Monday, December 11, 2017

උඹත්... මමත්...

ජීවිතය තුළ ලද ලැබීම් නොලැබීම් දහස් ගණනක් අතරෙහි මගේ රැකියාව මා ලද භාග්‍යයක් ලෙස අද මම මේ විදින මුස්පේන්තු මොහොත තෙක්ම තදින් විස්වාස කළෙමි.එහෙත් අද....වසර විස්සක් පුරාව‍ට මා ජීවත් කරවූයේ මේ රැකියාවයි.මගේ අඹුදරුවන්ගේ,දෙමාපියන්ගේ නිහඬ ආඩම්බරය මා විය.අද මා මගේ හදවත සමග සටන් කරනුයේ පරාජය පිළිගෙනමයි.ඒත් අවසාන මොහොත හෝ වෙනස් විය හැකි...මගේ අරුත්සුන් බලාපොරොත්තුව.

මැදවච්චි නගරයෙනුත් කිලෝමීටර් ගණනක් ඇතුළට පිහිටා තිබුනු අපේ ගම.එ් ගමටම තිබුනු එකම සම්පත,ගමේ පාසල...එදාවේල අමාරුවෙන් හරිහම්බ කරගෙන ගොවිතැනින්,කුලී වැඩකින් ජීවිතේ ගැට ගසාගන්නා අපේ දෙමාපියන්...මතකද උඹට ඒ දුක පිරිච්ච ලස්සන දවස්.දවසකින් වේලක් වත් බඩට දැනෙන්න කෑමක් නොකෑව,ඒත් හැමදාම පාසල් ගියපු ඒ කාලෙ....අණ්ඩ දමපු නිල් කලිසම ඇදන් කහ ගැහුනු ෂර්ට් එක,පතුල් ගෙවනු බාටා දෙක දාගෙන,පොත් දෙක තුන අතට අරන් උඹයි මමයි ගුරු පාරෙ ගිනි අව්වෙ අපේ ජීවිතේ හදාගන්න දහතුන් අවුරුද්දක්ම එකට ඇවිද්දෙ පාසලට...ගණන් වලදි උඹ මට වඩා දුර්වල වෙද්දි මම උඹට වරු ගණන් ගණන් කියල දුන්නු හැටි.මට ස්වර හත වත් හරියට කියාගන්න බැරි වුනාට උඹ තමයි පාසලේ දක්ෂතම ගායකයා.සංගීත කාමරේ තිබුනු බටනළාව,වයලීනය උඹට ආදරේ කරපු තරම.

"සර්....වෙලාව හරි...ඔබතුමා එනවද..."

වෙලාව....විසි අවුරුදු රාජකාරි ජීවිතේ කවදාවත් තත්පරයක් වත් ප්‍රමාදයක් නොවුනු මට උඹ වෙලාව විතරක් නෙමෙයි මගේ මුළු ජීවිතේම එකම තැන නතර කරල.

"හ්ම්ම්...යමු මම එන්නම්..."

සහයකයා වුනත් බලනව ඇති ඇයි අද මම මේ තරම් තෝන්තුවාවෙන් කල්පනා කරන හේතුව.ඒත් උඹ...දන්නෑ තාම උඹේ ඉරණම අද මගේ පෑනෙන් ලියන බව.

උසස් පෙළින් පස්සෙ අපි ප්‍රතිඵල එනකන් වැලි ගොඩදැම්ම...අත්වල කරගැට පුපුරද්දිත් දවස් ගණන් වේදනාවන් හංගගෙන එකට වැඩ කරපු උඹ....දහම් පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායක වගේම ගමේ හැම වැඩකදිම මුල් තැන ගත්තෙ උඹ.නොහිතුව වෙලාවක අාපු අපේ ප්‍රතිඵල උඹව සෞන්දර්ය විශ්ව විද්‍යාලයටත්,මාව නීති විද්‍යාලයත් වෙන් කරල තිබුන.මතක ඇති කාලයක ගමෙන් සරසවි ගියපු කෙනෙක්ට හිටියෙ අපි දෙන්න විතරයි.

"උඹලට වරදින්නෑ කොල්ලනෙ...අම්ම තාත්තා ගොඩගනින් ඇවිත්..."

