Monday, February 29, 2016

මගේ ආදරේ තරම්...





පුංචි වැහි බිඳු වැටෙන - සීතලට ඇකිලෙමින්
පුරුදු ගුරු පාරෙ මං -  ඇවිදිමින් හෙමි හෙමින්...
සිතනවා නුඹ ගැනම - දන්නෙ නෑ නුඹ තාම
මගෙ ආදරේ තරම්...

හිනාවට වල ගැහැන - නුඹේ ඔය සොදුරු වත
යනෙන ඔය ඇත් ගමන - විදගන්න නෙත් පුරා
මගේ හිත කැමති වග - දැන දැනම නුඹ ඉතින්
හිදී නොදුටුව ලෙසින්...

දඟකාර නුඹේ ඇස් - අමුතු ඉඟි බිඟි ඉතින්
කෝම තේරුම් ගන්නෙ මං - නුඹේ හිත මට කියන
හිත මගේ කලබලයි - නුඹේ ඔය ඇස් ගාව
නුඹ දකින හැමදාම...

හුරතලෙන් දැවටිලා - කියවන්න නුඹේ ලග
මගෙ කතා වලට නුඹ - හිනැහෙන්න ලග ඉදන්
මගේ හිස අතගාන - තුරුල් කර ආදරෙන්
රැදෙන්නට දිවි මගේ...

නුඹෙ අතේ එල්ලිලා - උණුසුමට ආදරෙන්
නුඹේ ළඟ දැවටෙමින් - ඉන්න මග බලනවා
හුස්ම අපේ වැටෙනකන් - නුඹේ කුමරිය වෙලා
හැමදාම ආදරෙන්...

තවත් කල් අරන් කුමටද ඉතින්  - කියනවද ඉක්මනින්
නුඹේ මනමාලිය වන්න - හීන මගේ සරසන්න
නුඹේ සිත මගේ බව - පියමනින සසර මග
හැමදාම ආදරෙන්...



Friday, February 26, 2016

උඹට සුබ උපන් දිනයක්...







ආදරණීය බෙයෝනා,

කියන්න තියන දේවල් සිය ගානක් අතරින් පුංචිම පුංචි දේවල් ටිකක් මම උඹ වෙනුවෙන් හදිස්සියේ ලියමි.උඹෙයි මගෙයි යාළුකමට මහා ලොකු කාලයක් වයසක් නැති උනත් අපේ යාලුකමින් උඹෙයි මගෙයි ජිවිත වලට ලැබුණු වගේම ඉගෙනගත්ත දේ වචන වලින් කියල ඉවර කරන්න බැරි තරම්.යාළුවො කියල කියන එව්න් සිය ගානක් අතරින් ඉස්කෝලේ ඒ හිටපු යාලු රැලට පස්සේ මගේ ජිවිතේ මට ලැබුණු හොදම යාළුකම ලැබුනේ උබෙන්.

අපි අදුරගත්ත මුල් කාලෙම කලිසම් අදින චීත්තකාරයෙක් කරපු වැඩක් නිසා අපි කතා නොකර හිටිය.ඒ වගේම ඒකට පිදුරු දාපු අපේම යාලුවෝ කියන එකියනුත් නිසා අපි අතර කතා බහක් සිද්ද්ද නොව්නුනු තරම්.හැබැයි මන් වගේම උඹත් වැඩි කාලයක් නොගිහින් තේරුම් ගත්ත වටේ ඉන්න එව්න් කියන ඒවා අහල තේරුමක් නෑ,අපිම මේ ප්‍රශ්නේ විසදගන්න ඕනේ කියල.ඇත්තටම උඹටයි මටයි එහෙම කතා කරන්න හයියක් තිබුණු එක ගැන අදටත් මට තියෙන්නේ කියන්න බැරි සතුටක්.මොකද අපි වටේ හිටපු එව්න් අපි දෙන්නට අපි දෙන්නගේ මුණ බලන්නවත් පුළුවන් විදියට වැඩ කරලා තිබුනේ නෑ.මගේ හිතේ උඹ ගැනත්,උබේ හිතේ මන් ගැනත් තිබුනේ ලොකු තරහක් විතරයි.හැබැයි උන් එහෙම කරලා බලාපොරොත්තු උනේ මොකද්ද කියන්න මන් අදටත් දන්නේ නැති දෙයක්.කොල්ලෙකුයි කෙල්ලෙකුයි තරහ කරා නං හිතන්න තිබුන ඉරිසියාව කියලවත්,ඒත් මේ එකට වැඩ කරන කෙල්ලෝ දෙන්නෙක් තරහ කලේ මොනවා ලබාගන්නද කියන දේ ගැන මට තාමත් තේරුමක්  නැත.

හැබැයි මේ සිද්දියෙන් පස්සේ උඹයි මමයි අතර ගොඩනැගුනේ යාලුකමකට වඩා සහෝදරකමක්.මේක නිසාම අපි දෙන්න ඔපීසියේ "මෝඩ ජෝඩුව" කියන වැදගත් නම්බු නාමය පවා දිනා ගත්ත.ඔපිසියට අපි දෙන්නම ආවේ A/L කර ගෙදර ඉන්න කාලයේ ආසාවටය.ඔපිසියේ වල්පල් වගේම තව රටේ නැති වල් පල් කියව කියව හවසට බස් එකට නගින්නට ගන්ගාරමේ ඉදන් හෝල්ට් තුනක් පයින් යන අපි වගේ මොංගල් ජෝඩුවක් තව ඉන්නවද කියන්න මන් දන්නේ නැත.අපේ තරම කොච්චරද කියනවනං අපේ අම්මල උනත් දැන් නං අපි කියන දේවල් වලට කියන්නේ "හොරාගේ අම්මගෙන් පේන අහනවා ඔයිට හොදයි"කියලය.අපි හොර වැඩ කලත් කරන්නේ එකටමයි,අනික ඒවා ඉතින් අහිංසක හොර වැඩනේ නැද්ද?.අපි කරපු තරමක් කලේ මොකක් හෝ ගොන් වැඩක් නැත්තන් එලෝ මෙලොව මනුස්සයෙක් නොකරන බහුබූත වැඩක්.ඇයි දෙයියනේ අර අපේ රෙසිපි වලට හදාගෙන කාපු කෑම ඔපීසියේදී.ආයෙත් උඹටයි මටයි එහෙම එක තැනක වැඩ කරන්නට ලැබෙයි කියා සිතන්නට අමාරුය.එත් මේ යාළුකම හැමදාම එකම විදියකි.

මන් වගේම උඹත් කදුළු හංගගෙන හැමෝම ඉස්සරහ හිනා වෙන්න හරිම දක්ෂයි.ඒවගේම උඹටයි මටයි එක වගේ ගති ගුණ හුගක් (මන් කිව්වේ මොංගල් ගතිත් ඇතුළුව) තිබුන නිසාමද මන්ද අපි අතර මේ තරම් හොද යාළුකමක් ඇති උනේ.ඇත්තටම එක සහෝදර කමක්.මොන හරි දෙයක් කියනකොට එක ඉවසීමෙන් අහගෙන ඉන්න උඹට තියෙන්නේ පුදුම හැකියාවක්.මන් තරහ ගිය වෙලාවට චීන පටස් වගේ පුපුරද්දී,උඹ තරහ හංගගෙන හිනා වෙලා කියන්න ඕන එකාට කියන්න ඕන දේ කියල එන ගතියට මන් හරිම කැමති.උඹට තරම් ඒ ඉවසීම මට කවදාවත් ඇති වන එකක් නැත.උඹ ජිවිතේ හුගක් තැන් මට වඩා හොදට තේරුම් අරන් උනත් පොඩ්ඩ ඇත්නං හිතින් කඩන වැටෙන ගතිය වගේම,ඕන එකෙක් දැක්ක ගමන් විස්වාස කරන ගතිය නැතිකරගනින්.මොකද උඹ අමාරුවේ වැටෙන තරමක් අමාරුවේ වැටෙන්නේ ඔය ගතිය නිසාය.

