Thursday, March 31, 2016

සිහිනයක සේයා







පින්න මුතු ඉහිරී වියන
තරු මල් රටා ඇදී
අහස් සේලය යටින්
නෙතු කදුලැල් උණන
සීතලම මහ රෑක
හෙමි හෙමින්
ලගට විත්
නුඹේ උර මතට
මගේ හිස තියාගෙන
නෙතින් ඇදවැටෙන
නුඹේ නම රැදී
මගේ බිදු කදුළු
සිපගන්නේ ආදරෙන්
නුඹේ පුළුල් උර තලය...

ආදරය පිරුණු නුඹේ
දෑස් හරවන් මවෙත
සීතලට ගුලි වෙමින්
නුඹේ ලගම දැවටෙමින්
උණුසුමක් සොයා යන 
පුංචි මුව පැටික්කිට
නොරිදෙන්න බිදක් වත්
සැලෙන සීතල මතින්
නතරවුණු නුඹේ
ලවන් යුග තව
ඇගේ  අඩ සද මතින්...

ඒ තරම් ආදරෙන්
හිරිවැටුණු පුංචි සිත
දෙඇස් වසලා
සීරුවෙන් තව
සිපගන්න ඒ
සොඳුරු උවනත
සැරසුණා පේවී
නමින් නුඹ වෙත...

ආදරය නම්
නුඹ මැයි සිතා
හීන් සීරුවට
ලං උණු ලවන් යුග
සිපගන්න පෙර
ආදරෙන් ආයෙමත්
සිහිනයෙන් පිබිදුණා
පුදුමයකි තව
වියලී නොයන
බිදු කදුළු වැල් 
අලුත් වෙනවා
දෑසින් හෙමින්...

Sunday, March 20, 2016

බිදුණු වීදුරු





තැඹිලි පාට අහස යට ඉරේ රැස් ටිකෙන් ටික අඩු වෙනකොට මගේ පුංචි සුරංගනාවියෝ දෙන්න ඒ දෙන්නගේ තාත්ත එක්ක තියල තනියම ගොඩට ආවේ මේ ලස්සන වෙරළේ ලෑස්ති කරලා තිබුන තේ මෙසේ අඩු පාඩු බලන්න..මගේ ජීවිතේ මම වැඩිපුරම ඉඩ හදල දීල තියෙන්නේ ඒ තුන් දෙනාට..සමහර සමහර නපුරු ඇස් මගේ ජීවිතේට ඇවිත් අදුර උරුම කරලා ගියත් මගේ ජිවිතේ එලිය කරන්න ඒ ලස්සන ඇස් වලට පුළුවන් උනා...මගේ ලග ඉදන් හැමදේම කරලා දෙන්න,එක විනාඩියකටත් මාව තනි කරන්නේ නැතුව ඉන්න ඒ හිතට පුළුවන් උනා...ඇත්තටම මම මුලින් ඒ ඇස් වලට ආදරේ කළේ නෑ...ගෙවල් වල උවමනාවට මගේ ජිවිතේ පෝරුවක් උඩ තියන්න මට සිද්ද උනා..ඒත් එදා බිදුණු විදුරු මල් වාස් එකක් වගේ තිබුන මගේ ජිවිතේ බිදුණු තැන් පෙන්නේ නැති වෙන්න සායම් පින්තාරු කරලා ඒ මල් වාස් එක පිරෙන්න ලස්සන මල් දාන්න එයාට පුළුවන් උනා...

".පිනිදි...මගේ යාළුවා ලගටම ඇවිත් ඕක ලෑස්ති නේද?"

"ම්ම්...ඔව්..දුවල දෙන්න එක්ක එන්න දැන් ඔයත්..."

එයාගේ ජිවිතේ අවුරුදු ගානකට කලින් හිටපු කෙනෙක් අද ආයෙත් එනවලු...එයාට හිටියේ එකම එක මල්ලි කෙනෙක්...ඒත් එයා මුළු පවුලම අතැරලා දුරකට එයාගේ කිරිල්ලියත් එක්ක පියාබල ගිහින් තිබුන...අපේ මගුල් පෝරුව දකින්නවත් එය මෙහෙ හිටියේ නෑ..ඒ මල්ලි ගැන එයාගේ හිත වද වෙනවද නැත්තන් ගානක්වත් නැතුව ඉන්නවද කියන්න මන් දන්නේ නෑ..ඇත්තටම මම එක ඇහුවේ වත්,තේරුම් ගන්න උත්සහ කළේ වත් නෑ...එකයි ඇත්ත...

කොහේදෝ මන්ද ඉදන් මගේ ඉස්සරහින් අත දෙක අල්ලාගෙන ඇවිදගෙන යන ආදරණීය කුරුළු ජෝඩුවක් දැක්කම මගේ හිත අදුරු මතකෙකට එක්කන් යනවා වගේ දැනුන නිසාම මම එතනින් ආයෙමත් මගේ පුංචි සුරංගනාවියෝ ඉන්න පැත්තට යන්න මගේ දිග ඇගිලි එසවෙනකොටම....

"පිනිදි...."

මම ඒ අතීතය මතක් වෙනවට බයෙන්මයි මෙතනින් ඈත් වෙන්න හැදුවේ...ඒත් ඒ කතා කරන්නේ මගේ අතිතයමයි...ආයෙමත් කොහොමද ඒ අතීතය මට කතා කරන්නේ...ලස්සන විදුරු මල් වාස් එකක් උන මගේ ජිවිතේ බිදිච්ච කිසිම වටිනාකමක් නැති මල් වාස් එකක් කරපු ඒ මුස්පේන්තු අතීතය...මම බලන්න ඕනෙමද ඒ කතා කරන්නේ මගේ අතීතයද කියල...නෑ ඕනේ නෑ...ඒත් මට වැරදෙන්න විදියක් නෑ...ඒ එයාම තමයි....