අපි කොළඹට එද්දි ගමේ හැමෝම කිව්වෙ එහෙම.ඒත් නොහිතපු විදියට අවුරුද්දක් යන්නත් කලින් උඹේ තාත්තා අම්මා ගියපු පරණ බයිසිකලය හප්පගෙන ගියපු ටිපර්කාරයා එදා ගියෙ උඹේ අම්ම තාත්තා උඩින්ට වැඩිය උඹේ ජීවිතය උඩින් කියලයි මම තාමත් හිතන්නෙ.එදා ඒ සිද්දිය නොවුනන් අද උඹ කොතනද....සෝමදාස මාමා එදා සදහටම ඇස් පියා ගනිද්දි, ලතා නැන්දා ජීවිත කාලයටම  එකතැන් වෙද්දි උඹේ නංගි මල්ලි උඹව බදාගෙන අඩපු තරම...අසරණ උඹ සරසවියට සමුදුන්න ජීවිතය ගැට ගහගන්න....ලෙඩ ඇඳට වැටුනු අම්මා රැක ගන්න..නංගි මල්ලිට හොඳ අධ්‍යාපනයක් දෙන්න.

කාලය  මාසෙන් මාසෙ ගෙවෙද්දි මටවත් උඹෙන් කිසිම තොරතුරක් නැතුව කාලය හරිම වේගෙන් පියඹගෙන ගියා.උඹ මොකද්ද කරන්නෙ,කෙහෙද ඉන්නෙ ඒ කිසිදෙයක් අපිට හොයාගන්න බැරිවුනා.මේ ගෙන්දගම් පොළවෙ උඹ ඔය දේවල් රස්සාවට තෝරගන්න උඹට හිත හදාගන්න පුළුවන් වුනාද....නෑ උඹේ හිත ඒ තරම් නපුරු නෑ...ඒත් උඹ අමතක නොකර කරපු එක දෙයක් තිබුන.හැම මාසෙකම උඹ නංගිට හදලා දුන්නු බැංකු පොතට මාසෙට සෑහෙන්න සල්ලි දැම්ම.මම ගමේ යන හැම වතාවකම උඹේ ගෙදරට යන්න අමතක කලේම නෑ.සල්ලි එව්වට උඹ ඉන්නෙ කොහෙද කියන්න අම්ම නංගි මල්ලි වත් දැනගෙන උන්නෙ කෑ.කාලය ගෙවෙද්දි උඹ වගෙම උඹේ නංගිත් සෞන්දර්යට තේරෙද්දි උඹේ මල්ලි වෛද්‍ය  පීඨයට යද්දි ඒ දෙන්නම උඹ ගැන මතක් නොකරපු වෙලාවක් නැති තරම්.

"උසාවියෙ වැඩ කටයුතු ආරම්භ කරන්න"

අසිහියෙන් වුවද මගේ රාජකාරිය මා කළයුතුමයි.

උඹ කොහේ හරි ඉදන් ඒ එවපු සල්ලි වලින් ඉගෙන ගත්තු උඹේ නංගි...නැතිනම් මගේ ආදරණීය බිරිඳ,උඹේ ළග දැවටුනු පොඩි කොල්ලා,උඹේ මල්ලි දැන් ශල්‍ය වෛද්‍ය අදීප ගුණරත්න...මේ දෙන්නම අද උඹව බලන්න ඇවිත්..දරාගන්න පුළුවන් වෙයිද උඹට...

"විත්තිකරු රැගෙන එන්න"

සුදු කමිසයට කළු කලිසම ඇදලා එන උඹව දැක්කම කොහොම නම් දරාගන්නද මම..ගමේ හිටපු අහිංසක කොල්ලා අද වැරදිකාරයෙක්....පාතාල සාමාජිකයෙක්....මීනිමැරුම් දහයකට සෘජුව සම්බන්ධ වීම් හා මහා පරිමාණ මුදල් වංචා සිදුකිරීම යන වැරදි ගොනුකරමින් විත්තිකරුවෙක් වුනු උඹේ ඇස් වල සිහින් කඳුළු පටලයක්...කොහොමද උඹ මෙහෙම වුනේ...උඹ ළගට ඇවිත් මම එදා අහද්දිත් ඒ කියන්න තිබුනු අවස්ථාවත් උඹ බලෙන්ම මගහැර ගත්තා.අද උඹේ නංගි මල්ලි ඇවිත් උඹව බලන්න...මම උඹේ ඉස්සරහ ඉදගෙන...

