා බලනව වගේ...."

"මේ මමත් උඹ දිහා බලන්නෙ එහෙමද මනූ..."

"අනේ නෑ කෙල්ලෙ උඹ නොහිටින්න මන් කැම්පස් ගමනත් නවත්තලා...මන් වැරදි තමයි බන්...මන් ඒක පිළිගන්නවා...මන් ආයි ඒ අහසට හදක් වෙන්නෙ නෑ...ඒත් කවුරුවත් මාව පිළිගන්නෙ නෑ...."

"වෙනස් වෙයි හැමදේම...කාලයට ඉඩදෙන්න....යමන් දැන් ලෙක්චර් ඇවිත් ඇති"

"හ්ම්ම්..."