"නිසල්...ඔයා..."

"හ්ම්ම්...අදුරගන්න බෑ නේද...ඔයා මෙහෙ..?"

මම වළලා දාපු ඒ අතීතයෙන් ආපු හෙවණැල්ල..මීට අවුරුදු පහලවකට කලින්...ඔව් හරියටම මීට අව්රුදු පහලවකට කලින් මාව අතැරලා දාල ගියපු මගේ හෙවණැල්ල...එය මගේ වීදුරු මල් බදුනෙ ලස්සනට වශී වෙලාම එයා මාව අරන් ගිහින් එයාගේ මේසේ උඩ තියාගත්තා...කාලයක් යනකන්ම එයා ඒ මල් වාස් එක ගොඩාක් පරිස්සම් කරා...ඇත්තටම ඒ පරිස්සම් කරාද?නැත්තන් පරිස්සන් කරනවා කියල පෙන්නුවද කියන්න අදටත් මන් දන්නේ නෑ...වීදුරු හරි ඉක්මනට බිදෙනවනේ...එහෙම උනොත් ආයෙත් පලුදු නැතුව ඒ වීඑදුරුව හදන්නත් බෑ...ඉතින් මල් වාස් එක ඒ හැමදේම දැනගෙන හිටියේ...ඒත්...අර අයිතිකාරයට මේ වීදුරුව ඇතුලේ තියන හැමදේම බලන්න තිබ්බ උවමනාවටම එය ඒ වීදුරුව බිදලා දැම්ම...

ඒත් ඒ වීදුරුව හිතුවෙම ඒ අයිතිකාරයා එයාව ආයෙත් පලුදු තැන් පෙන්නේ නැති වෙන්න ලස්සන කරලා එයාගේ මේසේ තියාගනි කියල.ඒත් ටික කාලයක් යනකොට ඒ අයිතිකාරයාගේ වීදුරු මල් බදුන තියෙන මේසේ කකුල් හෙලවෙන්න ගත්තේ වීදුරුවට එයාගේ මුළු ජිවිතේ ගැනම ලොකු බයක් ඉතුරු කරලා..ඔව්...ඒ බය හරිම සාදාරනයි...එය වීදුරු මල් වාස් එක එයාගේ මේසෙන් අයින් කරන්න යනවා...ඒ හෙලවී හෙලවී තිබුන මෙසේ දැන් ගැලවිලා වැටෙන්නම ලගයි...ඒ වීදුරුව කියාගන්න තියන හුගක් දේවල් අතරේ හිරවෙලා අඩද්දිම හිතක් පපුවක් නැති ඒ අයිතිකාරයා ඒ මල් වාස් එක තියල තිබුන මේසෙ ගලවලාම දාල..අලුත් මේසයක් ගෙනත් එයාගේ ලගින්ම තියාගත්තා..මේසයක් විතරක්මද...නෑ...සරුව පිත්තල මල් වාස් එකකුත් එක්කම...එදා ඒ අයිතිකාරයා කාලයක් එයාගේ මේසේ ලස්සන කරපු මල් වාස් එකට සදහටම එයාගේ ජිවිතේ ඉඩ නැති කරලා දැම්ම...නිකන්ම..මුකුත් නොකියම...නෑ..එක දෙයක් කිව්වා..

"බිදිච්ච වීදුරු වල කාට කට තියන්න බැරිද...කාට මල් ගෙනත් දාන්න බැරිද...ඕව මට වැඩක් නෑ..."

"ඒත් මේ වීදුරුව බින්දේ ඔයා...අනික කාගේවත් පිපාසෙට මන් වතුර දුන්නේ නෑ...කව්රුවත් මල් ගෙනත් දැම්මේ නෑ...ඇයි මාව එපා කියන්නේ...."

එදා අහපු එක ප්‍රශ්නෙකටවත් එය ලග උත්තර තිබුනේ නෑ..තිබුනේ මුණ පුරාම ඇදිච්ච සමච්චල් හිනාවක් විතරයි...දරාගන්න බැරි හීරීම්,තුවාල වීම් ගොඩක් එක්ක මම අසරණ වෙද්දී මගේ ලගට ලං වෙන්න උත්සහ කරපු කීප දෙනෙක් අතර මගේ ජීවිතේ හුගක්ම අදුරු සිදුවීම් දැනගෙනම ලං උන ඒ ලස්සන හදවතට අපේ අත්සන් ලොකු පොතේ තියද්දීවත් ආදරේ කළේ නෑ...ඇත්තටම මම පෝරුවට නැග්ගේ අම්මලාගේ හිත හදන්න,ඒ වගේම එය මගේ ගැන දැනන් හිටපු එක හිතට ලොකු සහනයක් උනු නිසා...කාලයක් යද්දී ඇත්ත ආදරේ මම හරි අපුරුවට ඒ ලස්සන හිතෙන ඉගෙන ගත්ත...හැමදාම වගේම මගේ කර වටේට ආදරෙන් දැවටෙන ඒ අත අදත් මගේ ලග ආදරෙන් දැවටෙද්දී මම ආයෙමත් අර අදුරු අතීතය වහල මගේ ලස්සන පියවි ලෝකෙට ආව...