"මතු නියම කරන දිනකදි වැලිකඩ බන්ධනාගාරය තුළ හුස්ම සිරවන තෙක් එල්ලා මැරීමට නියම කරමි"

මා මගේ අවසන් රාජකාරිය කළ යුතුයි.හදවත විලාප තියමින් හඬා වැටෙද්දි රාජකාරි බුද්ධිය තීන්දුව දී හමාරයි.එම තීන්දුව කෙසේ කොහොම මා දුන්නාදැයි සිතාගත නොහැකි මුත් මගේ හදවත මාවත් පෝරකයට නියම කර ඇත.ඉදින් මම අසුනින් නැගී සිටියෙමි.කවරය තුළ සුරැකිව ගෙන ආ මගේ ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී උඹේ මුහුණ බැලීමට මම පිටතට පැමිණියෙමි.ප්‍රමාදයි...මගේ හොඳම යාළුවා...මගේ මස්සිනා...ඔහුව රැගෙන ගොස් ඇත නිකන්ම නොව මාගේ හදවතේ පලුවක්ද රැගෙනය.

Friday, October 6, 2017

~ගුරු අම්මා~


මිදී මව් තුරුල්ලෙන් නුඹ වෙත              ආ දා
හිස සිඹ තුරුලු කර මා සැනසුවේ         සදා
පැන්සල පෑන හුරු කර මගෙ අතට      එදා
දුන් සවි අගෙයි රන් මුතු මිණි                පරදා

කරනට යුතු නොකළ යුතු දේ       මග පෙන්නා
පසු පස පියමනින සෙවණැලි        අතර වෙලා
නිසිමග යවන්නට කල තරවටුව                එදා
ආදරයෙන් සිහි කරමි මා දිනුව                 මෙදා

වැයෙන බෙර පදට පා පොඩි                තබාලා
අත් පා ලෙලවන්න නළු රූ                   කියාලා
වේදිකාව මත මා අද ඇත                     දිනාලා
නුඹ සෙනෙහසින් ලොවක් අැතේ        තැනීලා

අ යනු ආ යනු කියා නිසි ලෙස               උගන්වා
වසරින් වසර ඉදිරියෙන්ම නුඹ මා          තැබූදා
හර බැර අතර සැගවෙන ම‍ා නෙත්       බලාලා
අදත් හිස අතගාන නුඹ මගෙ දෙටු        අම්මා

නොවැදුවත් කුසින් දස මස                      දරාලා
නුඹ ඇතෙයි දරුවන් දහසක්                   හදාලා
නුඹෙන් නොදුන්නත් ඇග ලේ කිරි          කරලා
පෙව් සිප් කිරි බලෙන් බුදුන් දකින්   ගුරු අම්මා

~ගිම්මි~
06/10/2017

Friday, August 25, 2017

දයාබර මායාව....

දයාබර මායාව....

ඒ ඇයත් එක්ක...නෑ..ඇත්තටම ඇගේ ආත්මයත් එක්කම මන් කතා කරපු මොහොතක්.ඇය කියනව වගේම මම දකිනව...ඇය මුරණ්ඩුයි...හිතුවක්කාරයි...ටිකක් නෙමෙයි හුඟක්ම..ඒ තරමටම ඇගේ හිතත් මුරණ්ඩුයි...ඇය වැඩිපුරම බලන්නෙ අහස දිහා... ඒත් අඳුරු අහස නෙමෙයි තරු පිරුණු අහස දිහා.ඇය ඉවරයක් නැතුවම කියවනවා.මේ අහස පුරාවටව තරු විසිරුවෙ ඔබලු.දන්නවද...ඇය ඒ නිසාම තරු පිරි අහසට ආදරේ කරනව....

"මේ තරු එකින් එක ගනන් කරන්න පුළුවන් ද ඔයාට...??බෑනෙ නේද...ඒ වගේ තමයි හේතු කොයිතරම් නන් කියන්නද????"

ඒ දවසක මම,
"ඇයි ඇය ඔබට මේ තරම් ආදරේ කරන්නෙ..."
යනුවෙන් නගපු ප්‍රශ්නයට දුන්නු ආදරණීය පිළිතුර...ඉතින් මට ඇගෙන් තවත් අහන්නට දෙයක් සොයාගන්න පුලුවන්ද???

සිනහහව....කාලයක් ඇයට සිනහවෙන්න අමතකව සිටියා.ඇගේ සිනහව ගෙනෙන්න අපි ගත්ත හැම උත්සහයකම අවසානයේ ඇගෙන් ආත්මානුකම්පිත සිනහවක් හැරෙන්නට වෙනයම් හදවතේ හැඟීමක් අපි දුටුවේ නෑ....ඒත් ඔබ කැමතිද දැනගන්න...ඇය දැන් නිරායාසයෙන්ම සිනහ වෙනව...ඒත් ඒ හැම සිනහවක් පසුපසම ඇගේ නොවන ඇගේ ප්‍ර‍ේමය වුනු ඔබ සැගවිලා ඉන්නව.ඇය ඔබ සිහිවද්දි හරි ලස්සනට හිනාවෙනව.ඒ ආදරණීය සිනහවක්....ප්‍ර‍ේමණීය සිනහවක්...