ඉස්සර තරම් උඹටයි මටයි එකට බස් එකේ යන්නට,කියවන්නට,ගොන් වැඩ කරන්නට දැන් වෙලාවක් නැත.මන් පොත් අස්සේ හිරවෙද්දී උඹ තව මාස දෙක තුනකින් වගකීම් පිරිච්ච ජීවිතයකට වගේම මේ රටත් අතහැර යන්න හදනවා.අපිට දැන් ඒ වගේ කතා කරන්න වෙලාවක් නැති උනත් මැසේජ් එකක් වත් දාන්න තාම වෙලාව තියන එක සතුටුයි.(වයිබර් කියන එක හදපු එකාට නං ඇත්තටම පින්,නැත්තන් ඕකත් නැති වෙනවා.හිකිස්.)හැබැයි මන් මොකක් හරි ගොන් වැඩක් කර අඩන දවසට උඹ මගේ ලග ඉන්න බව මන් හොදටම දන්න දෙයක්.ඒක ඒ වගේම උඹටත් පොදුයි.උඹ හිනා වෙන හැමවෙලේම උඹ ලග ඉදන් අත්පුඩි ගහන්න මට බැරි වෙයි.හැබැයි උඹ අඩන්න මන් ලගට එද්දී මන් අනිවාර්යෙන්ම උඹ ලග ඉන්නවා.

උඹ දැන් මුහුණු පොතේ වත් හොයාගන්නට නැතිය,ඒත් මට කියන්නට අවැසි හැමදේම මෙහෙම කුරුටුගාල තියන්න පුළුවනි.මොකද උඹ මේ බ්ලොගය අනිවාර්යෙන්ම කියවනව කියල මන් දන්න නිසා.උඹේ ලග තියෙන හොද ගති ගුණ ජිවිතේ කවදාවත් නැති කරගන්න එපා බන්.මොකද ඒ ගති ගුණ ජීවිතේට ඇත්තටම වටිනවා.මම උඹෙන් ඉගෙන ගත්ත දේවල් ගොඩක් තියනවා.ජිවිතේ අපි අඩද්දී ඇත්තටම සනසවන්න පුළුවන් වගේම හිනා වෙද්දී හදවතින්ම සතුටු වෙන්න පුළුවන් අය ඉන්නේ බොහොම පොඩි ප්‍රමාණයක්.අන්න ඒ වගේ හොද ගති ගුණ තියන උඹ මට හොදම යාලුවෙක්.එක අම්මගේ නොවුනත් හොද සහෝදරියක්.ජිවිතේ මන් දැකපු ලස්සන ගති ගුණ තියන කෙල්ලෙක්.මගේ ඕනෑම දෙයක් කියල මගේ හිත සැහැල්ලු කරගන්න පුළුවන් ආදරණීය යාලුවෙක්.තව කියන්න උඹ ගැන තියන දාහක් දේ අතර මන් මේ තරම් පුංචි දේවල් ටිකක් කියා නතර කරනවාට සමාවෙයන්.

ඉතින් බෙයෝනා...නැත්තන් ආදරණීය කොටෝ...උඹට සුබ උපන් දිනයක්...
ජිවිතේ අඩන්නේ විදවන්නේ නැතුව,සතුටින් හිනා වෙලා ජිවිතේ විදින්න මන් උඹට හදවතින්ම සුබ පතනවා.!!!




Monday, February 22, 2016

සමින්දි






හඳ..මම  ආස උනේ හඳක් වෙන්න...හැබැයි එකම එක අහසකට...කවදාවත් ඒ අහසින් බහින්නේ නැතුව ඉන්න..ජිවිතේ පුංචි තරුකැට රෑනක් පිරිවරාගෙන ඉන්න අහිංසක හඳක් වෙන්න..මේ අද අහසේ පායලා තියන ලස්සන හඳ  වගේම වෙන්න..පුංචි පුංචි වලාකුළු හෙමින් ඇවිත් මගේ ජීවිතේට හාදු තියන්න හදද්දී මම  ඒ වලාකුළු වලට යට වෙන්නේ නැතුව කොච්චර සතුටින් එකම අහසකට විතරක් ආදරේ කරපු කාලයක් එක...

හිත පිරෙන්න ලොකු හුස්මක් ගනිද්දී කොහේදෝ මන්ද ඉදල ආපු සීතල හුලන් රැල්ලක් මගේ මුළු ඇගම...නෑ..හිතත් එක්කම හිරි වට්ටගෙන මාව අරන් ගියේ මන් වළලා දාපු ඒ පව්කාර අතීතය හොයාගෙන.රෝස මල් පෙත්තක් උඩ සැහැල්ලුවෙන් පාවෙවී තිබ්බ මගේ ජිවිතේ මගේ හෙවනැල්ල වගේ හිටපු අම්ම තාත්තා අතහැරලා මම  ගියේ කොහෙද...ඔව්..මගේම අහසක හදක් වෙන්න...මෝඩ කමක්ද එක..නෑ එක පව්කාරකම...

මම  අයිති කරගත්ත කියල හිතාගෙන හිටපු අහසේ පායපු හඳ  වෙන්න මම  ගියේ..මගේ ලග තිබුන මනුස්ස වගේම අජීවී සියලු දේවලුත් අතහැරලා...රෝස මල් පෙත්තක ජිවිතේ අකුරු ඇහිදපු මන් දිරාගෙන යන පුංචි කොළ කෑල්ලක අමාරුවෙන් අකුරු ගලපන්න ඉගෙන ගත්ත...ඒ ඔයාගෙන්ද...නෑ..මම  හිතන්නේ මන් තනියම ඉගෙන ගත්තේ...

"අරවින්ද..හැමදාම මෙහෙම ඉන්න බෑ...අපි බදිමු...."

"ඇයි මේ හදිස්සියක්...ඔයාට 18 වෙන්න තව මාස ගානක් තියනවනේ..."

"හ්ම්ම්...ඉක්මනට බදිමු...අපේ අම්මලත් මන් ආවම මෙහෙ දෙවල් විකුණලා අයියල ලගට ගිහින්..."

"ඔයා හදිස්සි උනා සමින්දි ...නැත්තන් අම්මලාව කැමති කරගන්න තිබුන..."

"පාරේ ත්‍රීවිල් එකක් හයර් කරන කෙනෙක්ට ඒගොල්න්ගේ එකම දුව දෙන්න අපේ තාත්තලාගේ සල්ලි බලේ කැමති උනේත් නෑ නේ...කවදාවත් කැමති වෙන්නේත්  නෑ..."

පුංචි අල්පෙනෙති වලින් පටන් ගත්ත අපේ සීතල යුද්ද අන්තිමට ඉවර වෙන්නේ මහා ලොකු බර කඩු කිනිසි විසි වෙලා...මහා රූස්ස ගහකට යටවූනු  පුංචි තුත්තිරි ගහක් වගේ හැමදේම ඉවසගෙන ගෙවපු කාලකන්නි ජිවිතේට දවසක් අලුත් බලාපොරොත්තුවක් ඇවිත් තිබුන...කළු වෙච්ච අහස මේකෙන් තවත් කළු උනා මිසක් ඒ පුංචි තරු කැටේට එලිය දෙන්න ඒ අහසේ ඉඩක් වෙන කලේ නෑ..හ්ම්ම්...ඔව් දැන් මට තේරෙනව එතකොටත් ඔයාගේ අහසේ වෙන හඳක් පුංචි තරු කැට දෙකක් ඉදල...මම  ඔයාගේ අහසට මගින් ගොඩ වෙච්ච නන්නත්තාර අමාවක හඳක්...ඉතින් කොහොමද මගේ තරු කැටේට ඔය ඉඩ දෙන්නේ...ඒ අයිතිය සින්නක්කරවම තව හඳක් උදුරාගෙන ඉවරයි....ඒක මහා මුසල දවසක්...මම  මගේ ඇස් දෙකින් ඔයාගේ අහසේ පායපු හද තරු පැන්චියෝ දැකපු මගේ ජිවිතේ පාලු සොහොනක් උණු දවස....

"අරවින්ද කව්ද මේ ගෑනි..."