"පිනිදි...මේ තමයි මන් එනවා කියපු අමුත්තා...මන් දන්නවා කෙනා කව්ද කිව්වනං ඔයා එන්නේ නෑ...ඒත් මල්ලිට උදව් ඕනේ නිසා මන් කිව්වේ නැත්තේ.."

එදා  මට සමච්චල් කරපු ඒ මුණේ ලොකු පසුත්වීමක්,කලකිරීමක් වගේම ඊටත් වඩා පුදුමයක් රැදිලා තිබුන...ඇත්තටම මේ හමුවීම කවදාහෝ වෙයි කියල හිතේ කොනක ගැස්මක් තිබුනත් මෙහෙම නොහිතු වෙලාවක  මේ හමුවීම මම බලාපොරොත්තු උනේ නෑ..එයා හරි..දැනන් හිටිය නං මම කවදාවත් මේ ගමන නොඑන්න තිබුන...

"අයියේ...ඔයා...මේ...පිනිදි..."

"ඔව්..මේ උබ බිදපු වීදුරු මල් වාස් එක තමයි...ඒත් මගේ ජිවිතේ සුවද හමන හැම මලක්ම දැන් තියෙන්නේ මගේ මේ වීදුරු මල් බදුනෙ.....මල්ලි උබ අරන් ගිහින් එහෙදි උබව ඇතරපු සර්ව පිත්තල මල් වාස් එකට වඩා මගේ ලග මේ තියන දේවල් උබට වටින්නේ නැති උනාට ඒ කාලේ.. අද මේ තමයි මගේ වාසනාව "






Friday, March 18, 2016

වදනින් නොපැවසූ නුඹට...




සෙවණැල්ලක්ව අතීතයෙන්
පියඹා එන නුඹට
විටින් විට මම ම
සිතට තරවටු කරන්
හංගන්නට හදන
හංගන්නටම බැරි
කවදා කොතැනක
වැරදුන වගක්
නොදන්නා මුත්
දමා යා නොහැකි
කලු සුදු සිතුවමක්ව
අදත් හිඳිනවා නුඹ
මගේ ළඟ
මගේම නොවී...




ප.ලි.
කටුස්සෙක් විසින් ගෙම්බියකට මැර ප්‍රහාර දියත් කිරීම හේතුවෙන් එම ප්‍රහාර වලින් වැළකීම සදහා ඒ ගෙම්බි විසින් මෙය ලියන ලද බව කරුණාවෙන් සලකන්න.හැක හැක 

Thursday, March 10, 2016

අහිමි සද නුඹ







"ඔයා ඉන්නේ අපේ ගේට් ඒක ලග ද?"

"හ්ම්ම්...ඔව්.."

"ඉන්න මන් එන්නන්..."

ජිවිතේ මට අහන්න ලැබුන ආදරණීයම කටහඩ...ආදරේ කියන වතුර හොයාගෙන වැලිකතරක අතරමන් වෙලා ඉදපු මට ආදරේ ලස්සන හිරි පොද වැස්සක් වගේ වැට්ටුවේ ඔයා.ජිවිතේ ඒ හිරිමල් වැස්සට තෙමෙද්දී මන් උන්නේ කියාගන්න බැරි සන්තොසෙකින්...පුංචි පුංචි හුලන් පාරවල් ඇවිත් කදුළු බින්දු වැටුනත් ඒ හැම කදුළු බින්දුවකටම වඩා මන් ඔයාගේ ආදර වැස්සට තෙමෙන්න ආස උනා.මගේ ජිවිතේ වැඩිම වටිනාකම ඔය හිරි පොද වැස්සට දෙනකොට...ඔව්... ඔයත් ඒ වගේම ලොකු ඉඩක් ඔයාගේ අහසින් මට දුන්නා...ආදරේ පුරෝගත්තු ඔයාගේ තරු ඇස් වලින් මන් මගේ ජිවිතේ එලිය කරගත්තා...මෙච්චර ලස්සන ආදරයක් වෙන කාටවත් කොහෙදිවත් හම්බවෙන එකක් නෑ...ඒ තරම්ම ඒ හිරි පොද වැස්ස ආදරණීයයි...රෝස මල් පෙත්තක් වගේ සැහැල්ලුවෙන් ඒ ආදරේ ඇතුලේ ඔහේ පාවෙන්න පුළුවන්...කවදාවත් බාදාවක් තිබුනේ නෑ මට...තරවටු තිබුනෙත් නැති තරම්ම...ඇත්තටම තරවටුවක් නෙමෙයි ඒක.. මේ පුංචි රෝස මල් පෙත්තට විස කටු ඇනෙයි කියල ඒ හිතේ තිබුණු බය...නපුරු සත්තු ඒ රෝස මල් පෙත්ත පොඩි කරලා දායි කියල ඒ හිතේ තිබුණු බර...

"ඔයාගේ තීරණේ වෙනස් වෙන්නේ නැද්ද...?"