ඇය තැනක හිත නවතන්න ඉක්මන් නොවෙන කෙනෙක්...ඒත් ඔබේ තරු ඇස් ළඟ ඇගේ හිත නැවතිල.ඔබට කිවයුතුමයි මම...ඇය වසර ගනනාවකින් පසු නතරවුනු එකම නවාතැන ඒ ඔබේ දෑසයි.මම දන්නව,මම දකිනව ඇය ඇගේ මුළු ආත්මයෙන්ම ඔබට බැඳී හමාරයි...ඇය හිතනව අර නුඹ අහසෙ විසිරවපු තරු වලින් දිලෙිසෙන තරුවක් වෙලා ඇගේ හිතට පායපු වග...

ඔබ ඇගේ ආදරණීය මායාව...ඇගේ ලොවට පෑයු තාරාකාව...අවසන ඇගේ හදවතින් ඔබට කරන ආදරණීය ආයාචනය...
එය මා ඔබෙන් ඉල්ලන්නද....
ඇයට නුඹේ හදවතේ අයිතිය දෙන්න තවත් කල්පනා කලයුතුම නම් ඇගේ නිරායාසයෙන් ඔබ සිහිකර නගන ප්‍ර‍ේමණීය හසරැල්ලෙ අයිතියවත් ලබාදෙන්න....

මේ,
හඩනගපු ඇගේ
ආදරණීය ආත්මය...

(බ්ලොගයේ මකුළු දැල් දුවිලි පිස දැමීමට පැමිණි අවස්තාවේ ලියා තබන ලදි.😂😂😂😂)
~ගිම්මි~

Dear Fantastic

She is stubborn 
  and her heart too
That's what made her to talk about you like you are the person who put the stars in the sky...

Just ask her what are the reasons to fall on you
She'll point to the stars and say start counting ???

She doesn't fall easily
  when she falls
       she falls from the deapth of her soul

When she automatically smiles
  Remember you are in her mind
at least let her keep that smile
Because onece she had totally forgotten it
But suddenly you brought it
That's why I called you
           "Fantastic"

Her soul...

Poem :- Written by Hashani Kaushalya

Thursday, June 22, 2017

නුඹ මගේ ප්‍රේමයයි

සංසුන්ව ඈත සඳ දෙස බලාගෙන හිතන්න තියන හුඟක් දේවල් අතරින් මට නුඹ ගැනම හිතන්න මගේ හිත බලකරනවා.ජීවිතේ විඳපු සොඳුරුතම හැඟීම නුඹ වෙද්දි වරෙක මගෙ ජීවිතය එපාම කරපු හැඟීම වෙන්නෙත් නුඹම විතරයි.දවසකට මගේ ජීවිතය ඉහළින්ම තියන්න උදව් කරපු නුඹ දවසක මට දරාගන්න බැරි තරමටම වේදානාවන්,රිදවීම් ගෙනත් දුන්නා.ඒ හැමදේම අැතුලතින් නුඹ ලොකුම ලොකු කතාවක් මට කියල දුන්නා වැටුනත් නැගිටින්න මගේ හිත ශක්තිමත් කියල.

දවසක මට නුඹව සුන්දර පින්තාරුවක් දිහා බලද්දි දැනෙන හැඟීම් රෑනක් එක්ක විදින විට, තවත් දවසක කන් අඩි පුපුරන තරම් සද්දෙන් එන අකුණක් තරම්ම මගේ හිත බය කරන්න නුඹට පුලුවන් වුනා.මම හැමදාම හිතුවෙ මගෙ හැඟීම් සියල්ලම එකින් එක කියන්න පුලුවන් කෙනෙකු ඉන්නව නන්,ඒව දන්න හඳුනන කෙනෙකු ඉන්නවනන් ඒ නුඹම විතරක්ම බව.ඇත්තටම මම නුඹට ආදරය කරනව,ඒ ආදරේදි මම නුඹව උදේම හීනියට ඇවිත් අපේ වටේ එතෙන සිසිලස වගෙ විදිනව.මල් පෙති උඩ තියෙන පුංචි පිණි බිංදුවක් වගෙ ආදර දෑසින් විදගන්නව.