"මම  දන්නේ නෑ..පිස්සුද කොහෙද මේ ගැනිට...නන්නත්තාරේ ගිහින් බඩ උනාම කාගේ හරි ඇගේ එල්ලෙන්න හදනවා...."

එදා ඔයා දුන්න උත්තරේ මගේ කන් වලට ලං වෙද්දීම  කියාගන්න බැරි මොකද්දෝ මන්ද අසරණකමක්  මගේ හිත ගිනි තියල ඉවරයි...ඔයාට විරුද්දව එදා මගේ හිතේ මහා හයියෙන් අකුණු ගැහුවත් මට ඒ අකුණු සැර ඔයාට එවෙලාවේ වදින්න නොදී මගේ හිත ඇතුලෙම තියාගත්තේ ඔයා ලග මේ කිසි දෙයක් තේරුම් ගන්න බැරුව අසරණ වෙලා හිටපු පුංචි තරු පැන්චියෝ දෙන්න නිසාමයි... ඔයාටවත් ඔයාගේ සින්නක්කර කිසිම දේකටවත් අදටත් එදා වගේම හිතේ කිසිම තරහක් නෑ..කොහොමත් දැන් මේ හිත හරි පිරිසිදුයි....ඔයාගේ නමවත් මතක් කරන එක මගේ හිත අප්පිරිය කරන දෙයක් දැන්...එත්...අන්තිම පාරට...

"අම්මට කොහොමද දැන්.."

"නර්ස් නෝනා....කෝ... මගේ දරුවා..."

"අම්මේ...කලබල වෙන්න එපා...ඔයාට අයෙමත් උත්සහ කරන්න පුළුවන්නේ..."

"ඒ කියන්නේ මගේ දරුවා....නෑ නෑ එහෙම වෙන්න බෑ...මගේ ජිවිතේ එකම බලාපොරොත්තුව...."

කාත් කව්රුවත් නැතුව තනියම අකුරු කරපු සින්නක්කර තියා උගසට ගත්ත අහසත්වත් නැතුව කාලකන්නි වෙලා හිටපු ජිවිතේ තිබුන එකම බලාපොරොත්තුව...ඇත්තටම උඹ  වගේම උබේ ලේත් මාව රවට්ටලා...මහා ගොඩක් හීන එකතු කරලා එක තත්පර ගානකින් හැමදේම අලුවත් හොයාගන්න නැති වෙන තරමටම විනාස කරලා දාල...

ඉකියක් ඇවිත් මගේ මුළු ඇගම අප්‍රාණික කරගෙන එලියට එද්දී මම  මගේ ජිවිතේ හෙලපු අන්තිම ආදරණීය කබුලු බින්දු මගේ නුපන් පුංචි තාරුකාව වෙනුවෙන් වැටෙද්දී මහා විසාල අකුණු ගෙරව්ම් මැදින් මට උගසට තියාගෙන හිටපු අහසත් නැති උනාම උඹව හදාගන්න මම  ගාමන්ට් ජිවිතේ අතරමන් උණු හැටි මැවිලා පෙනුන..ඇත්තටම පුතේ උඹ  නෙමෙයි මාව රැවට්ටුවේ...මම මයි උඹව නැති කරන තියෙන්නේ....කන්න ආස හිතෙන දෙයක් නැතුව පිරියක් නැති කෑම කාල අන්තිමට ආයෙමත් එලියට දැම්ම...ඇත්ත...කොහෙන්ද පුතේ උඹට ජිවත් වෙන්න හුස්ම ගන්න ඉඩක්..මම  මගේ ජීවිතේම ඉඩ දුන්නට උඹට,කවදාවත් උඹට හැදෙන්න ඇස් වලින් ලෝකය විදින්න ඉඩ හදන්න බැරි උනා මට...උඹ  ගැන හීන මැව්වට ඒ හීන වලට හුස්ම ගන්න ඉඩ දෙන්න බැරි උණු කාලකන්නි අම්ම කෙනෙක් උනා මම ...අතීතයෙන් හාරපු මගේ පව්කාර සොහොන් ජිවිතේ ලග වැලපිලා අඩන්න ඉතුරු උන එකම සිහිවටනය උඹයි...ඒත දැන්...උඹ  වගේම මාත් මේ දේවල් වලින් ඈත් වෙනවා..ආයෙත් මේ පාලු මුසල අතීත සොහොන ලගට මගේ හිතට එන්න දෙන්නේ නෑ මම ..

"දරුවෝ...."

ගෙවුණු මගේ පව්කාර ජිවිතේ ගොඩට ගත්ත ඒ පින්කාර කටහඩ මගේ ලගම ඇහෙද්දී මන් හෙමින් ඔලුව ඉස්සුවත් මගේ ඇස් වල අතිම කදුළු බින්දු දෙක ඉතුරු වෙලා තිබුන...

"මෙහෙණින් වහන්සේ...."

"දරුවෝ දැන් පරණ හැමදේම අමතක කරන්න...හෙට  මේ බෝධි මළුවේ ඇවිදින්නේ සමින්දි  කියන තරුණ ගෑනු දැරිවිය නෙමෙයි...හිත සන්සුන් කරගත්ත සංඝමිත්තා මෙහෙණින් වහන්සේ...."

ඇත්ත..ඒ ජීවිතය ලබන්නට මම  දැන් පෙවී අවසන්ය...තවත් අතීත සොහොන ලග රස්තියාදු ගසා පලක් නැත...අන්තිම පස් පිඩත් ගෙන අතීත් සොහින වසාදැමූ මම..මගේ ජිවිතේ තිබු සියලු පව්කාරකම්,කාලකන්නිකම් සියල්ල එකතු කොට නගා ගත ගැබුරු හුස්මක් ගෙන මේ පව්කාර අතීතය මට මතක් කල ඒ හිතුවක්කාර හුළගටම මුදා හැරියෙමි....

Tuesday, February 16, 2016

මැත්ස් & කොම්






බස්සි අක්කගේ  කොමාගේ Com  ගැන කියෙව්වම මට අපේ මිස්ල දෙන්නෙක් ගැනත් ලියන්න පොඩි මෙව්වා එකක් ආව.
ඉස්කෝලේ කාලේ මන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පන්තියේ සොයා ගත නොහැකි නසරානි එකියකි..එහෙම කිව්වට ඉතින් කවදාවත් හිතා මතා පන්ති කට් කලේ නෑ මන්..ඔක්කොම කට් උනා...එකට මන් මොන කරන්නද නේද අනේ..

මන් මේ කියන සීන් කෝන් එක වෙනකොට අපි හිටියේ 11 වසරේ..අර සා/පෙ  පන්තියේ..අර මන් කලිනුත් කතාවක් කුවේ අනේමල් සහ මයිනා
 අන්න හරි අන්න ඒ පන්තිය තමයි...අව්රුද්ද මුල් වරේ ඉතුන් ස්පෝර්ට්ස් මීට් එක,කලා උළෙල,තව එහෙන් මෙහෙන් සෙට් වෙන සොසයිටි වල ඩේ,ඕව මේවා ඔක්කම ඉවර වෙලා නිදහසේ අපේ සැට් එක දවසක් පන්තියේ නිදහසේ වාඩි වෙලා ඉන්නව..හැඃ නිකන් නෙමෙයි අවරුදු උත්සවේට අදින ඒවා ගැන කියව කියව...ඔන්න එනවා අපේ ගණන් මිස්..මන් අර කලින් කුවේ ටීන් ටීන් ගාන ඉමිහිරි වොයිස් එකේ අයිතිකාරයා..

"ළමයි ඊයේ දුන්න ගණන් ටික හැදුවද...?"

 අපිට මොන ගණන්ද කාලෙකින් පන්තියට ආවෙත් අද..10 වසරේ මිස්ලම උගන්නපු නිසා හොදයි නැත්තන් මේ ගණන් මිස් කියලා දන්නෙත් අද හිකිස්...මිස් දෙඉයනේ කියල එහා පේලි වල සංචාරය කරනවා...