වෙනදට ඉවරයක් නැතුව කඩන් වැටෙන ඒ හිරි පොද වැස්ස,මට ඔච්චම් කරන පුංචි වැහි බින්දු අද කිසිම සද්දයක් නෑ...ලස්සනට දිලිසෙන තරු ඇස් අද මලානික වෙලා...ලොකුම ලොකු කදුළු බින්දු දෙකක් ඒ ඇස් වල ගේට්ටුවෙන් එලියට එන කොටම පිරිලා තිබුනා...දැන් ඒ කදුළු බින්දු ඇස් දෙක කෙළවරටම ඇවිත් තව තප්පර ගානකින් ඒ කදුළු දොරේ ගලනවා....ඒත් එයා අමාරුවෙන් එයාගේ දිග ඇගිලි වලින් ඒකට වැට බැන්දා...එයාට ඕනේ උනේ මට කදුළු පෙන්නන්නේ නැතුව ඉන්න...ඒත් මන් පලවෙනි වතාවට...හ්ම්ම්..ඔව්...පලවෙනි වතාවට ඒ කදුළු දැක්කේ ඒ ඇස් වල...මගෙන් අවසරයක් නැතුවම මගේ ඇස් වලින් එයා වැට බැදපු  කදුළු බින්දු ඔහේ ගලාගෙන ගියා...එයා ආයෙමත් අහක බලාගත්තා...යාන්තන් ඔලුව වැනුවා...එයාගේ හිත එයාටම බනිනවා කෑගහනවා...ඒ ඇස් දෙකෙන් මට මගේ හිතට ඒවා ඇහෙනවා...ඒත් එයාගේ හැම වචනෙකම තියෙන්නේ කලකිරීමක්...එයා ගැනම  කලකිරීමක්...ජිවිතේ උණු එකම එක පුංචි සිදුවීමක් නිසා එයා විදවනවා...එයා එහෙම තමයි...ඇත්තටම ඒක පුංචිම පුංචි අකුණක්..ඒත් එයා ඒ අකුනෙන් හොදටම පිච්චිලා...එයාටම එයා දිහා බලන්න බැරි තරමටම එයා එයාගේ ජිවිතේ ඒ අකුණට බිලි දීල...රෝස මල් පෙත්ත වත් එයා ලග තියාගන්න එයා තීරණය කරලා නෑ...

"මට සමාවෙන්න...ඇත්තටම ඔයා මට සමව දෙන්න එපා.මන් ඒකට සුදුසු නෑ..."

"ඔයා මොනාද මේ කියන විකාර?ඇයි  ඒ වගේ දෙයක් නිසා ඔහොම දුක් විදින්නේ..පිස්සුද අයියේ ඔයාට...?"

"මන් ඔයාට ගොඩක් බලාපොරොත්තු දුන්න..ඒකයි ඔයා මෙතන ඉන්නෙත් අද..හ්ම්ම්...ඒත් මන් ඊට වඩා ලොකු දුකක් ඔයාට, අපේ ගෙදර අයට දුන්නේ...මන් තාත්තගේ සල්ලි නාස්ති කරනවා...මන් යන්න ඕනේ පාර මොකද්ද කියල මට තේරුම් ගන්න බැරි උනා...මන් වගේ හිස් කාලකන්නියෙක් නිසා ඔයාට තව දුක් විදින්න දෙන්න බෑ...මේ ඩිග්රියත් අම්මලට ඕන නිසා කරන්නේ...නැත්තන් මේකත් දමල ගහල කොහේ හරි යනවා මන්..."

"ඔයාට ඔහොම දෙයක් හිතන්න තරම් ලොකු දෙයක් නෙමෙයි මේක..ඒත්..."

"නෑ..ඔයාට මන් එක්ක ඉන්නවා කියන්නේ ලොකු දුකක්..මට ඔයා ගැන හොයන්න බලන්න කාලයක් නෑ..ඔයා අඩනවා තනියම මන් දන්නවනේ...ඔයාව තව මගේ ලග හිර කරගන්නවා කියන්නේ ඔයාගේ ජිවිතේ ලස්සනම කාලේ දුක් විදින්න වෙනවා.ඔයාට කැම්පස් ජිවිතේ ලස්සනත් නැති වෙයි..."

"මට වෙන ලස්සන ජිවිත ඕනේ නෑ..ඔයා ඉන්න ඒ ලස්සන ඇති...මන්...මන්..."

තව කියාගන්න බැරි වචන සිය ගානක් මගේ හිත ඇතුලෙන් ලොකු අරගලයක් කරද්දී තරගෙට මගේ ඇස් වලින් කදුළු බින්දු පොකුරු ගොඩක් ඇවිත් බිමට කඩන් වැටෙද්දී ඒ ඇස් වලට ආපු කදුළු වගේම එයාගේ හීන් ඉකියක් මගේ ඇස් ආයෙමත් ඒ මුණ දිහා බලන්න බල කළා ...ඇත්තටම කාලෙකට කලින් මට කියන්න ඕනේ උනා ඔයාට ඒ දේවල් වලට හිතේ ටිකක් අඩුවෙන් තැන දෙන්න කියල...ඒත් මන් කිව්වේ නෑ..ඒක ඔයාගේ ආසාව නිසා..ඔයා යාලුවෝ එක්ක සැර දේවල් කරන්න යනවනං,වෙන රෝස මල් පස්සේ යනවනං මට ඔයාට කියල,නැත්තන් සැර කරලා හරි හදාගන්න තිබුන...ඒත් ඔයා කලේ එහෙම නරක දේවල් නෙමෙයි...ඔයා කැමතිම දෙයක්..ඔයාගේ ආසම ස්පෝර්ට් එක...මන් ඔයා ගැන දන්න නිසාම ඔයාට නිදහස දුන්න..ඒ වගේම ඔයා කවදාවත් ඒ විස්වසේට පුංචි හීරීමක් වත් වෙන්න දුන්නේ නෑ...ඇත්තටම මන් ඔයාට ඒක නවත්තන්න කිව්වා නන් අද මේ දේවල් මෙහෙම නොවෙන්න තිබුන..තාමත් මේ රෝස මල් පෙත්තට ඔයා ලගම දැවටී දැවටී ඉන්න තිබුන,ඒත් එතන තිබුන ඔයාගේ සතුට දැක දැක එහෙම කියන්න මට හිත හදාගන්න බැරි උනා...