මට හිතෙනව නුඹ සත්තකින්ම වැස්සක් වගෙයි.වැස්සෙ තියන ඇගම හිරිවට්ටන සීතලත් එක්ක තියන සොඳුරු හැඟීම වගෙම අකුණු ගහද්දි ඇහෙන කන් පුපුරන සද්දෙත් එක්ක දැනෙන භයංකර බවත් මම නුඹෙන් දකිනව.ඒ හැමදේම මම නුඹ ළඟදි විදිනව.
ඒත් තවත් වෙලාවකට නුඹ සිහින් ස්වර තියන ගීතයක් තරමටම මගේ හිත භාවනාවකට ගෙනියනවා.ඒ හැමදේටම වඩා මම හරි මෙහෙම කිව්වොත් නුඹ ගැන....."නුඹ නේක පැහැ මල් පිරුණු මල් කළඹක් තරමටම පාට පාට හැඟීම් රෑනක් එකතු වුනු කළඹක්".

ඉතින් මම අද ඉදන් නුඹේ නම වෙනස් කරනව.හැමෝම කියන නම කියන්න මගේ හිත කැමති නෑ.ඒ ඇයි දන්නවද මගේ ජීවිතය ජීවත් කරන්න ඇත්තටම වැඩිම සුව පහසුවක් ළං කරන්නෙ ආදරණීය නුඹ නිසා.

"නිහඬබව"ඉදින් සත්තකින්ම නිහඬ නොවු නුඹට ප්‍රේම කරන්නියක්ව සිටිමි දැන් මගේ සිත.

ඇගේ දිනපොත.
22/07/2017

Wednesday, April 5, 2017

නුඹ මගේ නම්...

මගේ මිතුරියක් වෙනුවෙන්ම මා ඇගේ සිතැඟි අමුණා තබමි.

මගේ සිත දරාගත නොහැකි තරමටම රිදුම් දී හමාරය.ඉදිරියටත් එසේ රිදුම් දේවි.අතීතය තරම්ම වර්තාමානයත් මගේ සිත ඉඳිකටු තුඩු දහස් ගනනකින් සූරනවාය.ඒ මගේ මතකයයි.වෙන කිසිවක්වම නොව මගේ ආදර මතකයයි.

අතීතය තුළ රැදුණු මතකය ඒ ආදරය තවමත් මගේ හිත හොයනව.ඉල්ලනවා.ඒත් ඒ හදවතට මට දැනුදු එක අංශු වක තරම් අයිතියක් නොමැත.ඒ අයිතිය සුළඟේ ගසා ගෙන ගොස් අදට හරියටම අවුරුදු තුනාහමාරකි.මේ හදවත තවත් එකම වතාවකට හෝ නුඹ එතැයි මග බලනවාය.දන්නවද නුඹ එක් වරක් මගේ ජීවිතයට ආවොතින් මන් කොයිතරම් දේවල් කියයි කරයිද කියල....නෑ නුඹට හිතාගන්නවත් බැරිවේවි මගේ මේ පිස්සුවක් වුන ආදරයේ තරම.

දැනිල තියනවද නුඹට ජීවිතේ එක් වරක් හරි තමන්ගෙ ආදරේ නැතුව දහස් ගානක් මිනිස්සු අතරම අතරමන් වුනු හැඟීමක්.මන් ඒ හැඟීම ජීවිතය තුළ අඩුවක් නැතුවම විදිනව.නුඹට කියන්න නුඹෙන් අහන්න සීයක් දේ මගේ හිත තුළම තියාගෙන නුඹ නැතුවම මන් තනියම ලෝකෙත් එක්ක හිනාවෙනව.ආදරේ කියන්නෙ මොකද්ද මන් අදටත් හොයනව.ඒත් හිමිවීම ආදරේ කියන්න මන් උත්සහ කරන්නෙ නෑ කවදාවත්ම.මොකද මන් ආදරේ කරන්නෙ තාමත් අහිමි හදවතකට.