මලකෙලි එකසිය ගානයි  කිව්වලු..මෙන්න මිස් ගමන් මාර්ගය වෙනස් කරලා අපේ වාසස්ථාන පැත්තට ඇදෙනවා..කරුමේ කියන්නේ  අපේ සැට් එකේ එව්වෝ එකෙක් වත් හදන්න දුන්න ගානවත් දන්නේ නෑ නේ..වෙන එකෙගෙන් වත් ඇහුවෙත් නෑ නේ ඉතින්...

"කෝ දෙන්න බලන්න පොත්.."

පොත ඇතුලේ ගිලි පීන පීන හිටපු අපි යාන්තන් ඔලුව ඉස්සුවා...හාහ් මෙන්න මිස් බය වෙලා වගේ අපි දිහා බලන් ඉන්නව...අපි මිස් දිහා බලන් ඉන්නව...මිස් අපි දිහා....අපි මිස් දිහා...

"මිස් මේ..." මයිනා සිංහයා වගේ කතාව පටාන් ගන්න හදනකොටම මෙන්න මිස් අපි කස්ටිය දිහා නොසැලී බලාගෙන අහපි...

"ඇහ..ඔය ළමයි මේ අව්රුද්දෙත් මේ පන්තියේද...මන් දැක්කේ අදනේ..මන් හිතුව වෙන පන්තියකට දාල කියල....ඇයි අද ආවේ පන්තියට? ලබන සතියේ ටර්ම් ටෙස්ට්ම ආවා නං ඉවරනේ.."

ඔන්න අපේ මලා...

"මිස් ඇත්තද මිස් කියන්නේ ලබන සතියේ ටෙස්ට් එකද...මාරයිනේ..."

අපේ විතරක් නෙමේ ඉතින් පංතියෙම  ටිකිරි සිනා පොකුරු පොකුරු.....



************************************************************







මේ වටිනා කියන අවස්ථාව සිද්ද උනේ 12 වසරේ...
අපේ පෙරන්ට්ස්  මීටින් ආවේ නැත්තන් ආයෙත් දවසක් එන්න වෙනවා ගෙදරින්..ඕවගේ 12 වසරේ අන්තිම මීටිමට අපේ අම්මට වත් තාත්තටවත් එන්න බැරි උන නිසා තාත්ත පස්සේ දවසේ උදේ ආව.කරුමෙට එදා ඉදල තියෙන්නේ තාත්ත විතරයි.මේ කියන අවස්ථාවේද මන් තුමී පන්තියේ සිටියේ නැත.පට්ටම් කෑල්ල ගහගෙන ඩියුටි දුවල.ඔන්න මට ඔත්තුවක් ආව තාත්ත පන්තියට වාර්තා කලා කියල.එත් ඉතින් යන්න පුලුවනෙයි අනික තත්ත්ව ගෙදරදී දකින්නතුව වගේනේ....මන් මගේ පාඩුවේ වැඩ ටික කරල යන්න ලෑස්තිය තාත්ත බලන්න..කීයක් හරි කඩාගන්නත් පුළුවන්නේ අම්ම නැති වෙලාවේ...

අහෝ කේදයකි ඉරකි තිතකි ප්‍රශ්නාර්ථයකි...පට්ටම් මිස් මීටිමක් කැදවලා...දැන් ඉතින් හිටන් හිටපන්කෝ ගිහින්...මිස් කියනව අපි ඔලුව වනනවා...මිස් කියනව අපි ඔලුව වනනවා...
ඔන්න ඔහොම ටික වෙලාවක් යනකොට කොමර්ස් එකට යන මල් පාරේ අපේ තාත්ත මුණ කළු කරගෙන එන හැටි දර්ශනය වෙනවා.එනපොට හොද නෑ..එත් ඉතින් කොහේ කියල දුවන්නද මිස් ලොකු කතාවක්...

හාහ් මෙන්න මාව තාත්ත දැක්ක...අම්මේ...මුනේ තියන සිරියාව...අබ කිලෝ එකක් දැම්මත් තත්පරෙන් පුපුරන සයිස් එකක් තියෙන්න...ආවා ආවා ලගටම ආවා....මිස්ට මොනාදෝ කිව්වා...මිස් ඔලුව වැනුවා...මෙන්න එනවා මේ පැත්තෙන්...

"චුටි දුව මෙහෙ එනවා..."

"ඇයි තාත්තේ..." සුහච කීකරු පුස් පැටියෙක් වගේ වචන ගලපනකොටම...

"ඇයි???? පන්තියේ ඉන්නේ කොයි වෙලාවටද කියනව..හැමවෙලේම එලියෙලු..."
"ඉතින් මන්...."

"ඉතින් ඉතින් නෙමේ එනවකො ගෙදර අද...."

විනාසයි...අපේ මිස්ල මගේ කැරැට්ටුව නැත්තටම නැති කර කුඩු පට්ටම් කර චොප්ප කර දාල ඇති.අපේ කට්ටිය ගැන අහන්න දෙයක් තියනවයේ ඉතින්..දුටු තැන අල්ලනු නේ..

යාන්තන් පට්ටන් මිස්ගේ කතා අහල පන්තියට සේන්දු වෙනකොටම මෙන්න පුසී,දේශි  බෙරිහන් දෙන්න ගත්ත...

"කොහෙද ඕයි හිටියේ...තාත්ත ආවා කට්ටිය තාත්තව වට කරගෙන සාකච්චාවක් දුන්න..."

"පිස්සුද යකු අර ස්ලීපින් බියුටි කිව්ව කතාවට මේකිට කන පැලෙන්න ගහනව ෂුවර්..."

"මේ යකුනේ ඕක නවත්තල මෙතන මකද උනේ කියනවකො...තාත්ත පුපුර පුපුර ගියේ..."

"අහ ඉන්න ඉන්න කියනන් අපි..."ඔන්න පටන් ගත්ත මුන් දෙන්නගේ රගපෑම...

"තාත්ත අවා..අපේ මිස් ඇහුවම කුව ගීත්මගේ තාත්ත කියල..මෙන්න අපේ මිස් නැගිට්ට..ඇහ එන්න මන් එත් බැලුව ඇයි අවේ නැත්තේ කියල එදා..."

"ඔන්න කට්ටියගේ මේසෙට එක්කන් ගිය තාත්තව,වැඩි වෙන්න පුටුවකුත් දුන්න...ඒ මදිවට මිස්ල සෙට් එකටම කියපි මේ ගීත්මගේ තාත්ත..."

"අපේ මිස් දැන් ඔන්න ලකුණු පෙන්නනවා...පෙන්නලා ඉවර වෙලා කියනව,ලකුණු නං ප්‍රශ්නයක් නෑ..හැබැයි එයා පන්තියේ නෑ...මන් රෙජිස්ටර් එක මාර්ක් කරන්නේ බෑග් එක බලල...යාන්තන් තව මොනාද කියවල එයා නැගිට්ට..."

"ඊලගට කොහෙද මන්ද ඉදල ආවා ස්ලීපින් බියුටි...."

"මෙන්න වාඩි වෙලා අහනව..මන් මේ ගීත්මගේ ගෙදර කෙනෙක් හම්බ වෙන්නයි හිටියේ...එයා ඇයි ඉස්කෝලේ එන්නේ නැත්තේ..."

"ඒ පිස්සුද බන් එයාට මන් හැමදාම ඉස්කෝලේ එනවනේ..." ආච්චිගේ රෝස මල මන් හමදාම ඉස්කෝලේ ආවනේ..

"අහගන්න්වකෝ ඇඩ් දානේ නැතුව..."

"එතකොටම තාත්ත කියනවා නෑ මිස් එයා හැමදාම ඉස්කෝලේ එනවා කියල..."

"මිස් කියනවා නෑ දකින්නේ නෑලු..."

"දැන් මේක යාන්තන් ඇහෙනවා අපේ මිස්ට..ඔන්න එයා දුවන් එනවා..."

"නෑ නෑ මිස් එයා හැමදාම ඉස්කෝලේ එනව පන්තියේ නෑ..බාහිර වැඩනේ..."