"ඉතින් මන් ඔයාට කරදර කරන්නේ නෑ නේ..ඔයාට හැමවෙලේම කතා කරන්න කියල කිව්වෙත් නෑ නේ මන්..අනික.."

"ඔව් ඔයා අනිත් අය වගේ නෙමෙයි...ඔයා හොද නිසාමයි එහෙම හිටියේ..වෙන කෙනෙක් නන් ඉන්නේ නෑ දාල ගිහින් එහෙනං...මට ඔයාට දුකක් දෙන්න බැරි ඒකයි..මන් වැඩක් කලොත් එකෙන් මොකක් හරි අව්ලක් වෙනවා...තව ටිකක් අව්ල් උනා නන් පොඩි එව්න් එක්ක කරන්න වෙන්නේ ආයෙමත්...සෙල්ලන් කරන්නත් බෑ අතේ දෙකේම ඉන්ජරිස් ඇවිත්...නිකන් බලන් ඉන්න වෙන්නේ ගියත්..මන් මේ හැමදෙයින්ම ඈත් වෙනවා..ආයෙත් තවත් ඔයාට බලාපොරොත්තු දීල ඔයාගේ ලෝකේ කඩන්න බෑ මට...යන්න ඔයා..ඔයාට පරක්කු වෙයි..."

"හරි ඔයා එනකන් මන් බලන් ඉන්නද කතා කරන්නේ නෑ..කරදර කරන්නේ නෑ..නිදහසේ වැඩ ටික කරගන්න..."

"හ්ම්..හා..නෑ එපා මන් ආයෙත් එන්නේ නෑ ඔයාගේ ජීවිතේට කදුළු දෙන්න...ඔයාට වෙන කෙනෙක් අම්මල හරි හොයල දෙයි..ඔයාගේ හොද නිසා ඔයාව රවට්ට ගනී ගොඩක් අය,ඒ නිසා පරෙස්සමින් ඉන්න...මට ටෙන්ෂන් එක දරාගන්න අමාරුයි..නිදහසේ ටිකක් හිතන්න ඕනේ..කාලේ ඕනේ..ඔයාව මේකේ හිර කරලා තියාගත්තම ඔයත් දුක් විදිනවා..."

ඔයාගේ ඇස් වල කදුළු නැති උනෙම නෑ..ඔයා සැරෙන් සැරේට ඔයාගේ දිග ඇගිලි වලින් කදුළු බින්දු වලට වැට බැන්දත් ඒවා ඇස් වලින් අයින් කරගන්න ඔයාට බැරි උනා...ඔයාගේ ඒ කදුළු මේ රෝස මල් පෙත්ත තවත් ඇඩෙවව...ඔයාට වගේම මටත් කියන්න ගොඩක් දේවල් හිත ඇතුලේ තිබුන ඒත් අපි කතා කලාට වඩා ඇඩුවා..ඔයා හිතන්නේ ඔයාගේ ගෙදර අය,මන් සතුටින් තියන්න,ඒත් ඔයාට ඒකට වැදුනේ පුංචි අකුණක්,එකෙන් ඔයා මේ තරම් දුර්වල වෙයි කියල මන් කවදාවත් හිතුවේ නෑ...ඔයයි මායි ඇඩුවා ගොඩක් වෙලා..ඔයාට මාව ඕනේ ඔයාගේ ඇස් වල ඒක තිබුන..ඒත් ඔයාට එට වඩා බයයි මන් තවත් දුක් විදි කියල..අතරින් පතර අමාරුවෙන් ගලපගන්න වචන දෙක තුනක් ඇරෙන්න අපි අපි දිහා බලාගෙනම ඇඩුවා...මන් තීරණය කළා එයාගේ තීරනෙට යට වෙන්න...ඒ එයාගේ හොදට..එයාට තිබුන ආදරේට...එයාට එයාගේ පිච්චුන හිත හොද කරගන්න...එයාගේ හැම වචනෙකම තිබුනේ මට යන්න කියල නෙමෙයි..මට ආදරෙයි කියල..ඒකයි මන් එයාගේ තීරණේට කැමති උනේ...ඒත්...මන් කොහොමද යන්නේ...අතරින් පතර කියවෙච්ච හැම වචනෙකම එයාගේ ආදරේ තිබුන..මගේ ප්‍රශ්න වලට,කදුළු වලට එයා පරාද වෙයි කියල එයාට තේරුණා..එයාගේ එක වචනයක් මගේ මුළු ජීවිතේම එයා වෙනුවෙන් බලන් ඉන්න මට බල කරයි කියල එයා බය උනා අන්තිමට..එයාට ඕනේ උනේ මාව සතුටින් තියන්න...එයා ඒකට මේ රෝස මල් පෙත්තෙන් ඈත් වෙන්න හදන්නේ...එයා පිළිගන්නේ නෑ මේ රෝස මල් පෙත්තේ ලස්සන වගේම ආදරෙත් තියෙන්නේ එයා ලග විතරයි කියල...නෑ නෑ එයා දන්නවා එක..ඒත් නොදන්නවා,නොතේරුන වගේ ඉන්නවා...

"දැන් යන්න මැණික..ඔයා හැමදාම සතුටින් ඉන්න,පරිස්සන් වෙන්න,බුදුසරණයි...!"