හුඟක් අය තමන්ගෙ ආදරේ පේන දුරින් ඉන්නවට,ඒ හුස්ම වල දැවටෙමින් ඉන්නයි ආස කරන්නෙ.එදා නිතරම අපි කියෙව්වට පැය ගණන් එත් අද මන් එක ඇමතුමක් අරන් නුඹේ හුස්ම අහන් ඉදල හිත හදාගත්ත වාර අනන්තයි.නුඹයි මමයි අත් දෙක අල්ලගෙන ගිය පාරවල් දිහා බලාගෙන අපේ ආදරේ මතක් කර කර අඬපු වාර නුඹට නම් හිතා ගන්නවත් බැරිවේවි.සුදු ගවුමට එදා හැඩ වුනු මගේ රුව නුඹට අද ඒ තරම්ම හැඩ නොවුනට නුඹව තාමත් එදා තරමටම මට විදින්න පුලුවන්.හැමදාම ඔය ඇස් එක්ක ගෙවුන අතීතයේ සුවඳ එක දැන්  දවසක් මට නුඹව ඈතින් දැකලා විදගන්න පුලුවන් තරමටම මගේ හිත මට කීකරු වෙලා.ඒත් මගේ ඇස් ඉවරයක් නැතුවම තාමත් අඩවන්න ඉස්සරම වගෙ තාමත් ඔයාට පුලුවන්.

නුඹේ ආදරේ අස්සෙ මන් අතරමන් වෙලාද බලෙන්ම අතරමන් වුනාද කියන්න මට වත් නොතේරෙන දෙයක්.දැනෙනව විටෙක මටත් ආදරයක් ඕනෙමයි නුඹ එන්නෙ නෑ කියල.ඒත් මගේ ඇස් හොයන්නෙ නුඹ වගේ රුවක්,හිත හොයන්නෙ නුඹේ ආදරේ.මන් හුගක්ම උත්සාහ කලා නුඹ වගෙම තවත් හිතක් ලංකරගෙන ආදරේ විදින්න ඒත් මට බැරි වුනේ තාමත් ඔයා මගෙ හිත ඇතුලෙන් තාමන් හෙමිහිට අඩි තියන් ඇවිදින නිසාමයි.මට ආදරේ ලැබෙද්දිත් ඒ හැමදේම මගහැරගෙන මන් ඔයාව අවුරුදු තුනාහමාරක් තිස්සෙ හොයනව.නුඹට හිතාගන්නවත් බැරව ඇති මන් ඒ තරම්ම නුඹට ආදරේ ඇයි කියන්න.ඒක මටත් තවමත් උත්තර නොමැති ප්‍රශ්නයක්.මේ තරම්ම මන් ආදරේ ඒ අහිමි නුඹේ හදවතට.

මට ජීවිතේ සහයක් ලබාගන්නම ඇවැසි වුනත් මන් එවැනි බැඳීමකට යටත් වේවි.නුඹ එදාට සමහරවිට සිනාසෙයි.සමහරවිට නුඹ හඬාවි මන් තරමටම කඳුළු නාවත් හිතින් විතරක්ම හරි.ඒත් එදාටත් නුඹ තේරුම් නොගනීවි මගේ සිතේ නුඹ සිටින තැනට කිසිවෙකුට ළං විය නොහැකි බව.ජීවිතය දිගු නිසාම නුඹට අයිතිවාසිකමක් තිබු බව පමණක්ම සිතට තරවටු කොට සිහිකරවමි.නමුදු  නුඹ මගේ හද තුළ ජීවිතය පවතින තුරාවට සක්මන් කරන වග,නුඹේ ආදරය යදින වග කවදාම හෝ තේරුම් යාවි යැයි සිතමි.

Tuesday, February 14, 2017

වැලන්ටයින්...

ලුමිනස් රතු පාට
දිලිසෙන්න තරු කුඩු ඉහපු
සියදහස් හදවත්
.
තදම තද රතුපාට
කොළම කොළ නටු දිගැටි
පොකුරු මල් රෝස
.
ඉල්ලා ගත් දිනක් අපි
අනුන්ගෙන් අයිතිය කියන්
රතුම රතු හදවත් මතට
වෙන්දේසි දමනා වෙළෙන්දන්
.
අයිතිය කියන්නට හැකි
පණ ගැහෙන රතු හදවතක්
ඇති අය හෙමින්
සමරන සුපැතුමකින්වත්
.
තවම හමු නොවුනවුන්
අයිති රතු හදවතක්
දෙස් තියන දවසම
බොරු වැඩක් පිස්සුවක්
.
කොණකටවී මදහසක්
මේ දෙසට නංවන්
රතුම රතු මල් පෙත්තක
බලාහිදි නිහඬව
.
.
වැලන්ටයින්.

Thursday, February 9, 2017

හිසේ ඇම්ම


පෙම්වත් පිරිමි උරතලය මත
හිස ඇලව තියාගෙන
සිහින් දිගු ඇඟිලි තුඩු
ඇවිද යන සද ලතාවට
මුදාහැරි වරලස මතින්....