"අපේ මිස්ගේ පරම්පරා 7ක්ම කොමර්ස් කරන්න ඕනේ ඒ කරපු උදව්වට.. "

අපේ සැට් එකේ ඉතුරු එව්වොත් සීන් කෝන් එක බලන් මැරෙන්න හිනා වෙනවා...එත් මුන් දෙන්න කොහොමද මේකේ මෙච්චර හොදට අහගත්තෙ...කොමර්ස් එකේ මිස්ල වැඩිපුර හිටියේ කොමර්ස් එකේම ස්ටාෆ් රූම් එකක..එතනට කොහොමද මුන් දෙන්න ගියේ...අනික කතාව අස්සේ අපේ මිස් මලාට ඔතනට මුන් දෙන්නව වැද්දගන්නේ නෑ...

"මේ මට කියනවා තමුසෙලා දෙන්න කොහොමද ඕක ඔච්චර හොදට බලන් හිටියේ කියල..."

මෙන්න මුන් දෙන්න හිනා වෙනවා දෙකට නැවීගෙන...

"කියනවකො..."

"මේකනේ අපි දෙන්නගේ ටිකිරි මොලේට වැටහුනා අපේ මිස් තමුසෙගෙ තාත්තව එක්කන් යන්නේ හොදකට නෙමේ කියල...අනික වාර්තාව දෙන්නත් එපැයි මු ආවහම..ඒ නිසා අපි දෙන්න දඩ බඩ ගාල ගානකුත් අරන් Accountz මිස් ගාවට ගියා...ඊට පස්සේ අපි මිස්ව ගාන ඇතුලේ අනාත කරලා සීන් එක බලන් හිටිය..."

අනේ ඉතින් මෙහෙම යාළුවො ලබන්න පින් කරන්න ඕන අප්පා...හිකිස්...

Friday, February 12, 2016

Love u බන්









ඇස වලටත් බර වැඩි වෙලා තිබුන ලොකු කදුළු බින්දු දෙකක් පහලට ගලාගෙන එනකොට වීදුරුවෙන් එහා එහෙට මෙහෙට වෙන මිනිස් රූප අතර සිය ගානක වැළද ගැනීම් දහස් ගානක කදුළු වැගිරීම් එක්ක හිත ඈතට දුවන අතීතයක්.ජිවිතේ විදින්න අමාරු කලෙක ජිවිතේ විදින්න කියල දුන්න ලස්සන හිතක්.. මගේ ලග හිටියට ඇත්තටම මන් වගේම එයත් අපි අපිට අයිති නොවී වෙනස් කවි දෙකකට තාලයක් වෙලා.අතාරින්න බැරි...නෑ..අතාරින්න ලෝබ කමක් ඒක...හුගක් දේවල් වලදී ලගින් හිටපු ජිවිතයක් යන්න යනවා..එත්..යන්න කලින් ඒක විනාඩියකට වත් ආයෙත් කතා කරන්න බැරි උනා..."නෑ උබයි අඩ අඩ හිටියේ..එන්න බෑ කිව්වේ.." මගේ හිත මටම කෑගහනව..

ඔව්..ඇත්ත..මන් මෙතනට අවොත් මගේ ඇස් වල කදුළු ඉවර වෙනකන් අඩනවා...ඒක මහා මුස්පේන්තු වැස්සක්..ඒකෙන් එයාව නාවන්න බෑ..අනික එයා ලග කුඩයක් තියනවා...ඒ කුඩේට හොරෙන් හරි එයා මේ කදුළු වැස්සේ තෙමෙන්න ආස උනත් මන් එයාට තෙමෙන්න ඉඩ දුන්නේ නෑ ..ඒ මේ වැස්සටත් සින්නක්කර අයිතිකාරයෙක් ඉන්නව...ඉතින් වැස්සයි කුඩෙයි අතර එයාව අතරමන් කරන්න තවත් බෑ..එකයි මන් නෑවිත් ඉන්න හිතුවේ..ඒත් මට අයිති නැති  උනත් ඒ තනුවේ මගේ ස්වර තියනව...මන් ආයෙමත් එන්න හිතුවේ එකයි..මගේ තනුවේ අයිතිය වෙන කෙනෙක් ලග තිබුනට ඒ ස්වර වලට වැයෙන්න ශක්තිය දුන්නේ එයා....

"කාවද හොයන්නේ...ඔහොම තමා ඉන්නකොට අගයක් නෑ.."

අතීතෙක අතරමන් වෙලා ඇවිද ඇවිද හිටපු මාව ගැස්සිලා යනකොට ඒ කොලු හඩ දිහාවට හැරුනේ ඒ හඩටත් වඩා ඒ ලගින් දැනෙන සුවදට මගේ ඉව සංවේදී නිසාමයි...මට මන් විදියට ජිවත් වෙන්න කියල දුන්න සුවද අදුරගන්න බැරි නං මහා මෝඩයෙක් මන්...


"ඔයා...ගියේ නැද්ද තාම මෝඩයෝ...කීයටද ෆ්ලයිට් ඒක...?

ඇස් වල කදුළු පිරිලා උතුරන්න තිබුනත් ඒ මුණ දකිද්දී මන් හිනාවෙනවා...ඒ ඇයි...එයාවත් දන්නේ නැති මන් වත් දන්නේ නැති පුදුම බැදීමක්...හැමෝම වගේම අපිත් ඒකට කිවේ යාළුකම...ඒත් ඒ යාලුකම ඇතුලේ අපේ හිත් සැරින් සැරේට කොනිත්තන්න පුළුවන් මොකෙද්ද මන්ද පුංචි සතෙක් හිටිය...ඒ සතාට අපිට නමක් දාන්න ඕන කමක් තිබුනේ නැද්ද නැත්තන් නමක් දාන්න බැරි නිසා දැක්කේ නෑ වගේ හිටියද කියන්න අපි දන්නෙත් නෑ...ඒත් ඒක දෙයක්..ඒ පුංචි සතා අපේ හිත් කොනිත්තන්න සැරින් සැරේට උඩට එනවා කියල අපි දැනන් හිටිය...

"තව වෙලා තියනව..අනික කොහොමද බන් යන්නේ...මගේ කෑල්ල අවේ නෑ නේ බලන්න..."

"කෙල්ල....???" 

අර අමුතු පුංචි සතාව මන් හිතේ අදුරු මුල්ලකට දාල පුරුදු දගකාර යාලු සතාව  එලියට ඇදල ගත්ත.එයාගේ හිතේ වෙන වෙනස් වීම් තත්පරෙකින් උනත් වෙන්න පුළුවන්...එයා ඒ පුංචි සත්තු දෙන්නටම හිතේ හැටියට නටන්න එයාගේ හිත හදල දීල තිබුන...

"අනේ යකු තව කෙල්ලෙක් මෙහෙන් හොයාගත්තද.....හොද වැඩේ...එන්නම එපා..."

"නෑ නෑ ඇවිත් ඉන්නේ..."

"කෝ කොහෙද...පෙන්නන්වකෝ..."

"අපෝ..අදත් ටියුබ්  ලයිට්...මොකද්ද මැට්ටියේ...කවද්ද හැදෙන්නේ..."

"ඉතින් ඇත්තනේ...මෙතන වෙන කෙල්ලෙක් නෑ නේ..කියනවා..."

"මෝඩියේ...ඔයානේ මගේ හොර කෑල්ල..."

හැමදාම ඔයා කතාව කිව්වත්... අද ඒ කතාව කියද්දී මගේ හිත අර පුංචි සතා එලියට ඇවිත් හුරනවා වගේ දැනෙද්දී...මගේ යාලු සතාට ආයෙත් කතා කරගත්ත...නැත්තන් අර පුංචි සතා හදන්නේ මුස්පේන්තු කදුළු වැස්ස වට්ටන්න...

"ඒයි..."

"අයිශූ....මැට්ට..."

"වැඩක් නෑ හොර කෑල්ල දාල යනවනේ.."

"ඔව් කව්රුත් ඉන්න කිව්වේ නෑ නේ මට..."

"ඉන්න කියන්න ඕනේ නෑ...ඉන්න දැන ගන්න ඕනේ..."