"මන් යන්නන්..හැබැයි මන් ඔයා එනකන් හැමදාම බලන් ඉන්නව...ආයෙත් මට කතා කරනවා නේද හිත නිදහස් උන ගමන්...කියන්නකෝ....මට ආදරෙයි නේද.."

"මගෙන් වචන ගන්න හදන්නෙපා ..ඒ හැම වචනෙකින්ම ඔයා බලාපොරොත්තු තියාගන්නවා...ඔයාට බලාපොරොත්තු දීල තවත් පව් පුරවගන්න බෑ මට..."

"ඔයා බොරු කියන්නේ...ඔයා කියන්නේ නැති දේවල් ඔක්කොම මට තේරෙනවා..."

මන් අඩද්දිම ඒ වචන පිට උන නිසාමද මන්ද ටිකක් හයියෙන් ඒක විසිරිලා යනකොට...එයාගේ ඇස් වල කදුළු ආයෙත් අලුත් වෙලා...මගේ නොනවතින ඉකිය මැද එයා එයාගේ පරාජය බාර අරගෙන...
එතනින් එහාට එයාගේ එකම වචනයක් වත් පිට උනේ නෑ...මට ඕනේ උනා එයාට තුරුල් වෙලා අඩන්න...ඒත් මේ පාරේ එහෙම කරන්න බෑ...ඉතින් මන් එයාගේ හිත තවත් තුවාල කරන්නේ නැතුව යන්න ලැස්ති උනා... මට යන්න බෑ...ඒත් එයා වෙනුවෙන්,එයාගේ හිත හදාගන්නකන් මන් අයින් වෙලා ඉන්නවා...ඒත් එයා එකපාරටම...

"ඔව් මන් බොරු කියන්නේ...ඔයා දන්නවනේ...මට වෙන කාවවත් ඕනේ නෑ ආයෙත් මගේ ජීවිතේට..ඒත් ඔයා සතුටින් ඉන්න ඕනේ..මන් ඔයාව.....පරිස්සමින් ඉන්න..."

මගෙන් අනිත් පැත්තට හරවගත්ත ඒ මුණ දිහා කොච්චර වෙලා බලන් හිටියද...එයාගේ කදුළු නවතෙන්නේ නෑ...කඩු කිනිසි සිය ගානක් මගේ හිත වගේම මගේ මුළු ඇගමත් කීතු කීතු කරගෙන යන තරම් වේදනාවක් දැනෙද්දී..මන් වචන ගලපගත්තේ අමාරුවෙන්..

"හ්ම්ම් මන් යන්නන් අයියේ..ඔයා පරිස්සමින් ඉන්න...බුදුසරණයි..!"

Thursday, March 3, 2016

රුවලක් අහිමි ඔරුව








එයාගේ ෂර්ට් එකේ බෝත්තන් කාසි සීරුවට බෝත්තන් ටික ගිල ගනිද්දී මගේ හිත පුරා ඇවිලිච්ච මහා ගිනි ගොඩක් එහා ඇදෙ සැප නින්දක ඉන්න මගේම පොඩි එකා දැකල පපුව පුරාම ඇවිලිලා ගියා. මහා බර හුස්මක් මගෙන් ගිලිහිලා මේ පොල් අතු පැලේ හිල් පොල් අතු වල වැදිලා මුළු ගේ පුරාම විසිරිලා යනකොට,හෙමි හෙමින් මාත් මේ පැදුරු කෑල්ලෙන් ඈත් උනේ තවත් හිටියොත් මේ මුස්පේත්තු නිහඩබව හිතේ මහා ලොකු ගින්නක් අව්ලලා ඇස් වලිනුත් ලෝදිය පොකුරැ දොරේ යන්න වැඩි වෙලාවක් නොයන නිසාමයි.මුහුදු රැල්ල එක්ක මේ රෑට හුළඟ තියාගන්නේ මොන කරුමක්කාර සම්බන්දයක්ද?ඒත් එක්කම සමහර දවසට කඩාගෙන වැටෙන වැස්ස...මේ වැල්ලේ සමහර එව්න්ගේ ජිවිතේ ඉරණම තීරණය වෙන්නෙත් මේ කරුමක්කාර දේවල් එක්ක..ඒ වගේම ඔය කරුමක්කාර හුළගට වැස්සට මුවා වෙලා තව ගෑනු කීදෙනෙක්  තමන්ගේ මිනිහගේ පැදුර අනිත් එව්න්ට දීල සැනසෙනවද...ඒත් මුන් ඔක්කොටම පෙන්නේ මගේ කරුමක්කාර ජිවිතේ විතරයි...

"මොනවද බන් ඔය හැටි කල්පනා කොරන්නේ? තව මොන හරි අඩු පාඩුවක් තියනවනං කියපන්.."

මේ මුස්පේන්තු ජිවිතේ පුරවන්න කියල නං හිස් තැන අඩු පාඩු කොච්චරක්ද...මේ එකෙක් වත් ඇහුවට ඒවාට පිළියම් මුන් ලග තියනවද..ඒත් පොඩි එකාගේ කිරි පිටි,බත් වේල,ඉස්කෝලේ ගමන ගැන හිතන්න ඕනේ...අපේ පව්කාරකම් වලට මේ නොදරුව මක් කරන්නද?"

"හ්ම්ම්..ඔහෙට තේ කෝප්පයක් හදන්නද...?"

"එපා බන් මේ වැල්ලේ ගෑනු ටික නැගිටින්න කලින් මන් ගෙදරට යන්න ඕනේ..."