සීතලම සීතලට ගැහෙන
මල් පෙති ලවන් යුග
උණුසුම්වු අඬසඳ මතට
නිමේෂයකදි වඩින
ගමන මේ හෙමි හෙමින්....

තාලයට හීනියට හෙමිහිට
ඇසෙන නෑසෙන තරම්
සවන් පත ළඟ ළඟම
ඇහිදිනා ඇලපිලි අකුරු
මුමුණනා බරවූ ආදර වදන්...

හරියටම මොහොතකට පෙර
හීනියට ඇස් බරවු
අඬන නාඬන හඬින් කිවු
ආසාද්‍යම තත්වයෙන් වුන්
ඇගේ හොර හිසේ ඇම්ම
නිට්ටාවටම සුවයි දැන්....

#ගිම්මි#

Thursday, January 26, 2017

ලුහුබැඳීමි...

"සුමිත් මහත්තයා හැප්පිලා..එතනමලු...කෑලි කෑලි කියන්නෙ..."

"ඔය අර කෙල්ලට කරපු අපරාදෙ තමා පල දෙන්නෙ..."

"රබර් වත්ත ඉස්සරහමලු..."

තැනින් තැන ඇසෙන කතා අතරින් මන් හෙමි හෙමින් ඉදිරියට ගියෙ ඇත්තටම මට මේ තිරිසන් මිනිසාගෙ මුහුණ බැලීමට ඇති වුවමනාවකට නොව තවමත් ඔහු තුළ එකදු හුස්ම බිදුවක්වත් ඇත්දැයි සැක හැර දැනගැනීමටය.
ඒ මූසල රාත්‍රිය තුළ ඔහු කළ තිරිසන් ක්‍රියාවට නිසි දඬුවම් මගෙන් ලැබුනාදැයි තහවුරු කරගත් මගෙ ඉබාගාතේ සැරිසරන මනස අමතක කළ නොහැකි ඒ මුස්පේන්තු දිනයට ඇදීයන්නට විය.

"අනේ ලොකු මහත්තයා මන් දරුවෙක් ලැබෙන්න ඉන්න අම්ම කෙනෙක්...මට කරදරයක් නන් කරන්නෙපා...මන් පුංචි මහත්තයා අමතක කරල අම්ම එක්ක ඈතක ගිහින් ජීවත් වෙන්නන්....අනේ මාව අතරින්න මහත්යො..."

වේලාවටත් වඩා මූසල අඳුරක් රජකරපු ඒ පාලු රබර් වත්ත මැද්දෙ මහ වැස්සට යටින් මගෙ අදෝනාව අහන්න කෙනෙක් හිටියෙ නෑ.උදේ හවස වදින දෙවියන්ටවත් මට පිහිට වෙන්න හිතක් නැති වුනෙ මගේම කාළකන්නි කමට වෙන්නැති.මගේ කුස තුළ හුස්ම ඇහිදින ලේ කැටිය බේර ගන්න පටාචාරාවක් මෙන් හතරඅත දුවපු දුර කිසිම වැදගැම්මකට නැති වුනේ,ලොකු හාමුගෙ වේගෙන් ආපු රෝද හතරෙ මාළිගාව නිසා.

අල්ලන්න බැරි විසල් වෘක්ෂයක් බව දැන දැනම බිම එතෙන්න නියමිත වෙලා තිබ්බ කේඩෑරි වැලක් ඒ වෘක්ෂය මතම වෙලුනෙ ආදරය කියන අත්වැල ඒ ගහෙන් ලැබුනු නිසාමයි.සුළං,වැහි වැනි දහසකුත් බාධක තරණය කරන් ආදරය ඇතුළින් කාලයත් එක්ක සරුවට ඇදී ගියපු ලියවැල මල් පිපිලා පල දරන්න කල් බැලුවේ නොසිතූ වෙලාවක.තමාගෙ සිරුරෙ එතීවුන් ලිය විසිකර නොදා ඒ විසල් වෘක්ෂය තවත් අතු පතර විහිදුවමින් කාටත් හොරෙන්ම නීතියෙන්ම ඒ මල් පිපුණු ලිය තමාගේම කරගත්තා.විදවන්නටම නියමිත වූ ඒ ජීවිත ඇතුලෙ රහසක් විදියට තියාගන්නට හදපු දේ වැඩිකල් නොයාම විසල් වෘක්ෂයෙහි උරුමක්කාරයගෙ දෙසවන වැටී තිබුනා.එදා සිට දේව වේෂයෙන් සිටි මේ නරුම හිත තුළ කැකෑරුනු වෛරය අඳුරු මුසල රැයක එළියට ඇදිල ආවෙ නොසිතූ විලසකට...