හ්ම්ම් ඒ කතාව කිව්වේ නං අර පුංචි සතා තමයි..ඒත් එයා නං අද යාලු සතාට එන්න කියන්නෙම නෑ..මුස්පේන්තු කදුළු වැස්සට කලින් මන් යනවා...ඔව් මන් යන්න ඕනේ දැන්...තවත් මේ විකාර රගපම කරන්න දෙන්නේ නෑ අර පුංචි සතා..

"යන්න එපාද?"

"මේ පිස්සු කෙලින්නේ නැතුව යනවා හලෝ...නැත්තන් වෙන්ඩ වයිපරේ හොයාගෙන එයි...."

"තාම ඒ ගැන හරි ඩිසිෂන් එකක් නෑ..උබ දන්නවනේ...."

"හ්ම්ම්..."

"මේ ඒක නෙමෙයි මෝඩ වැඩ කරන්නෙපා...දැන් වගේ අඩන අඩන වෙලාවට හොයාගෙන එන්න මට බෑ නේ..හැබැයි මොන්ගලේ වගේ ඉන්නේ නැතුව තමුසේ අව්ලක් තියනවනං කතා කරනවා හරිද...මන් කෝල් කරන්නන් ගිහින්..."

"හරි හරි අයිශූ...ඔයා පරිසමින් යන්න..මේ කෝල් එකක් දීපිය ගිහින්..."

"අඩෝ..අඩනවද....මැට්ටි...මේ බලනවා..."

"පිස්සුද ඕයී මන් අඩන්න...යනවා යනවා...තව ටිකකින් නං අඩනවා මන්..."

වචන එලියට එන්නත් කලින් හීන් ඉකියක් මගේ උගුරේ හිර වෙද්දී දීලා  ඇවිත් කර වටේට අත දාල මාව ලගට ගත්ත...

"තෝ මාව අඩවන්නේ නැතුව හිටපිය..."

"ඉතින් යනවකෝ..."

"යන්න පුලුවන්ද මිනිහ මැරිලා වගේ අඩන්න ගත්තම...අනික මන් යනවා කිව්වම අපේ අම්මලවත් උබ තරම් දුක් උනේ නෑ.."

"හ්ම්ම්...අනේ මේ පල පල මගෙන් මුකුත් අහන්නේ නැතුව..."

සිතල වහලේ යට මට නුපුරුදු තවත් සීතලක් මගේ නළලේ වදිද්දී මන් ගැස්සිලා ගියේ මන් කවදාවත් මේ වගේ දෙයක් ඇත්තට විදින්න වෙයි කියල නොහිතුනු නිසා..ඒත් ඒ හැගීම විදගන්න ඕනේ උනත් මේ වෙලාවේ හිතේ  නිදහසක් හොයන්න බෑ..

"ඔය දුන්නේ උබ අර කියන මගේ හිතේ ඉන්න අමුතු සතා..පලවෙනි පාරට වගේම...හුගක් වෙලාවට අන්තිම පාරටත්..."

"හ්ම්ම්.."

"මන් ආයි එනකොට උබ බැදලා පොඩි එව්නුත් ඉදි නේ..."

"අනේ මේ..එනකොට පව්ල් පිටින්නේ අයෙත් එන්නේ...පල පල දැන් ෆ්ලයිට් ඒක මිස් වෙයි නැත්තන්..."

හිටපු ගමන් මට දීලා ගෙන් ඇහෙන මගේ හිත ඇහුනේ නෑ වගේ ඉන්න  ඒ වචන නං අද මගේ හිත ඉල්ලුව...ඒත් ඒ වචන වල තියන "බන්,මචන් " කියන කෑල්ල වෙන වගේම අදත් අපිට අයින් කර ගන්න බැරි වෙයි...

"අඩෝ..Love u  බන්...පරිස්සමින් ඉදපන්.."

"Love u too  මචෝ... කෝල් කරපන් ගිහින්.."


ඔව් මන් හරි අදත් ඒ වගේමයි...







Monday, February 8, 2016

පව්කාරකම






අමාරුවෙන් හිත පිරෙන්න පුරවගත්ත හුස්මක් පිට කරද්දී අදුරු කාමරේ ඇතුලේ මහා ගෝසාවක් වගේ ඇහෙන සිලිං ෆෑන් එකේ කිරි කිරියට හිතින් සාප කලේ මේ හැමදේම වෙන්න උබත් ඉඩ දුන්න නේද කියල හිතද්දීමයි.හැමදේම වෙලා තත්පරෙන් තත්පරේ ගෙවිල  යද්දී පටන් ගත්ත සිතුවිලි යුද්දේ ඉවර වෙන්නත් කලින් එහා පැත්තෙන් අකුණු සැර ආයෙත් වැඩි වේගෙන් එන්න පටන් අරන් ඉවරයි. ආයෙත් මහා වැස්සක් කඩන් වැටෙන්න කලින් දෙපයින් හිට ගත්තේ මිට වඩා මේ වැස්සේ තවත් තෙමෙන්න කිසිම ඕන කමක් නැති නිසාමයි.

"කොහෙද යන්නේ?"

"එලියට"

"දැන් ගොඩක් රෑ වෙලා"

"ඉතින් ඇයි?"

එතනින් එහාට දෙයක් අහන්න ඕන උනත් එයාගේ සද්දේ නැවතුනේ මන් විදුරු දොරත් ඇරගෙන එලියට ආපු නිසා වෙන්නැති.නැත්තන් ඒ තරම් ඉක්මනට දෙයක් තේරුම් ගන්න කෙනෙක් නෙමෙයි.මැලවිලා ගිය මල් ගහක් වගේ තිබුන ජීවිතයට අලුතෙන් වතුර පෝර දාල පන දුන්නට විතරක්ම ඒ ගහට මදි කියන දේ එයා තේරුම් ගත්තේ නෑ..තේරුම් කරන හැමවෙලාවෙම එයා එක සාදාරනීකරණය කරපු නිසාම කට වහගෙන ඉන්න උනේ එයාට ඕන උනේ මොකක්ද කියල දැන දැනම මෝඩකම් කරපු නිසා.

එයාට ඕන උනේ එයාගේ වත්තේ හිටවන්න ගහක් නෙමෙයි.වෙන කව්රුහරි හිටවපු මැරිච්ච ගහක්.නෑ...මැරෙන්න යන ගහක්.එයා ඒකට වතුර පෝර දාල බලාගත්තම එයා හිතුවේ එයා කරන්නේ හරි දේ කියල.හැබැයි ඒ ගහ එයාගේ කරගන්නවත් ඒ ගහේ මල් බලන්නවත් එයාට ඕන උනේ නෑ...ඕන උන එකම දේ එයාට ඕන වෙලාවට ඒ ගහ ලගින් තියාගන්න විතරයි.හුළගට හෙලවෙන කොට ඇහෙන කොළ වල සද්දේ අහන්න විතරයි.

අවුරුද්දකටත් වැඩි කාලයක් එකම විදුරු කාමරේක හිටියත් වැරදිලා හරි අතක් වැදුනොත් ඒ විදුරු කාමරේ බිදිලා කුඩු පට්ටම් වෙන්න මහා වෙලාවක් යන්නේ නෑ කියල දැනන් උන්නත් මොකද්ද මන්ද අවජාතක හැගීමක් එයා ගැන හිතේ ඉතුරු වෙලා තිබුන.ඒක ආදරේද නැත්තන් වෙන මොකක් හරි මුස්පේන්තු අවලන් හැගීමක් ද කියන්න තේරුමක් නෑ.එයා එයාගේ ඒ හැගීම් ලස්සනට සාදාරනීකරණය කලාට මේ සෝමාරි හිතට ඕව ගැන ගානක් නෑ...එත් එයාව දාල ගිහින් අලුත් විදුරු ගෙයක් සින්නක්කරව ලියාගන්න පුළුවන් කියල හිතුනත් එහෙම යන්න උවමනාවක් මේ හිතට නෑ...

"එන්නේ නැද්ද ඇතුලට..."

පුදුමයි මන් මේ විදුරු කාමරේ නෑ කියල මතක් වෙලා.