වැල්ලේ ගෑනු...මාත් මේ වැල්ලේම තමයි..නැතුව අහසින් කඩාපාත් උනෙයි මන්..ඒත් මන් ඒ හැම ගෑනියෙක්ටම වඩා වෙනස්...උබට මෙහෙම...  කියන්න වචන සිය ගානක් මගේ හිත ඇතුලෙම තෙරපෙද්දී මුනිච්චාවට අමාරුවෙන් මුනට ගත්ත හිනාව පෙන්නලා දොර එහාට කරගෙන වැල්ල පැත්තට ගියේ කරන්න දෙයක් නැති කමටත් වඩා මේ හුළගට වත් මගේ කරුමක්කාර ජිවිතේ ගෙනියන්න පුලුවන්ද අහන්න.. මේ වැල්ල කලබල වෙන්න තව පැයක් දෙකක් තියන නිසා නිවිහැනහිල්ලේ මේ මුහුදෙන් එන රැලි දිහා බලන් ඉන්න පුළුවනි..මේ රැල්ල වගේ මගේ ජීවිතෙත් ගොඩ තියාගන්නම බෑ....ගොඩ ආවා වගේම හරි ඉක්මනට ආයෙමත් මුහුදු පතුලටම ඇදිල යනවා...

රුවලක් කැඩුණු ඔරුවක් වගේ  ඔහේ පාවෙවී මුහුදු කරේ තිබුන  මගේ ජිවිතේට  හැමදාම දකින රුවල් කදන් මගේ කැඩුණු ජීවිතේට ලං වෙන්න ඉව අල්ලද්දී අමාරුවෙන් උනත් කැමැත්තෙන්ම ඈතට ගියේ මගේ ලග ඉතුරු වෙලා තිබුන එකම සම්පත රැකගන්න.හිල් වෙච්ච පොල් අතු අස්සෙන් මහා රෑට එන කරුමක්කාර හුලන් රැලි,ලොකු වැහි බින්දු  මේ හැමදේම ඉවසගත්තේ මට ඉතුරු උන එකම සම්පත රැකගන්න.මාළු කුඩේ කුණු කොල්ලෙට විකිනෙද්දී ජිවිතේ ගැට ගහගන්න මේ වැල්ලේ ගෑනු කරන සුමේ ඇස් දෙකින්ම දකින වැල්ලේ ගෑනියෙක් වෙච්ච මටත් ඒ මාළු කුඩෙකටම මගේ ජීවිතෙත් බර හේත්තු කරන්න වෙයි කියල මන් කවදාවත් හීනෙකින්වත් හිතුවේ නෑ...ඒත් මේ වැල්ලේ හුගක් ගෑනුන්ට ලෝකෙට පෙන්න හරි නොපෙනෙන්න හරි තව හයිය අතක් උන් ලග තිබුන..මගේ ලග තිබුන ඒ හයිය මට නැති උන එක තමයි මේ ජිවිතේ තියන කාලකන්නිකම...

මාළු කුඩේ පුරවගන්න ගියත් එතන ඉන්න මාළු කාක්කන්ගේ ඇස් වලින් අත පයින් බේරෙන්න කොච්චර දහ දුකක් වින්දද...මාළු කාක්කෝ  ඇත්තටම ඉල්ලුවේ මාළු ගන්න කියල නෙමෙයි...උන් මගේ වටේටම දාල තිබ්බ දැලකට හරි ඇමකට අහු වෙයන්  කියලා..රුවල කැඩුනත් ඔරු කදට පාවෙන්න හරි ශක්තිය තාම තියනවා. උන්ට මාළු ගන්නවට සල්ලි වගේම තව පැදුරුත් ඉල්ලන්නේ මගේ රුවල මට නැති නිසාම කියල නොදන්නවා නෙමෙයි මන්...රුවලක් නැති මේ ඔරුව ඇත්තටම අසරණයි..පිහිටක් හොයනවා..ඒත් එහෙමයි කියල අනිත් උන්ගේ රුවල් අරන් මගේ ඔරුවේ මගේ වගේ ගැටගහගන්න කිසිම ඕන කමක් තිබුනේ නෑ මට...මාළු කාක්කන්න්ගෙන් බේරිලා අමාරුවෙන් පුරවගත්ත මාළු කුඩේ විකුණගන්න අව්කාස්ටකේ කොච්චර වෙලුනත් ගන්න එව්න් ඉල්ලන්නේ කුණු කොල්ලෙට..ඉතින් ඒ හම්බවෙන සොච්චමෙන් හෙට මාළු ගන්නයි පොඩි එකාට කන්න,ඉස්කෝලේ යන්නයි කොහොමද මේවා කරගන්නේ...

