Tuesday, February 14, 2017

වැලන්ටයින්...

ලුමිනස් රතු පාට
දිලිසෙන්න තරු කුඩු ඉහපු
සියදහස් හදවත්
.
තදම තද රතුපාට
කොළම කොළ නටු දිගැටි
පොකුරු මල් රෝස
.
ඉල්ලා ගත් දිනක් අපි
අනුන්ගෙන් අයිතිය කියන්
රතුම රතු හදවත් මතට
වෙන්දේසි දමනා වෙළෙන්දන්
.
අයිතිය කියන්නට හැකි
පණ ගැහෙන රතු හදවතක්
ඇති අය හෙමින්
සමරන සුපැතුමකින්වත්
.
තවම හමු නොවුනවුන්
අයිති රතු හදවතක්
දෙස් තියන දවසම
බොරු වැඩක් පිස්සුවක්
.
කොණකටවී මදහසක්
මේ දෙසට නංවන්
රතුම රතු මල් පෙත්තක
බලාහිදි නිහඬව
.
.
වැලන්ටයින්.

Thursday, February 9, 2017

හිසේ ඇම්ම


පෙම්වත් පිරිමි උරතලය මත
හිස ඇලව තියාගෙන
සිහින් දිගු ඇඟිලි තුඩු
ඇවිද යන සද ලතාවට
මුදාහැරි වරලස මතින්....

සීතලම සීතලට ගැහෙන
මල් පෙති ලවන් යුග
උණුසුම්වු අඬසඳ මතට
නිමේෂයකදි වඩින
ගමන මේ හෙමි හෙමින්....

තාලයට හීනියට හෙමිහිට
ඇසෙන නෑසෙන තරම්
සවන් පත ළඟ ළඟම
ඇහිදිනා ඇලපිලි අකුරු
මුමුණනා බරවූ ආදර වදන්...

හරියටම මොහොතකට පෙර
හීනියට ඇස් බරවු
අඬන නාඬන හඬින් කිවු
ආසාද්‍යම තත්වයෙන් වුන්
ඇගේ හොර හිසේ ඇම්ම
නිට්ටාවටම සුවයි දැන්....

#ගිම්මි#