"එන්නන්...තව ටිකකින්"

"හෙට මට පාන්දර යන්න තියනවා.."

"ඔයා නිදාගන්න..."

ආයෙමත් නිදාගන්න තරම් උවමනාවක් මේ ඇස් වල නෑ...හෙටවත් පායන ඉරට පුළුවන් නං මෙයාගේ ඇවිලිච්ච  හිත නිවල මගේ හිතේ තියන රෝස වතුර දාන්න.

හීන් උරපටි රැදිච්ච උරහිසට තද උණුසුම් හුස්මක් වැදුනම තේරුණා එයා ලගම ඉන්නවා කියල.කවදාවත් නැතුව මේ තරම් මගේ ගැන හොයන්නේ....ප්‍රශ්නාර්ථයක් ඒක...

"මොනාද කවදාවත් නැතුව කල්පනා කරන්නේ.."

"මුකුත් නෑ.."

"අර මිනිහ ගැනද හිතුවේ..."

"කව්ද....??"

"අර ඔයාව බදින්න පස්සෙන් එන එකා.."

මෙච්චර කාලෙකට නොව්ණු දෙයක්...මට කැමති කෙනෙක් ඉන්නව නං එයා ලගට යන්න කියපු කෙනා....අද ඇයි මෙහෙම අහන්නේ..ඉරිසියාව..

"ඇයි ඉතින්..."

"නෑ ඔයා ඌට කැමතිද..."

"මන් කැමති කාටද කියල දැන දැන බොරු ප්‍රශ්න අහන්නෙපා...."

ගස්සාගෙන යන්න හැදුවත් අඩුවක් වගේ තද කරලා අල්ලගත්ත එයාගේ ඇගිලි අතරින් අත ගන්න බැරි බව දැනගෙනම ඇස් දෙකෙන් ගින්දර පිට කලේ අවුරුද්දක් පුරා පුපුරු ගහන ගින්නක්...කවදාවත් නොදැක්ක කදුළු බින්දු ඒ ඇස් වල තිබුනත් මන් නෙමෙයි තම්බෙකට මායිම් කලේ.

"ඔව් මන් දන්නවා...."

"එහෙනං තව අහන්නේ..."

"එත් මට ආදරේ කරන්නෙපා කවදාවත්..."

"ඔයා බන ආයෙත් පටන් ගන්නෙපා..මාව අතාරිනවා..."

"අතරින්නන්...ඒත් මන් දන්නවා ඔයා යන්නේ නෑ කියල..."

"ඔව් මගේ පව්කාරකම..."




Wednesday, February 3, 2016

ලංගමට පෙම් කල එදා..





ලංගම කිව්වම ඉස් ඉස්සෙල්ලම මතක් වෙන්නේ අර ඩුකු ඩුකු ගගා කෑලි වැටෙන්න ඔන්න මෙන්න තියාගෙන හරිම ලතාවට එන ලස්සන(දුවිලි පිරුන) රතු පාට බස් එක.ඔය බස් වලට ඉස්කෝලේ යන කලේ පෙම් කරපු උන් කියක් කියල ඉන්නවද ඉතින්...සීසන් අරගෙන පැය ගණන් රස්තියාදු වෙලා රතු පාට ඔය බස් වල ගිහින් ගෙදරින් දෙන සල්ලි ඉතුරු කරගන්න කොච්චර නන් කටු කෑවද ඒ කලේ..(කටු කාල ඉතුරු කාගන්න සල්ලි වලින් ඉස්කෝලේ යන පොඩි එව්වෝ කරන ඒවා නන් අහන්න එපා ඉතින්)එත් හරි ලස්සන මතක ගොඩක් ඉස්කෝලේ යන කලේ එකතු කරන්න මේ රතු පාට බස් එකට පුළුවන් උනා.මේ බස් වල සීසන් අරන් ඉස්කෝලේ ගියපු උන්දැලා දන්නවා මේ බස් කොච්චර ඉක්මනට යනවද,කොච්චර සැපට යන්න පුලුවන්ද කියල.හිකිස්...

ගෙදරින් අම්මල සීසන් එක අරන් දෙන්නේ සල්ලි දීල යනවට වඩා ඇත්තටම ඉස්කෝලේ යන ලමෙක්ට ලාබදායිම දේ සීසන් එක නිසා.එත් ඉතින් සීසන් එක අතේ තියෙනවා කියල අම්මල උදේට සල්ලි නොදී ඉන්නවද කවදාවත්..නෑ නේ..එහෙම තත්වයක් ඇති වීගෙන එනකොට ටින් ගාල ඇදල දාන්න අගේ ඇති කතාවක් තියනව මේ කට්ටිය ලග.."අම්මේ සි ටි බි බස් එන්න පරක්කුයි,ඉස්කෝලේ යන්න වෙන්නේ පරක්කු වෙලා..අනික ඕව ඉස්කෝලේ ළමයි දැක්කම නවත්තන්නෙත් අඩුවෙන්..සීසන් එක තිබුනට වැඩක් නෑ.යන්න වෙන්නේ අනිත් බස් වල.."
ඔය කතාව ඇහුණාම අම්මගේ හිත උණු වෙලා සල්ලි දෙනවා.(ඔය කතාව ඒ විදියට ගිම්මිත් කියල තියනවනේ.හිකිස්) ගෙදරින් සල්ලි ඉල්ලගෙන ගියාට කීය හරි වෙනකන් ඉදල ඉස්කුල් බස් එකේම තමා යන්නේ.ගිම්මි නන් ගේ ලගින්ම නගිනවා ඉස්කුල් බස් එකට කිසි කරදරයක් නැතුව.ඕක ඉතින් ඕනම අම්ම කෙනෙක් නොදන්නා දෙයක් නෙමෙයි.එහෙමයි කියල කවදාවත් සල්ලි නොදී ඉන්නේ නෑ නේ.හැමදාම ගෙදරින් දෙන සල්ලි බැග් එකට දාගෙන සීසන් එකෙන් යන එනකොට සැහෙන්න ගානක් අපේ අතේ අන්තිමට ඉතුරු වෙනවා.ඕව වලින් ඉතින් යාළුවන්ට තෑගි අරන් දෙන්න,තව පොඩි පොඩි ගැජට් කැලි ගන්න වගේ දේවල් වලට ගෙදරට කෙදිරි ගන්නේ නැතුව වියදම ශේප් කරගන්න පුළුවන්.

හැබැයි සමහර කොන්දොස්තර මහත්වරු නන් ඉස්කෝල ළමයි එක්ක තියෙන්නේ මාර තරහක්.සමහර බස් ඇත්තටම නවත්තන්නෙත් නෑ ඉස්කෝලේ ළමෙයෙක් විතරක් ඉන්න හෝල්ට් වල.අමාරුවෙන් අකමැත්තෙන් හරි නග්ග ගත්තොත් එහෙම...අම්මේ...කියල වැඩක් නෑ එයාගේ අතින් සීසන් අරන් දුන්න වගේ උදේ පාන්දරට කපනවා කොටු දෙකම.(කපනව නෙමෙයි කුරුටු ගාලම දානවා.) ඒ වෙලාවට ඉතින් ඒ මනුස්සයගේ පරම්පරා හතකට හෙන ගහන්න කියාගෙන තමයි උදේට යන්නේ.ඔය තරහ කවදාවත් ඉවර නොවෙන තරහක්.ඉස්කෝලේ ළමයි එක්කම ඔය තරම් තරහ ගන්නේ ඉතුරු වෙන්නේ නැති රුපියලට දෙකට කියල අපි නොදන්නවා නෙමෙයිනේ.හැබැයි ඒ අතර හුගක් හොද කොන්දොස්තර මහත්වරු ඉන්නව.සීසන් කිව්වම ඉල්ලනේවත් නැතුව හිනා වෙලා යන.ඒ මිනිස්සු දන්නවා ඉස්කෝලේ ළමයින්ගේ එකම අදායම් මාර්ගේ සීසන් එක කියල.ඒ වගේ කොන්දොස්තර මහත්වරුන්ගේ පරම්පරා හතක් ගොඩ යන්න ඕනේ කියල පින් දීල තමයි බස් එකෙන් බහින්නේ.කාලයක් එකම රූට් එකේ යනකොට දැනගන්නවා මොන කොන්දොස්තරවරුද හොද,මොක්කුද මුස්පේන්තු කියල.(මුස්පේන්තු කස්ටිය ඉන්න වෙලාවට ගිම්මිගේ යාලුවෝ නන් ටිකිරි මොලේ පාවිච්චි කරලා "සීසන් එක බෑග් එකේ,බෑග් එක ඉස්සරහ"..ඔන්න ඔය වගේ ඒවා කියල සීසන් එක බේරගන්නව )ඉස්කෝලේ ළමයෙක් හුග වෙලාවට යන්නේ ගමන් වාර දෙකයි.අමතර ගමනක් වැටුනොත් ඇරෙන්න ඉස්කෝලේ ළමයි වෙන කොහෙවත් යන්නේ නෑ නේ.එත් ඉතින් අර උන්දැලා හිතන් ඉන්නේ දවසට විසි තිස් පාරක් ගමන් යනවා කියල.ඕක තමයි තියන කෙදජනකම සිද්දිය.