ඒත් මගේ හිතේ කවදාවත් මගේ මිනිහගේ පැදුර වෙන එකෙක්ට දෙන්න කිසිම අදහසක් තිබුනේ නෑ..දෙයියන්ගේ නාමෙන් හරි ආයෙත් මගේ මිනිහ ආපු දවසට ඒ මිනිහට ඇලවෙන්න ඒ පැදුර පිරිසිදුව තියෙන්න ඕනේ කියලයි මන් හිතුවේ...ඒත් මගේ කාලකන්නි ජීවිතේට ඒ වගේ පාරමිතාවක් වත් පුරන්න පින් කොයින්ද...?හිතා මතාම හරි,නොහිත හරි එක පාරට ඒ වැදිච්ච අකුණු පාර මගේ ජිවිතේ තුට්ටුවට දැම්ම...මුදලාලිගේ වාහනෙන් ආපු ඒ අකුණු සැරට මේ ඔරු කද මාසයක් ඔත්පල කරලා ඇදට දාන්න පුළුවන් උනා, මගේ අවාසනාවටද,පොඩි එකාගේ වෙලාවටද කියන්න මන් දන්නේ නෑ.ඒත් මේ වැල්ලේ ඒ අකුණ මහා විසාල ගෙරවීමකුත් එක්කයි පැතිරිලා ගියේ....අකුණට මේ ඔරුව බලෙන් මුණ දුන්න කියල මුළු වැල්ලේම ගොරවද්දී එකෙක් මගේ හිත කොච්චර පිච්චිලාද කියල හොයල බැලුවද?
.
මගේ මුස්පේන්තු පව්කාරකම උනත් එක අතකට මේ අකුණ පොඩි එකාගේ වාසනාව... ,දැන් ඌ කාල ඇදල ඉන්නවනේ,හැමදාම ඉස්කෝලේ යනවා,පොත පත අඩු පාඩුවක් නෑ...ඒත් ඌ ලොකු මහත් වෙච්චි දවසට..මේ ඔරු කද අනිත් උන්ට වගේම රොඩු ගැහිච්ච හැමෝම අයින් කරලා දාපු ඔරු කදක් වගේ පෙනෙයිද...???.

"ඈ...චිත්රෝ...මොකද්ද මේ අද වෙලා තියෙන්නේ..."

 ඔත්පල වෙච්ච මාසෙට පස්සේ ඇවිදගන්න ඔරු කදට තිබ්බ වාරු නැතුව යද්දී වැඩි දුර පයින් යන්න බැරුව ඉන්නැද්දී අර පුපුරපු අකුණෙන් පුද සත්කාර ලැබෙනකොට කට වහන් හිටියේ මගේ පොඩි එකා නිසාමයි.ඒත් මේ හිතේ ඒ අකුණට එදත් අදත් කිසිම ඉඩක් නෑ... අනික ඉතින් අකුණකින් ලැබෙන්නේ තවත් පිච්චි පිච්චි ඉන්න පුද සත්කාර මිසක් පිච්චිච හිතක් සනීප කරන්න පුලුවන්ද...දැන් ඒ අකුනට මගේ හිත,ජිවිතේ විතරක් නෙමෙයි මගේ ආත්මෙත් පිච්චිලා ඉවරයි...

"මුකුත් නෑ..සෙනයියේ..දැන් ගියා නං නේද හොද?"

"හැමදාම මන් ආපු වෙලේ ඉදන් හදන්නේ මාව එලවගන්නමනේ...අනික මන් මේ එන්නේ පොඩි එකාට තියන ආදරේටනේ...."

පොඩි එකාට ආදරෙන් පැදුරේ ඉල්ලන්නේ මොන මගුලකටද...ඔය වචන ටික මගේ හිත ඇතුලෙන් පුපුරලා ලෝදිය වපුරද්දී ඒ ගින්න ඇස වලින් පිට කරලා නිකන් ඉන්න උනේ මගේ අසරණකම...නෑ මගේ කාලකන්නිකම නිසා මේ පොඩි එකා දුක් විදි කියන බයටමයි.මගේ රුවල තිබුනනං මේ කොහෙවත් යන සල්ලාල රුවල් මට ඕනි නෑ..මගේ හිතේ වගේම මගේ ජීවිතෙත් තියෙන්නේ මගේ පරණ රුවල ලගයි...මේ ඔරු කදට වෙන රුවල් ඕනේ නෑ..ඒත් වැඩි දුරක් බර වැඩක් කරගන්න බැරි ඔත්පල උණු නොව්නු ඔරු කදක් දැන් මන්...හිත ඇතුලේ පුපුරන ගිනි ඇතුලෙම තියාගෙන කොහෙන්ද මන්ද ඇහිදගත්ත වචන ටිකක් මගේ කටින් පිට උනේ මගේ හිතින් මටම සාප කරගනිමින්...

"හ්ම්ම්...පොඩි එකාට හැමෝම ආදරෙයිනෙ...ඒත් ඒ ආදරේ පොඩි එකාට කියල හැමෝම  එන්නේ වෙන එව්වා හොයාගේනනේ.."

"උබ තරහින්ද..."

"අනේ නෑ මේ හරි සන්තෝසෙන් ඉන්නේ..."

"හ්ම්ම්...මන් අද කොලබ  යනවා,ලබන සතියේ දිහාට මේ පැත්තේ එන්නං පොඩි එකාට මොන හරි අරගෙනම..."

"පොඩි එකාව බලන්න ඌ නිදාගත්තම වෙන්නැති එන්න ඕනේ වෙන්නේ..." 

ඒත් ආයෙමත් මට පොඩි එකාගේ ඉස්කෝලේ ගමන් මතක් උනා..මන් මේ සල්ලාල ඔරු කදට දෙස් තියනකොට අඩුවෙන්නේ මගේ පොඩි එකාගේ බත් වේල නේද..?බෑ..බෑ..එහෙම වෙන්න දෙන්න බෑ.. හිතේ එක කොනකවත් නැති බොරු රෝස මල් පෙත්තක් අරගත්තා මන් ඒක පාට කළා..නැත්තන් මගේ පොඩි එකාගේ ජිවිතේ කළු සුදු වෙනවා...

"පරෙස්සමට ගිහින් එන්නකෝ එහෙනං.."