"උඹව අතැරියත් අපේ එකා අනිවාර්යයෙන්ම උඹව හොයන් එනවා.මට මගේ එකා නැති කරගන්න බෑ...උඹ මේ ලෝකෙන්ම තොලොංචි වෙලා පලයන්..."

කුස මතට අතහැරි ඒ දරුනු පහරත්,කුසට එක පිට එක එල්ලවු පිහි පරවල් නිසාම මම කපා හෙලු කෙසෙල් කඳක් මෙන් රබර් කොළ මතට ඇදවැටිනි.මගේ කුස දරාගත නොහී වේදනා දෙනවිට කුස තුළ වු ලේ කැටියා එළියට ඇද දමන්නට තරම් තිරිසන් හදවතක් ඔහු සතු විය.එයින් නොනැනවති දහසකුත් එකක් වද හිංසා මත ජීවිතය ඉල්ලා හැඬූයෙමි,විලාප තැබූයෙමි.නැත...ඒ අසන්නට කිසිවෙකුත් එදා සිටියෙ නැත.

සාක්ෂි කියා පෙන්නන්නට දෙයක් ඉතුරු වී නොතිබුනත් යක්ෂයාගෙ ඉව වැටී සිටි මගේ ආදරණීය සැමියා සාධාරණ ඉල්ලා අරගල කරන්නට විය. ආදරය නාමයෙන් තිළිණ වු උරුමය දකින්නට සිහින මත සිහින  ගොඩනැංවූ මගේ විදත් පොලිස් පොතේ තමාගේම පියාට විරුද්ධව අත්සන් තැබීය.එහෙත් නීතිය අවනීතිය වූ කලක සාධාරණයක් බලාපොරොත්තු විය හැකිද....

"නිවසේ මෙහෙකාර සේවය සදහා සිටි නිසංසලා නම් සිව්මස් ගැබිණියට දරුනු වද හිංසා කොට ඝාතනය කිරීම සම්බන්ධව සැකපිට අත්තඩංගුවට පත් ව්‍යාපාරික සුමිත්  වර්ණකුලසූරිය මහතා නිදොස් කොට නිදහස් කරන ලෙස ගරු අධිකරණය නියෝග කරයි"

ඒ මුස්පේන්තු අඳුරු දවස නිමවී හත් දොහක් යන්නට මත්තෙන් කාසි කොළ වල බලය පෙන්නමින් සත්‍ය වලදැමීම අපුරුවට  කලු කෝට් බෑය තුල රිංගා සිටින මිනිසුන් යැයි කියාගන්නා අධම වෘක්කයන්ට පහසුවෙන් කල හැකි විය.
ඉතින් මට වූ අසාධාරණයට මගේම කුස තුළ පණ ගැහුනු ඒ ලේ කැටියා එළියට ඇද දමන්නට තරම් තිරිසන් මානසිකත්වයක් ඇති ඔහුට මා විසින්ම දඬුවම් නියම කළෙමි.එය වරදක්ද,පාපයක්ද මා සිතිය යුතු වුවත් එය මගහැර මට මේ පොළව මත අයිති ඉඩ සොයා ඔහේ සැරිසැරුවෙමි.ඒ යන මග අතර තවමත් සුදු කොඩිය ඉබාගාතේ පැද්දෙමින් මගේ නිවස ඉහළින් රැදිනි.ටකරන් මඩුව යට කීපදෙනෙකුගේ ඡායවන් දුටු අතරම මගෙ ආදරණීය අම්මාගෙ කඳුළු වෙලි නොගිය ගිලුනු ඇස් දෙස නිරුත්තර මනසින් ඔහේ බලා සිටියෙමි.

"මගේ ආදරණීය නිසංසලාට මින් මතු කිසිම භවයක මෙවන් විපතක් නොවේවා...!!මෙපින් බලයෙන් ඇයට සුගතියක්ම වේවා...!!"

මගේ කුස ගැහුනු ඒ ලේ කැටියාගෙ උරුම කරයා වුනු මගේ ආදරණීය පුංචි මහත්තයා විදත්....ඒ හඬට මන් ආයෙත් බෝධි මලුව දෙසට හෙමි හෙමින් ඇදී යන්නට විය.