ඉස්කුල් බස් වල තත්වේ නන් මිට ටිකක් වෙනස්.හැබැයි ඔය ඉස්කුල් බස් වලටත් එනවා නසරානි කොන්දලයි,ඩ්රයිවර්ලයි.(අපිත් එක පාරක් එහෙම එව්වෝ දෙනෙක් ගෙදර යැව්වා.හිකිස්...එක පස්සේ කියන්නන්.නැත්තන් මේක කොහේ නවතීද දන්නේ නෑ)ඉස්කුල් බස් වල යන හුගක් කොන්දොස්තර අංකල්ලා හරි අයියල හරි ටික්කො ඉන්නව කියල ආරංචි උනොත් තමයි සීසන් මාර්ක් කරන්නේ.(අපි නන් එකත් කියල රව්ම් කරගන්නවා මිසක් කපන්න දෙන්නේ නෑ.එතකොට තව පාරක් යන්න පුළුවන්නේ.)ඉස්කෝලේ යන කලේ පොඩි සින්දුවක් කියාගෙන බස් එකට තට්ටුවක් දාගෙන යනකොට එකට සහය දෙන කොන්දොස්තර අංකල්ලා අයියලත් ඉන්නව.කැස්බෑව ඩිපෝවෙන් නන් වාරෙන් වාරෙට තමා කට්ටියව මාරු කරන්නේ.ඒ නිසා හුගක් අය ළමයින් එක්ක එකතුයි.(දැනටත් සමහර අය සල්ලි නොගෙන කතා කරලා ටිකට් එක දීල යන වෙලාවල් තියනවා)හැබැයි අමතර පන්ති යන දවසට නං හුගක් කස්ටිය අහිංසක හොර වැඩක් කරනවා.අපේ ඉස්කෝලේ ඉදන් කොහුවල පැත්තට එන්නේ ඉස්කුල් බස් 3යි.එකක් 120.අනිත් ඒවා 138,176.ඉතින් කොහුවල,නුගේගොඩ පන්ති යන කස්ටියගේ සීසන් වල මේ බස් තුනේම අංක තියනවා.ඕක ඉතින් මහා ලොකු හොර වැඩක් ද... නෑ නේ නේද අනේ...සමහර කොදොස්තර මහතයල නං මේ වැඩේ දන්නවා,ඔන්න යුද ප්‍රකාශ කරනවා..ඕවට සැලෙන්නේ නෑ ඒ කලේ සීසන් ඇත්තෝ..."අපි සීසන් ගන්නකොට කිව්වම ලියපු අන්කල් තම දාල දුන්නේ,අපි මොන කරන්නද?" කොහොමද උත්තරේ..ඕව ඉතින් හොයන්න යනවද..නෑ නේ..වැඩේ ශේප්..ලංගම පාඩු ලබන එක අහන්නත් දෙයක්ද ඉතින්.(ගිම්මි 120 ගියපු නිසා දාගන්න තිබුනේ 138,176 විතරයි..මුන් කෙල්ලොද කියල හිතනවා එහෙම නෙමේ,කොල්ලෝ ඔයිට හපන් ඒවා කරනවා.)

ඉස්කෝලේ යන ළමෙක් නන් කොහොමහරි බලන්නේ සීසන් එකෙන්ම දවස එහෙ මෙහෙ කරගන්න.ඉතින් කිය හරි වෙනකන් හෝල්ට් වල ඉදල ඔය රතු බස් එකේම යනව.කොච්චර ලස්සන,සින්දු දාල තියන වෙන බස් ඇවිත් නැවැත්තුවත් අහක බලාගෙන රතු බැස්ම හොයපු අතීතයක් ගිම්මිටත් තිබුන නිසා ලංගමට කොච්චර ඉස්කෝලේ ළමයි ආදරේ කලාද කරනවද කියලත් හොදට දන්නවා.අපි ඉස්කෝලෙන් අව්ට් වෙන්න ලං වෙන කොට ලන්ගමේ තත්වේ ගොඩක් හොද අතට හැරුන.ලන්ගමේ කිව්වට මන් දන්නේ කැස්බෑවේ ඩිපෝව ගැන.අලුත් මැනේජර් අන්කල් කෙනෙක් ආපු නිසා වෙන්න ඕනේ.(අපිත් වෙන බස් එකක් ඉල්ලගත්ත ඔය අන්කල්ට කියල..එකත් පස්සේ කියන්නන්.) දුවිල්ල අඩු, සෙටප් එහෙම තියන, ශීට් තුනේ ලස්සන බස් ගොඩක් කැස්බෑව ඩිපෝවට ආව.අලුත් කොදොස්ත්රවරු ඩ්‍රයිවර් මහත්වරු අරන් අනිත් බස් වලට කලින් සි ටි බි යන්න ගත්තම මිනිස්සු ඒවාට ඇදිල යන්න පටන් ගත්ත.දැනටත් මේ පැත්තෙනං සි ටි බි බස් ප්‍රයිවට් ඒවාට වඩා හුගක් වෙලාවට ඉක්මන්.ඉස්සර ඉදන්ම ලංගමට ආල වඩපු නිසාමද මන්ද දැනටත් සමහර වෙලාවට ඔය බස් එකක් දැක්ක ගමන් හදවත කිරි ගැහිලා අත පය සලිත වෙලා පෙරලගෙන දුවගෙන ගිහින් ඔය බස් එකට නගින මොකද්ද මන්ද මෙව්වා එකක් මට තම තියනවා අප්පා..

කව්රු කොහොම මොන දේ කිව්වත් ලංගමට වැඩිපුරම ආදරේ කරන්නේ ඉස්කෝලේ ළමයි.සීසන් තියන් ඈයෝ තමයි ඉතින්.එක කාලාන්තරයක් තිස්සේ පැවත එන වගේම ඉදිරියත් එසේම පවතින දෙයක්.හැබැයි දැන් අර මැෂින් එකට පන්ච් කරන කාර්ඩ් සිස්ටමැටික් එකක් නිසා ඉස්කෝල ළමයින්ගේ අහිංසක හොර වැඩ කරන්න වෙන්නේ නෑ කියලනන් ආරංචි උනා ළගදි.ඒ මොන කලත් හුගක් ඉස්කෝලේ ළමයින්ට සානුකම්පිතව සලකන කොන්දොස්තර මහත්තරු තාමත් ඉන්නවා.ඒ නිසාම තමයි හැමදාටම ඉස්කෝලේ ළමයි ලංගමට ආදරේ කරන්නේ.






Monday, February 1, 2016

යශෝදරාවක් වී කුමට



නුඹේ සුවද රැදී
මගේ හද කුටිය
අතැර අබිනික්මන්
කලෙන් නුඹ
තනිව වෙනතක
යලි නොඑන්නට
ලොවට හොරැහින්
ඉකි බිදින නෙතු
වසාගෙන තව
බෝ කලක් මන්
යශෝදරාවක් වී
කුමට දැන්
නොවුණු කල
නුඹ සිදුහතුන්...